සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු

Last Updated on 1 month by admin

පාංශුකුල කටයුතු අවසන් වූ පසු අවමංගල්ලය සිදු වූ නිවසට ගොස් රෑ පහන් වන තුරු ‘දුක්මුළා’ නමින් හැඳින්වුණු කවි ගායනා කිරීමේ සිරිතක් ‘ගාඩි බිළින්දියන්’ හෙවත් ගාඩි කාන්තාවන් අතර පැවතිණි. ‘ගාඩි’ යනු මෑතක් වන තුරු බොහෝ දෙනා රොඞී නමින් හැඳින්වූ ජන කණ්ඩායමකි. ‘ගාඩි’ යන නම නිර්මාණය වී ඇත්තේ, ‘ගෞඩි’ යන වචනයෙනි. යසෝදරාවත හා වෙස්සන්තර ජාතකය, දුක්මුළා ගායනාවලදී භාවිත කරන ලද කවි පොත් දෙකකි.

මළගෙවල්වලට ගොස් කුලියට ඇඞීම කතෝලික ආගම පැතිරුණු මුහුදුබඩ පළාත්වල තිබුණු සිරිතකි. මීගමුවේ විසූ, කුලියට හඩන ගැහැණුන් පිළිබඳ කතා පුවත්පත්වල පළ වූ අවස්ථා තිබුණි. දුක්මුළා ගැයූ, හලාවත වැනි ප‍්‍රදේශයන්හි විසූ ගාඩි කාන්තාවන් ඔවුන් වාසය කළ ‘කුප්පායම්’ අතහැර රට ඇතුළට එන්නට එක් හේතුවක් වූයේ, කතෝලික පූජකවරුන්ගෙන් ඔවුන්ට සිදුවූ බලපෑමයි.

උඩුකය වැසීම ගාඩි බිළින්දියන්ගේ සිරිත නොවීය. එය කුල සිරිතකි. ඊට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කළේ, රත්නවල්ලි දේවතාවිය උඩුකය නොවැසූ නිසා තමන් ඒ සිරිත දිගින් දිගටම අනුගමනය කරන බවයි. (පැරණි ප‍්‍රතිමාවන්හි දැක්වෙන අවලෝකිතේශ්වර පතිනිය – තාරා දේවියගේ උඩුකය වැසී නැත. කාන්තාව උඩුකය නොවැසීම අසභ්‍ය හැසිරීමක් සේ ක‍්‍රිස්තියානි දේවගැතිවරුන්ට පෙනුණි. වික්ටෝරියානු සංස්කෘතිය යටතේ, මේස කකුල් පවා රෙදිවලින් ආවරණය කරන ලද බව එංගලන්ත සංස්කෘතික ඉතිහාසයේ කියැවේ. දුක්මුළා කවි, ‘පසන් ගී’ වශයෙන් කතෝලික උරුමයක් වීම ඉතා මෑතදී සිදු වූවකි. ඊට මූලික වූ ආචාර්යවරයාට ‘ඔළිඳ කවි’ අසු නොවූයේය.

‘ඔළිඳ කෙළිය,’ මෑත අතීතයේ කාන්තාවන් අතර ජනප‍්‍රියව පැවති ක‍්‍රීඩාවකි. ඊට සහභාගි වන කාන්තාවෝ කණ්ඩායම් දෙකකට බෙදී කවි ගායනා කළහ.

‘ඔළිඳ තියෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තියෙන්නේ බංගලි දේසේ
ගෙනත් හදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් හදන්නේ සිංහල දේසේ’

බංගලි දේශය, බටහිර බෙංගාලය යයි ඉන්දීය ඉතිහාසකරුවෝ කියති. එහි ඉතිහාසය සොයන්නෙකුට මහාවංශය, දීපවංශය වැනි පොත්වලින් ලැබෙන තොරතුරුවල වටිනාකම අප‍්‍රමාණය. සිංහබාහු කතාව නිදසුනකි. මහාවංශයේ අඩංගු සිංහබාහු කතාවෙන් කොටසක් මෙසේය:

‘‘අතීත කාලයෙහි වගුරට වගුනුවර වගු රජෙක් විය. කලිඟු රජු දුවක් ඒ රජවට මෙහෙසි වූවාය. ඒ රජතෙමේ එම දේවියගෙන් එක දුවක් ලැබී. ….. ඕතොමෝ ස්වඡුන්ද වෘත්තී සුව කැමැත්තී හුදකලාව අප‍්‍රසිද්ධ වේෂයෙන් මගධරට බලා යන වෙළඳ සමූහයක් කැටිව ගියාය. ලාටරට අටවියෙහිදී සිංහයෙක් තෙමේ වෙළඳ සමූහයා වෙත දිව ආවාය…’’

