වතුර කුමන්ත්‍රණය

Last Updated on 3 months by admin

සුදු ජාතිකයින් කියන කතාන්දර විනා, අතීතයේ අප්‍රිකාවේ රටවල ඉබොලා, ඒඩ්ස් වැනි දරුණු වසංගත පැතුරුණු බවට සාක්ෂ්‍ය නැත. කොලරාව, වසූරිය සහ උණවසංගත (එපිඩමික්ස්) පැතිරෙමින් යුරෝපා රටවල දරුණු විනාශයන් සිදුවූ බවට බොහෝ තොරතුරු පවතී. යුරෝපයට තිබූ ලොකුම ප්‍රශ්නය කලින් කලට වසංගත පැතිරයාමයි. මුහුදු ගමන් අරඹා රටවල් යටත් කිරීම ඇරඹූ පසු මේ ගැටලුව විසඳා ගැනීමට ඔවුන්ට හැකිවූයේ අල්ලාගත් රටවලින් ලබාගත් නව දැනුමේ ආධාරයෙනි.

අපිරිසිදු ජලය පානය කිරීම, වසංගත රෝගවලට එක් ප්‍රධාන හේතුවක්ය යන්න, යුරෝපීන් ලබාගත් නව දැනුමකි. මේ නිසා ඔවුහු, ජලය පිරිසිදු කිරීම පිළිබඳ නොයෙක් අත්හදා බැලීම් කරන්නට ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බෝතල්වල ඇසීරූ පානීය ජලය වෙළෙඳපොළට පැමිණුනි. මේ පිළිබඳව කියැවෙන කතන්දර කිහිපයක්ම තිබේ. ලන්ඩනයේ දේවගැතිවරුන් ආශිර්වාද කළ ශුද්ධවූ ළිංවලින් ලබාගත් ජලය වශයෙන් බෝතල් ජලය අලෙවි කිරීමේ පුවත එවැන්නකි.

බෝතල්වල ඇසිරූ ජලය අලෙවි කිරීම ජර්මනිය ඕලන්දය වැනි රටවල ද පැතිරුණි. ජෝන් ජේකොබ් ෂ්වෙපේ නමැත්තා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ‘ෂ්වෙපේ සෝඩා වතුර’(Carbonated Water) බෝතල් නිපදවීම ආරම්භ කිරීමෙන් පසු, මෙය මහා කර්මාන්තයක් බවට පත්විය. ජෝෂප් හෝකින්ස් නමැති ඇමෙරිකානුවා, ඛනිජ වතුර නිපදවීමේ පේටන්ට් බලය ලබාගෙන එක්සත් ජනපදයේ බෝතල් කළ ඛනිජ වතුර නිපදවන විශාල කම්හලක් පිහිටුවූයේය.

බෝතල් වතුර කර්මාන්තයක් වූ පසු ඒවා අලෙවිය සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබාගත් නිෂ්පාදන සමාගම් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට සහ වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් බෝතල් වතුර පාවිච්චි කරන්නැයි වෛද්‍යවරුන් ලවා මහජනයාට කියවූහ. මේ නිසා මුල් කාලයේ මහජනයා බෝතල් වතුර භාවිත කර ඇත්තේ බෙහෙතක් වශයෙනි. පසුව වෛද්‍යවරුම, දවසකට අවම වශයෙන් පිරිසිදු වතුර ලීටර දෙකක් පාවිච්චි කිරීම සෞඛ්‍යාරක්ෂාවට සහ රූපාලංකාරයට හේතුවෙන බව මහජනයාට ඒත්තු ගැන්වීමට මූලික වූහ. වර්තමානයේ වතුර පිළිබඳව පර්යේෂණයන්හි නිරත වන විද්වතුන් පෙන්වා දෙන්නේ මේ ප්‍රකාශනයේ කිසිදු සත්‍යතාවක් නැති බවයි. මේ මතය කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද එකක්දැයි කීමට කිසිදු වෛද්‍යවරයකු නොදනී. දැනට අනාවරණය වී ඇති පරිදි එයද බෝතල් වතුර නිෂ්පාදන සමාගමක වෙළෙඳ ප්‍රකාරක උපක්‍රමයක් පමණි. අනවශ්‍ය තරම් වතුර බීම ඇතැම් රෝගවලින් පෙළෙන්නන්ට අහිතකර බව මේ ගැන අදහස් දක්වන වෛද්‍යවරු පවසති.

