Last Updated on 8 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි සහ රෑත් බර්ලාවු
මාක්ස්වාදය ඉන්දියාවේ පීඩිතයන්ට යාන්තමටත් උසස් ඉගෙනීම ලබන්නන්ට දැඩි ලෙසත් බලපෑම් කරන අයුරු, ඉන්දියාවේ ජාතිකත්වය වෙනුවෙන් වෙහෙසෙන උගත්තු පෙන්වා දෙති. ඉන්දියාවෙහි මාක්ස්වාදය පැතිරෙන්නේ සෝවියට් ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මාක්ස්වාදය නිසා ජාතිකත්වයෙන් පිරිහුණු ස්වදේශිකයන් පිරිසක් බිහි වන බව බි‍්‍රතාන්‍යයන්ට වැටහුණෙන්, ඔවුහු ඒ පැතිරෙන්නට ඉඩහැරියෝය. වර්තමානයේ ඉන්දියාවට විරුද්ධ ජාත්‍යන්තර ප‍්‍රචාර ගෙන යන සහ ඉන්දියාව බෙදීමට වෙහෙසෙන ඉන්දියානුවන් බහුතරයක් දෙනා බෝවී ඇත්තේ ජාතිකත්වය කප්පාදු කරගත් මාක්ස්වාදී ඉන්දියානුවන්ගෙනි.
ලංකාවේ ඇත්තේ ඉන්දියාවට වඩා ඔඩු දිවූ තුවාලයකි. ජාතිකත්වය නසාගත් උගතුන්ට රජයේ අධ්‍යාපනයට ඍජුවම බලපෑම් කිරීමේ හැකියාව තිබේ. බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට් යුක්තියේ විනිශ්චය ආසනය මත හිඳගත් බෝධිසත්වයකු සේ සැලකීම, සරල නිදසුනකි.
බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්, ලෝකයේ අග‍්‍රගණ්‍ය කලාකරුවකු කිරීමට, නැඟනහිර ජර්මනිය පාලනය කළ සෝවියට් කොමියුනිස්ට් සංගමයේ ප‍්‍රචාරක යන්ත‍්‍රයට හැකි විය. එහෙත් ගරු කටයුතු කලාකරුවකු සතු විය යුතු සුදුසුකම් කිසිවක් ඔහුට නොතිබුණි. හුණු වටයේ කතාව නිදසුනකට ගතහොත්, ඒ ඔහුගේ නාට්‍යයක් නොවේ. චීන බෞද්ධයන්ගේ නාට්‍යයකි. ඊට වස්තු වී ඇත්තේ ජාතක කතාවක්. ඒ චීනයට යන්නට ඇත්තේ ඉන්දියාවෙනි. චීන බෞද්ධ නාට්‍යය ඇසුරෙන් නිර්මිත හුණු වටයේ නාට්‍යය යුදෙව්වන් විසින් ජර්මනියේ සහ ඇමරිකාවේ රඟදක්වා තිබේ.
මහාචාර්ය ජොන් ෆුජි දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණයකින් පසු, බ්‍රෙෂ්ට් නාට්‍ය පිටපත් කොල්ලකරුවකු බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කරයි. බ්‍රෙෂ්ට්ගේ යයි බොහෝ දෙනා වරදවාගත් හුණු වටයේ නාට්‍යයේ පිටපත, රූත් බර්ලාවු නමැති කාන්තාව විසින් ලියන ලද්දකි. චීන බෞද්ධ නාට්‍යයක් ඇසුරින් ක්ලවුබුන්ග් (ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි) විසින් නිපදවා බර්ලිනයේ රඟදැක්වූ හුණු වටයේ කතාව නාට්‍යය නරඹා ආස්වාදය ලැබූ ඇය ද හුණු වටයේ නාට්‍යයක් ලියා තිබේ. ඇය සමඟ ඇසුරක් පවත්වා ලිංගික ප‍්‍රයෝජන ගත් බ්‍රෙෂ්ට්, ඇගේ පිටපත කොල්ලකෑවේය..
පසු කලෙක නැගෙනහිර ජර්මනියට ගිය බ්‍රෙෂ්ට්, නාට්‍ය සමිතියක් අරඹා, කොමියුනිස්ට් නායකයන්ට ආවඩන නාට්‍ය නිපදවන්නට ගත්තේය. කොමියුනිස්ට් නායකයින්ගෙන් ඔහුට සම්මාන පිට සම්මාන ලැබුණි. රුසියාවෙන් ලැබුණු ස්ටාලින් ත්‍යාගයේ අගය ඩොලර් පන් ලක්ෂයකි. ඔහු රැස් කරන ධනය ස්විස් බැංකුවල තැන්පත් කළේය. ඒ ධනය හිමි කරගත් බ්‍රෙෂ්ට්ගේ පුතෙක් ඇමරිකාවට පැමිණ පදිංචි විය.