අතීත බෙංගාලය, වගුරට හෙවත් වංග දේශය වූයේ යයි බොහෝ ඉතිහාසකරුවෝ කියති. මහාවංශයේ සඳහන් සිංහයා ‘ඩෙකොයිට්’ නායකයෙකු බවට සැකයක් නැතැයි ආචාර්ය දිනේශ්චන්ද්‍ර සෙන් සඳහන් කරයි. බ්රිතාන්‍යයෝ ඉන්දියාවේ පාරම්පරික සොරමුල් සඳහා ඩෙකොයිට් නම යෙදූහ. ‘ජිස් දේස් මෙන් ගංගා බෙහෙති හේයි’ ඩෙකොයිට් සොරමුලක් පිළිබඳ කතාවක් තේමා කරගත් හින්දි චිත‍්‍රපටියකි. මහාවංශයේ සඳහන් වන සිංහයා අඩවියක් (වනාන්තර ප‍්‍රදේශයක් වාසභූමිය කරගෙන සිටි සොර රැහැක නායකයෙකි. සුප්පා දේවියට සිංහයා වශී වූ බව වංශකතාවේ සඳහන් වේ.

මහාවංශය බඳු ඉතිහාස පොතක් විද්‍යමානව නැති නමුදු, සිංහයා සහ කුමරියගේ කතාව බෙංගාලයේ පැවති බවට තොරතුරු ඇත. සිංහයෙකු සහ කුමරියක මෛථුන්‍යයේ යෙදෙනු දැක්වෙන මැටි පුවරුවක් හමුවීම, ඒ බෙංගාල වාසීන් අතර ජනප‍්‍රියව පැවති බවට සාක්කියකි. (මෙහි ආරම්භයේ ඇත්තේ ඒ රෑපයයි) මහාවංශයේ සුප්පා දේවී, බෙංගාල කතාවට සුසීමා කුමරිය වූවාය. සිංහ වංශයේ උපත සිදුවන්නේ අඩවිවාසියා සහ වංගකුමරියගේ සම්බන්ධයෙනි.

‘චන්ද්‍රකේතුගාර්’ යනු ගංගානම් ගංගාව මුහුදට වැටෙන නිම්න ප‍්‍රදේශයේ පැවති පැරණි ශිෂ්ටාචාරයකි. ජනප‍්‍රවාදය පරිදි, චන්ද්‍රකේතු රජතුමා එම ශිෂ්ටාචාරයේ ආරම්භකයා වූයේය. ඔහු මගධ රාජධානියේ බදු එකතුකරන්නෙකු හෝ ප‍්‍රදේශීය පාලකයෙකු විය යුතු බව ඉතිහාසඥයෝ කියති. අතීත කාලයේ බටහිර බෙංගාලය සිංහයන් බහුලව විසූ ප‍්‍රදේශයකි. ජාර්කන්ඞ්හි දහස් ගණනින් සිංහයින් විසූ බවට සාක්කි තිබේ. මෙහි සිංහපුරයක් තිබී ඇත. තවමත් සිංහ නම ඇති ගම් බිම් පවතී.

මහාවංශයේ සිංහයාගේ කතාවේ ඉතිහාසය සොයන්නන් දැනගත යුතු තොරතුරු රාශියකි. කාලිංගය හෙවත් වර්තමාන ඔරිස්සාවේ සහ වයඹදිග ඉන්දියාවේ මීට සමාන කතා තිබේ. සිංහල යනු බෞද්ධයන් සඳහා භාවිත නමක් යයි ඉන්දියානු ඉතිහාසකරුවන් පවසන බව පෙර ලිපියක සඳහන් කළෙමු. සිංහලයන් සමග නෑදෑකම් පෙන්වීමට පැරණි ජම්බුද්වීපයේ නොයෙක් රටවල ජනයා විශාල කැමැත්තක් දැක්වූ බවට සාක්කි තිබේ. එදා සිංහලයන් සතු වූ විශේෂ ගුණය අදීනබවයි.

මහානාම හිමියන් වචනාර්ථයෙන්ම බුද්ධිමතෙකි. තත්කාලීන ලෝකය, ඉතිහාසය හා සාහිත්‍යය පිළිබඳ විසල් දැනුමැත්තෙකි. සුභාෂිතයේ කවියක ‘දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ – සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ’ යයි සඳහන් වේ. මහාවංශයද එවැන්නකි. මේ බව නොවැටහෙන ඇතැම් පුද්ගලයෝ වීරිය යොදා මහාවංශයට බැට දෙති.