බෝතල් වතුර රටරටවලට අලෙවි කිරීම ආරම්භ කළ වතුර සමාගම්, වැඩි ලාභය සහ අලෙවිය සඳහා නොයෙක් උපක්‍රම භාවිත කර තිබේ. 1973 අවුරුද්දේ ප්ලාස්ටික් වතුර බෝතල් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම නිදසුනකි. ගුවන් විදුලිය හා රූපවාහිනිය ආධාරයෙන් නොයෙකුත් වෙළෙඳ ප්‍රචාරයන් කළ ඔවුහු, නළු නිළියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් ඒ සඳහා යොදා ගත්හ. පාසල් ළමුන්ට නොමිලයේ වතුර බෝතල් බෙදා දුන්හ. මෙහි ප්‍රතිඵලය බොහෝමයක් රටවල බෝතල් කළ වතුර ජන ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වීමයි.

ලංකාව පුරා ස්ථාන දහස් සංඛ්‍යාවකින් පානීය ජලය වශයෙන් වතුර බෝතල් නිපදවීම සිදුවේ. මේවා අතර ලියාපදිංචි සමාගම් මෙන්ම ලියාපදිංචි නොවූ සමාගම්ද තිබේ. මෙම සමාගම්, ගම් නගර ජයගනිමින් ගම්බද වෙළඳසල්, සතිපොළවල පවා බෝතල් වතුර අලෙවි කරමින් බෝතල් වතුරට රටවැසියා පුරුදු කරති. එනිසා පානීය ජලය මිලයට ගැනීම සඳහා අනාගත ලංකාව ගොදුරු වන ස්වභාවයක් පවතී. එවිට පානීය ජලය නිපදවීමේ අයිතිය සමාගම් කිහිපයකට හිමිවිය හැකිය. රටේ හැම වැසියකුටම බෝතල් වතුර වෙනුවෙන් ආදායමින් කොටසක් වැයකරන්නට සිදුවේ. එසේ වුවහොත් පානීය ජලය පාලනය කරන සමාගම්වලට රට පාලනය කිරීමේ බලයක් හිමිවේ. එය කිරිපිටි, පාන්පිටි වැනි නිෂ්පාදන සමාගම්වලට රට පාලනය කිරීමේ බලය ලැබුණාට වඩා බරපතළ විපතකි.

මනුෂ්‍යයින්ට ජලය නැතිව ජීවත්වීමට නොහැක. මෙය වටහාගත් අපේ පැරැන්නන් අනිත් හැම කාරණයකටම වඩා ඉහළ ප්‍රමුඛත්වයක් ජලය රැකගැනීමට වෙහෙසී ඇත. කොටින්ම සිංහල ශිෂ්ටාචාරය ගොඩනැගී ඇත්තේ ජල රක්ෂණය පදනම් කරගනිමිනි. පැරැන්නන් ජාතියේ ශ්‍රමය කැප කරමින් රට පුරා දහස් ගණනක් වැව් තැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ, වැස්ස මගින් ලැබෙන ජලය ආරක්ෂාකර ගැනීමයි. ‘අහසින් වැටෙන දිය බිඳුවක්වත් මනුෂ්‍ය ප්‍රයෝජනයට නොගෙන මුහුදුට ගලා යන්නට ඉඩ නොතිබිය යුතුය’යි පරාක්‍රමබාහු නිරිඳු කී බව මහාවංශයේ සඳහන් වේ.

ජලය ආරක්ෂා කරගත් සිංහලයෝ, ජලය පිරිසිදු කරගන්න නොයෙක් ක්‍රමවේද සොයා ගත්හ. එමනිසා ඔවුන්ට පානීය ජලය නමින් ප්‍රශ්නයක් නොතිබුණි. ජලය පානය කිරීමෙන් ලංකාවේ වසංගතයක් පැතුරුණ බවක් සඳහන් වන කිසිම සඳහනක් ඉතිහාසයේ දක්නා නොලැබේ. මේ වැව් ආක්‍රමණිකයින් විසින් විනාශ කරන ලද අවස්ථා තිබුණි. සිංහල රාජධානිය පැවතිතාක් කොතරම් විදේශ ආක්‍රමණ සිදුවුණත් විනාශ වන වැව් යළි පිළිසකර කිරීමට සිංහලයෝ සමත් වූහ. බ්‍රිතාන්‍යයින් ලංකාව අල්ලා ගැනීමෙන් පසුව මෙම ක්‍රියාවලිය අවසන් විය. ඔවුහු සිංහලයින් පාලනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් වැව් අමුණු බිඳ දැමූහ. හලාවත සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය දිගට බ්‍රිතාන්‍ය පාලකයින් දෙකට කඩා විනාශ කළ වැව් දුසිම් ගණනක් දැකිය හැකිය. ඒ සියලු මහ වැව් මැදින් මහා මාර්ගය දමා වැව් විනාශ කර ඇත. පුරාණ තුමුලසෝම පිරිවෙන බිඳ දමා මුන්නේශ්වරම් කෝවිල ඉදිකර ඇති ස්ථානය සමීපයේ පිහිටි පැරකුම්බා රජු ඉදිකළ කොට්ටබද්ද වැවෙන් ඇරඹෙන මේ වැව් පන්තිය අවසන් වන්නේ කුරුණෑගල නගරය සමීපයේ පිහිටි තිත්තවැල්ල වැවෙනි.