ලංකාවේ මාක්ස්වාදයේ ප‍්‍රාරම්භක සහෝදරුවරුන් අතරින් නිර්ධන පංතියට සම්බන්ධ කිසිවෙකු නැත. පිලිප් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබූවෙකි. ඉතිරි සමසමාජ නායකයින් කිහිප දෙනා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබුවෝ වෙති. මේ හැම දෙනා, වමේ භාෂාවෙන් කිවහොත්, ධනපති පංතියට අයත් වූවෝ වෙති. කොළඹ ඉහළ පාසලක අධ්‍යාපනය ලැබීමට වාසනාව හිමි වූ මොවුන්ගේ දරුවන්ට ඇමරිකාව වැනි රටක ඉගෙනුම ලැබීම හෝ හිතවත්කමට දෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන රුසියාවේ හෝ නැගෙනහිර යුරෝපයේ විශ්වවිද්‍යාලයකට යාම ඉතා පහසු විය.
රාජ්‍ය බලය ලැබිය නොහැකි වූ නමුදු ලංකාවේ වමේ ව්‍යාපාරයට රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ජයගත හැකි විණි. සෝවියට් සංගමයේ රටවල තානාපති කාර්යාලවලින් වමේ නායකයින්ට සහාය ලැබුණි. හුණු වටයේ කතාව නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ආධාරයෙන් නිපදවන ලද්දකි.
හෙන්රි ජයසේනගේ හුණු වටයේ කතාව නාට්‍යයේ පෙළ පොත, අවුරුදු ගණනක් මුළුල්ලේ පාසල් භාවිතය සඳහා නිර්දිෂ්ඨ ග‍්‍රන්ථයක් වීමට ද හේතුවක් තිබේ. මාක්ස්වාදී පක්ෂවලට සම්බන්ධ සමාජවාදීන්ගේ සාහිත්‍ය හා සංස්කෘතික සංගම් කිහිපයක් තිබුණි. බණ්ඩාරනායක ආණ්ඩුවලට මුක්කු ගසාගෙන සිටි වමේ නායකයෝ මෙවැනි සංස්කෘතික සංගම්වල බලධරයන්, අධ්‍යාපන සහ පුස්තකාල සේවා මණ්ඩලයට සම්බන්ධ ආයතනයන්ට ඇතුළු කළහ.
හුණු වටයේ කතාව දීර්ඝ කාලයක් තිස්සේ උසස් පෙළ නිර්දිෂ්ඨ ග‍්‍රන්ථයක් වීමට බලපෑ අනෙක් හේතුව, කොටි ව්‍යාපාරයට පෙර උතුරේ පැතිරි බෙදුම්වාදී චින්තනයයි. උතුරු නැෙඟනහිර පළාත්වල භූමිය, ඒවායේ පාරම්පරික උරුමක්කාරයින්ට නොව වගාකරුවන්ට හිමි විය යුතුය යන පණිවිඩය මෙම නාට්‍යයෙන් ප‍්‍රකාශ විය. (විස්තර සඳහා අප විසින් රචිත ‘බෞද්ධ නාට්‍ය ශාස්ත‍්‍රය’ බලන්න)
එනිසා නාට්‍ය පෙළ පොත පාසල් භාවිතයට යෙදවීම පාසල් දරුවන්ගේ මොළ දූෂණය කිරීමකි. ඒ අතවරයට ලක් වූ විශාල පිරිසක් ජනමාධ්‍ය හා කලා ක්ෂෙත‍්‍රයන්හි නායකයින් වී සිටිති. කලකට පෙර මානව හිමිකම් පිළිබඳ විනිශ්චය ආසනයට නංවන ලද බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට් තවමත් එහි වාඩි කරගෙන සිටින්නේ ඔවුන්ය. වසර ගණනාවකට පෙර හේමරත්න ලියනාරච්චි ප‍්‍රසිද්ධ පුවත්පතකට සැපයූ, පෙර කී මහාචාර්ය ජෝන් ෆුජිගේ කෘතිය ඇසුරින් රචිත ලිපි පෙළ අතරමඟ නවතන්නට වූයේ වමේ මාධ්‍යකාරයින්ගේ බලපෑම නිසා බව ඔහු අප හා කීය.