‘සිංහයෙකුට දාව එහෙමත් නැත්නම් තිරිසන් සතෙකුට දාව අපේ පරපුර ආරම්භ කළා කියනකොට ඒක මදි පුංචිකමක් හැටියට තමා මට දැනුනෙ. එතනින් ඉස්සරහට ඇවිත් අයියයි නංගියි එකතුවෙලා දරුවො බිහිකළා කිව්වම ඒකත් නොවිය යුතු දෙයක් කියල හිතුනා. කවද හරි මේ මතය වෙනස් කරන්න ඕනේ කියන හැඟීම් මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා.’

සිංහබාහු චිත‍්‍රපටිය නිපදවූ ආචාර්ය සෝමරත්න දිසානායක කියයි. මෙයින් ඔහුගේ නොවැඩුණු මොළය එළිදරව් වන හැටි පසුගිය ලිපියකින් පැහැදිලි කළෙමු. එසේම ඔහුගේ ඉතිහාස හා සාහිත්‍ය දැනුමේ අඩුව ප‍්‍රදර්ශනය වී මහාවංශයේ අගය වැඩිවන්නේය. මොළය අඩු ඉතිහාසය, සාහිත්‍යය නොදන්නා උගතුන් සමාජය දැනුවත් කරන්නට යාම අතිශයින් භයානක ක‍්‍රියාවකි.

විවාහ වන තෙක් අයියා නංගීගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කිරීමේ ඉපැරණි චාරිත‍්‍රය වරදවා අවබෝධ කරගෙන ඇති අයුරු පෙර ලිපියෙන් පැහැදිලි කෙරිණි. සිංහබාහු කතාව බෙංගාලයට විනා, සිංහල දේශයට අයත් එකක් නොවේ. මහාවංශයේ සිංහල ජාතියේ කතාව විජය කුමාරයාගෙන් ඇරඹෙන්නකි. මහාවංශයේ හැර තවත් තැන්හි විජය කුමරා ගැන කතා තිබේ. මහානාම හිමියන් මහාවංශයේ මුල් පරිච්ඡේද ලියන්නේ කතා ගණනාවක් එක් කරමිනි. විජය-කුවේණි හමුවට සමාන කතාවක් හෝමර්ගේ ඔඩෙසි කෘතියෙහි තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සිංහල – ග්රීක ඉතිහාස සබඳතා අනාවරණය කරමින් පොතක් ප‍්‍රසිද්ධකර තිබේ. මෙය පැරණි ග‍ත් කතුවරුන්ගේ සිරිතකි. අලුත් බයිබලය ලියන පෝල්, යේසුස් වහන්සේට වසර 400කට පමණ පෙර විසූ යුරිපිඞීස් විසින් ලියන ලද ‘බචූ’ (බකායි) නාට්‍යයේ දියෝනිසස්ගේ චරිතයේ ඇතැම් කොටස් යේසුතුමාගේ චරිතය සඳහා පාවිච්චි කර ඇත.

ගාඩි භාෂාව ගැන අප පළමු වරට දැනගත්තේ කනතොලූවේ සිට වදුරැස්සට ගෙනා ගාඩි රැහේ පැරැන්නන්ගෙනි. විජය රජුගේ සේනාවෙන් තම පරපුර පැවතෙන බව කීමට සමහරුන්ට දැනුම තිබුණි. බෙංගාලයේ ‘ගෞඩි’ නමින් රණශූර ගෝත‍්‍රයක් විසූ බවට ඉතිහාස තොරතුරු පවතී. අතීතය පරීක්ෂා කිරීමේදී ‘රොඩී’ යනු අවමන් පදයක් නොවන බව පැහැදිලි වේ.

‘අහිංසක’, දඹදිව පිළිගත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ උගතෙකි. ඔහු මිනිසුන් මරා ඇඟිලි කපා එකතු කරන අපරාධකාරයෙකු කිරීමට මහාචාර්යවරයාට (දිසාපාමොක්ට) හැකි විය. විශ්වවිද්‍යාල ආධාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය සංහාරයට උගතුන් යෙදවීම වර්තමානයේ සිදු වේ. ඔවුන්ගේ දීනත්වය හෙළිකිරීම සහ අදීන පරපුරක් ගොඩනැඟීම රටට ජාතියට ආගමට ඇල්මැති සියලූ දෙනාගේ යුතුකමයි.
.

.

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link