විනාශ වූ පැරණි වැව් ප්‍රතිසංස්කරණය කිරීම, ගංගා හරස්කර වේලි බැඳ මහා ජලාශ ඉදිකිරීම යටත් විජිත යුගයෙන් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක් විසින්ම කරන ලද්දකි. ඔවුන් කළ හැම ගංගා යෝජනාක්‍රමයක්ම පැරණි වැව් තැනීමට වඩා විශාල ක්‍රියාවකි. මේ අතර පානීය ජලය ගැටලුවක් මතු වී රට පුරා බෝතල් වතුර සඳහා වෙළෙඳපොළක් ඇතිවීම අපූරු සිදුවීමකි.

අනුරාධපුර, පොළොන්නරු, වන්නි ආදි රාජධානි පිහිටි ප්‍රදේශවල පැරණි වැව් රාශියක් තිබේ. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් මුළුල්ලේ ප්‍රදේශවාසීන් බීමට ජලය සපයාගත්තේ මෙම ජලශවලිනි. මේ ප්‍රදේශවල වකුගඩු රෝගය පැතිරෙන්නට වූයේ මේ අතරය. මේ ගැන සෙවූ ඇතැමුන් ගොවිතැන් සඳහා භාවිත කරන රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක වැව් ජලයට හා පොළොවට මිශ්‍රවීම ඊට හේතුව බව කියති.

තේ වතු රබර්වතු සඳහා භාවිත කරන රසායනික පොහොර නිසා ගංගා දූෂණය වීම සහ ජල උල්පත් අපිරිසිදු වීම පානීය ජලය අර්බුදයට තවත් හේතුවකි. රුපවාහිනි නාළිකා ආධාර කරගන්නා බෝතල් වතුර සහ වතුර පිරිසිදු කරන උපකරණ පිළිබඳ ප්‍රචාරය කරන සමාගම්, වැව් වතුරේ ශරීරයට අයෝග්‍ය ඛනිජ වර්ග සහ ලවණ ඇති බවට සියුම් ප්‍රචාරයක් ගෙනයති.

ලංකාවේ රාජධානි වැඩිම සංඛ්‍යාවක් පැවතුන ප්‍රදේශය වර්තමාන වයඹ පළාතයි. මෙහි පැරණි හැම ගමක්ම වැවක් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු නිසා වයඹ පළාත තරම් වැව් බැඳි පළාතක් ලංකාවේ තවත් නැත. ඒ වැව්වලින් අඩක් පමණ තාම ඉතිරි වී ඇතත් මේවායේ ජලය බොන්නට හැක්කේ ‘ගවයන් වැනි සතුන්ට පමණකි.

වයඹ පළාත වැනි ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් බොහොමක ස්වභාවය වැහි කාලයට ජලයෙන් පිරී ඉතිරීම සහ නියං කාලය පැමිණි වහා දිය හිඳීයාමයි. මේ නිසා බොහෝගොවීන් ‘නළයක් ගහගෙන’ ආරක්ෂා වීමට වෙහෙසේ. බොහෝ ගම්වලට පානීය ජලය ලැබෙන්නේ මෙම ක්‍රමයෙනි. වයඹ පළාතේ පිහිටා ඇති කුකුළු ගොවිපළවල සහ බෝතල් වතුර නිෂ්පාදන ආයතනවල අඩි සිය ගණන් ගැඹුරට බස්සන ලද නළ තිබේ. දශක කිහිපයකට පෙර රටේ බොහෝ ප්‍රදේශවල නළ ළිං පිහිටුවන ලදී. දේශපාලකයින්ගේ මැදිත්වීම නිසා අඟල් කිහිපයක් හාරන විට වතුර මතු වන ප්‍රදේශයන්හි පවා මේ නළ ළිං ඉදි කෙරිණි.

නළයෙන් කෙරෙන්නේ භූගත ජලය පොළොව උඩට ඇදීමයි. මෙම ජලයෙන් වැඩිම ප්‍රමාණයක් වාෂ්ප වී අහසට එක්වෙයි. මෙයින් සිදුවන්නේ භූගත ජල මට්ටම ක්‍රමයෙන් පහළට යෑම සහ මුහුදු ජල මට්ටම ක්‍රමයෙන් ඉහළට ඒමයි. ලංකාව වැනි මුහුදින් වට වී ඇති රටක නළ ගසා භූ ගත ජලය උඩට ඇදීම රට භයානක විපතක් කරා ගෙන යාමකි.

