ආරියරත්නලාට හසු වී නැති වුන ගම්

Last Updated on 6 months by admin

කනතොලුව මී ඔය බඩ පැවති පැරණි සිංහල ගමකි. ‘ගාඩි’ වහරට එය කුප්පායමයකි.  මෙවැනි කුප්පයම් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර රාජධානියේ පැවතුණි. කනතොලුවේ වැඩිහිටියන් කී ලෙසට  කුප්පායමේ ඉතිහාසය ‘පෙකනිවැල් පස්පැල පන්ලහක්’ පැරණි වූවකි. සිංහලෙන් තේරුම දැක්වුවොත් ප`ඩුවස්නුවර රාජධානි සමය තරම් ඈත  ඉතිහාසයක් හිමි කුප්පායමකි. අවට සිංහල හෝ මුස්ලිම් ගම් කිසිවක නැති විශේෂ සංස්කෘතියක් කනතොලූවේ පැවතුණි.

එළාරගෙන් ලංකාව බේරාගත් දුටු ගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරය සැඩොල්  කෙල්ලකට පෙම් බැඳීමේ කතාව මෑතක් වනතුරුම සිංහලයන් අතර ඉතා ජනප‍්‍රිය වූ  කතාන්දරයකි. එය මහාවංශය, සීහලවත්ථුව වැනි පැරණි පොත පතේ ද අඩංගු වේ. බි‍රිතාන්‍ය පාලන සමයේ මහාවංශයේ වැරදි පෙන්නූ බටහිර උගත්තු මහාවංශයේ අඩංගු  සාලිය කුමාරයාගේ කතාව ගැනත් සෙවූහ. කෞතුකාගාරයේ රැකියාව කළ ඇම්. ඞී. රාඝවන් නමැති ඉන්දියානු මානව විද්‍යාඥයා එහි නායකයා වූයේය.

ලංකාවේ ජන කණ්ඩායම් ගැන ලිපි කිහිපයක්ම ඉදිරිපත් කළ රාඝවන් ‘හැන්ඞ්සම් බෙගර්ස්’ නමින් රොඞීන් පිළිබඳ පොතක් ප‍්‍රසිද්ධ කළේය. ඔහු ‘ප‍්‍රසන්න හිඟන්නන්’ යැයි කීවාට රොඞීන් යනු යාචකයින් නොවේ. ඒ නමින් කියැවෙන්නේ රාඝවන් සිංහල නමට දැක්වූ අකැමැත්තයි. ඔහුගේ මතය පිළිගෙන රොඞීන් ඉන්දියාවේ චණ්ඩාල නමින් හඳුන්වන කුලහීන ජන කණ්ඩායමට සම්බන්ධ ජනකොටසක් යයි කියැවෙන ලිපි ඒ කාලයේ පුවත්පත් හා සඟරාවල පළ විය. අශෝකමාලා තිසාවැව අසල විසූ  ජනප‍්‍රධානියෙකුගේ දුවක යයි, ලිපියක් මඟින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පැහැදිලි කළේය.

පළාතේ අති දුෂ්කර ගම් සිය ගණනක් තිබුණද, කනතොලුව ගම වෙනස් කරන්නට පිටින් එහි පැමිණි ගුරුවරයෙකුට සිතුණි. ඔහු රොඩියෙක් නොවේ. මෙම ගුරුවරයා  කනතොලූවේ ශ‍්‍රමදානයක් සංවිධානය කළේය. බිංගිරිය මැතිවරණ බල ප‍්‍රදේශයේ ගමක් වූයෙන් එය නැරඹීමට ඇල්. බී. ජයසේන මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ ගුරුවරයාගේ හිතවතුන්ට එහි එන්නැයි ආරාධනා ලැබුණි. කුලියාපිටිය ශාස්ත්‍රෝදය මුද්‍රණාලයේ හිමිකරු වූ ජේ.ඒ.පී. වන්නිආරච්චි එහි පැමිණියේ සිය භාර්යාවගේ සොහොයුරිය විවාහ කරගෙන සිටි මරදාන පැත්තේ පදිංචිව සිටි ඒ. ටී. ආරියරත්න සමගිනි.