ඉතාම දියුණු ජල සංරක්ෂණ ක්‍රමයක් ඇතිකරගෙන පානීය ජලය නිපදවාගත් ලංකාව බෝතල් වතුරට පුරුදු වෙමින් අනගත පරපුර පානීය ජලය නිපදවන සමාගම්වල ගොදුරක් බවට පත්වීම කනගාටුවට කරුණකි. අනාගතයේ සිදුවිය හැක්කේ මේ බෝතල් වතුර විකිණීම බහුජතික සමාගම්වල ඒකාධිකාරයක් බවට පත්වීමයි. මෙසේ වන්නේ මන්දැයි සිතමින් පසුවන අතර යටත් විජිත භාවයෙන් නිදහස ලැබූ කාලයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විභාග සඳහා සූදානම් වූ ලංකාවේ ශිෂ්‍යයින් භාවිත කළ‘ලෝකෝපකාරය’ නමැති පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් නිව් යෝක් නගරයේ පරණ පොත් සාප්පුවක තිබී මිලයට ගන්නට ලැබුණි. මේ එහි අඩංගු පද්‍යයකි.

දෙගුරුන් විසින් තම – දරුවන්ට දෙන නොමද දන නම්
වියතුන් සබා මැද – ඉන්ට ඉදිරිව ශිල්ප දෙනු මැයි

තේරුම – දෙමපියන්ට දරුවන්ට දෙන්නට හැකි ලොකුම වස්තුව ඔවුන් උගත් සමාජයේ ඉදිරියෙන් සිටීමට උපකාරී වන ශිල්ප ඉගැන්වීමයි.

The greatest wealth that the parents should leave for their children is the education that makes them shine among the intellectuals

මෙම පද්‍යය අඩංගු ලෝකෝපකාරය කවුරුන් කොයි කාලයක ලියූ කවි පොතක් ද යන කාරණය විසඳී නැත. ජයවර්ධනපුර රාජධානි සමයේ රචනා කෙරෙන්නට ඇතැයි විද්වතුන් කිහිප දෙනෙකු පවසා තිබේ. බ්‍රාහ්මණ ධර්ම ශාස්ත්‍රයට අයත් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වී පැවති නීති හා උපදෙස් ගණනාවක් මෙහි අඩංගු වේ. ඉහත පද්‍යයෙන් විස්තර කෙරෙන්නේ එක උපදේශයකි. එයින් කියවෙන්නේ දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන්ගේ ලොකුම යුතුකම බවයි.

ලෝකෝපකාරය යටත් විජිත සමයේ ආණ්ඩුවේ පාසල්වල ඉගැන්වූයේ ඇයි ද යන්න ඉතා පැහැදිලි කරුණකි. එහි අඩංගු උපදේශ හා නීතිවලින් ඉංග්‍රීසි ආණ්ඩුවට ප්‍රයෝජන ගැනීමට පුළුවන් බව පාලකයින් තේරුම්ගත් නිසාය. ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවූ පසු එහි ප්‍රාරම්භ පරීක්ෂණය සඳහා ලෝකෝපකාරය නියමිත ග්‍රන්ථයක් වශයෙන් භාවිත කර තිබේ. මෙහි ප්‍රතිඵලය වූයේ දරුවන්ට ඉගැන්වීමේ වටිනාකම ලංකාවේ ඉහළ පන්තිය පිළිගැනීමයි. නිදහස් අධ්‍යාපනය පිහිටුවීමෙන් පසු දරුවන්ට ඉගැන්වීම කෙරෙහි රටේම දෙමව්පියන්ගේ උද්‍යෝගයක් ඇතිවුණි. ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් වැඩි පිරිසක් කිසියම් උසස් අධ්‍යාපනයක් ලැබූවන් වී ඇත්තේ ඒ උද්‍යෝගයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අධ්‍යාපනය මගින් සිදුකළේ ස්වදේශීය දේ නොසලකන බ්‍රිතාන්‍යයන් උසස් යැයි සිතන රටවැසියන් බිහිකිරීමයි. ලෝකෝපකාරය සිංහල පද්‍ය සංග්‍රහයේ අඩංගු නීති උපදෙස් පාසල්වල ඉගැන්වීම මගින් ඉංග්‍රීසි පාලකයින් බලාපොරොත්තු වූයේ ඉංග්‍රීසීන් පුදන සිය උරුමය නොසලකන රට වැසියන් බිහි කිරීමයි. ලංකාව නිදහස ලැබූ නමුදු බ්‍රිතාන්‍යයන් පිහිටු වූ අධ්‍යාපන ක්‍රමය ඒ විදිහටම පවත්වාගෙන යාම නිසා සිදු වූයේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවලින් එන සියලු අදහස් උසස් යැයි සලකන රට වැසියන් බිහිවීමයි. බෝතල වතුරට ගොදුරුවීමත් අපේ උගත්කමේ විපාකයකි.

(2019 පෙබරවාරි 17 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link