කුප්පයම් දොරට පැමිණි අමුත්තෝ කනතොලූව හා රොඞී ජනයා ගැන අප‍්‍රසන්න හැඟුම් ඇතිකර ගත්හ. කනතොලුව, මරදානේ මුඩුක්කුවක් හා සමාන යයි ඒ. ටී. ආරියරත්න කීවේය. පිට පළාතකින් ප‍්‍රදේශයට පැමිණි සිංහල ගුරුවරයෙක් වූ ජයසේන දේශපාලනයට පිවිසුනේ ඊරියගොල්ලට සේවය කිරීමෙනි. රොඞීන් ගැන මෙලෝ හසරක් නොදැන සිටි ඔහු ඔවුන්ට අලූත් ගමක් හදා දෙන්නට රජයේ ඉඩමක් ලබාදීමට කැමති විය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහ ඇමරිකානු ආධාර යටතේ පවත්වාගන ගිය ‘සාගිනි නිවීමේ ව්‍යාපාරයේ’ ආධාර ලබාගෙන වඳුරැස්ස ජනපදය හැදීම ඇරඹුණි. වඳුරැස්සේ ශ‍්‍රමදාන වැඩට කොළඹ නාලන්දේ ගුරුවරුන් හා සිසුන් පිරිසක් ගෙනා ආරියරත්න ‘සර්වෝදය’ නමින්ම වඳුරැස්ස ව්‍යාපෘතිය කළේය. දේශපාලන බලය යෙදීමෙන්  (හෙට්ටිපොළ) කනතොලුව  (බිංගිරිය) දිගන්වෙල හා (මුගුණුවටවන) කැප්පෙටියා වැව ගම් මකමින් වඳුරැස්සට පදිංචිකරුවන් ගෙන ඒම සිදු විය. ඒ පිළිබඳ විස්තර ‘සිංහල රාජ්පුත් නෑදෑකමේ සිහිවටනය: සොකරි’ පොතේ ඇත.

වඳුරැස්ස මොනම ක‍්‍රමයකට වත් ගමක් නොවීය. රොඞී සංස්කෘතිය සංහාරයට පත් වන හැටි එහි පැමිණි වැඩිහිටියන් හැම දෙනාටම වැටහුණි. ක‍්‍රිස්තියානි මිෂනාරි කණ්ඩායම් ඔවුන් අතර කරක් ගැසූහ. සිඟාකෑම හැර ගම්මුන්ට වෙනත් පිළිසරණක් නැති විය. ජවිපෙ ක‍්‍රියාත්මක වීම සහ ඔවුන් නැසීමට ඉදිරිපත් වූ හමුදා නිසා අපටත් වඳුරැස්ස සමග සබඳතා පැවැත්වීම නැවැත්වීමට  සිදු විය. නමුත් අප හා  එහි ආගිය ඇන්. ටී. කරුණාතිලක මහතා ‘ගාඩි වංශය’ ලියා ප‍්‍රකාශයට පත් කළේය.

ජර්මනියේ ටියුබින්ගන් විශ්වවිද්‍යාලයෙහි ඉගෙනුම ලැබූ ලෝක කාන්තාවෝ (ප‍්‍රවුනන් දෙයා වෙල්ට්) සංවිධානයේ ලේකම් ඌට ක‍්‍රිකල්, උපාධිය සඳහා ‘ගාඩි බිළින්දියන්’ පිළිබඳ පර්යේෂණ පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම අපට මහත් සතුටට කරුණක් වූයේය.  එම සංවිධානයේ උපකාර ඇතිව, ‘අපරාජිතා’ නමින් ගාඞී කාන්තාව තේමා කරගත් සිංහල පොතක් ප‍්‍රකාශයට පත් කර ඇත.

ක‍්‍රිස්තියානි ක‍්‍රමයට ඇරඹෙන මැයි පළමුවෙනිදා ලංකාවේ සියලූ දේශපාලනඥයෝ මැයි උත්සව පවත්වති. බෞද්ධ ක‍්‍රමයට මැයි මාසය යනු වෙසක් මාසයයි. රොඞී කුප්පායම් පැවති කාලයේ ඒවායේ විසූවෝ කුප්පායම් පිටින් වෙසක් පෝය කාලයට අනුරාජපුරය වන්දනා කළහ. කාන්තාවන් ඉදිරියෙන් ගමන් කරමින් පිරිමින් ඔවුන්ට පසුසෙන් යාම ගාඩි සිරිතයි. ඔවුන් අනුරාජපුර ගියේ ‘රත්නවල්ලි ස්ත්‍රෝත‍්‍ර’ කියමිනි. රත්නවල්ලි දෙව්දුව වැඩවාසය කළ තෙළඹු වෘක්ෂය පිහිටි ස්ථානයේ දුටු ගැමුණු රජතුමා රුවන්වැලි සෑය ගොඩනැගූ බව රත්නවල්ලි කවිවලින් කියවේ.  දුටු ගැමුණු රජතුමාගේ මනුස්සකම ගැනද ඒ කවිවලින් කියවේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link