Last Updated on 1 year by admin
දැන් පිටරටවල වෙසෙන සිංහලයින් බොහොමයි. ඔවුන් අතර උගතුන් යම් ප‍්‍රමාණයක් ඉන්නව. අකමැත්තෙන් වුවත් වැඩිම පිරිස පාන්කඩ උගතුන් බව කිව යුතුයි. සහතික නැති සාමාන්‍ය සිංහලයන් ප‍්‍රමාණය වැඩියි. ලංකාවට ගිය විට සල්ලි ටිකක් විසිකරල ලොකුකම පෙන්වීම මේ දෙපාර්ශවයෙන්ම කෙරෙනව. ඊට වැඩිය ලොකු දේවල් කරන අයත් ඉන්නව. නැගෙහිර පළාතේ සිංහල ජනපද රකින්ඩ උපකාර කරන සිංහල පිරිස් හොඳම උදාහරණයයි.
මා ජර්මනියේ සිටි කාලයේ බර්ලින්හි ‘පෝනව්’ කන්දේ පෝනව් විහාර ඉඩමෙන් කොටසක් ඇල්ටිටීඊයට විකුණා දැමීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වුනා. ඒ ඇල්ටිටීඊ යේ බලවත්ම අවධියයි. මේ කාලයේ දෙමළ කතා කරන ලාංකිකයන් විශාල පිරිසක් ජර්මනියට ඇවිත් හිටිය.
පෝනව් හි සිදුවන දේ දැනගත්ත අප මිත‍්‍ර කොලට් සේනානයක එය වළක්වන්න තනිවම මහන්සි ගත්ත. ඔය කාලෙ බර්ලින් නුවරින් ‘තත්පරය’ කියල අත් පත්තරයක් පිටවුනා. මේක කෙරුවෙ කලක් නාලන්දාවෙ ගුරුවරයෙක් හැටියට කටයුතු කරපු හේමසිරි කියල කෙනෙක්. ඔහුව බොහෝ දෙනෙක් දැනගෙන සිටියෙ ‘තත්පරයා’ නමිනුයි.
කොලට් සේනානයක ඔන්න ඔය තත්පරයෙන්, ‘පෝනව් පන්සල බේරාගනිව්’ කියල කවි පන්තියක් ඉදිරිපත් කර තිබුණ. මාතෘකාව ‘කැලෑපත්තරය’. ඊට පස්සෙ අර්නස්ට් අබේසිංහ සමග එක්වූ ඔහු, ‘බර්ලින් ශ‍්‍රී ලංකා හියුමන් රයිට්ස්’ සංවිධානය හදාගෙන පෝනව් පන්සල් වත්ත ඇල්ටීටීඊ ග‍්‍රහණයට අසුවීම වැළැක්වීමට ලොකු වැඩපිළිවෙළක් ගෙන ගියා. අපගේ සහාය ඔවුන්ට හිමිවුනා. නමුත් එහි හිටි සිංහලයින් වැඩි පිරිසගෙන් ඔවුන්ට කිසිම සහායක් ලැබුණේ නැහැ. ‘අපට ලෙඩ දාගන්ඩ බැහැ’ කියමින් වැඩි පිරිස සැඟවුනා. ඔවුන් කැමැත්තෙන් කෙරුවෙ රටේ ඇමතිවරුන්, කුමාර් රූපසිංහ වැනි දේශපාලන හෙංචයියන් හා ගායක ගායිකාවන් බර්ලින් පැමිණිවිට එවැන්නන්ට සැලකීම.
බර්ලින් විහාරය තිබුණෙ පෝනව් කියන ගමේ. ඒ පැත්තෙ හිටියෙ ඉහළම ධනවත්තු. ඇල්ටීටීඊ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් පෝනව් කන්දේ පටන්ගත්තොත් ප‍්‍රදේශයට සිදුවන විපත පැහැදිලි කරමින් අප මිත‍්‍රයන් දෙදෙනා ලිපියක් හදල එක රුයෙන් පෝනව් ගමේ හැම ලියුම් පෙට්ටයකටම දැම්ම. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පෝනව් වැසියන් කලබලයට පත් වුණා. ඔවුන් නීතිඥ මණ්ඩලයක් හදාගෙන ලිපිය සකසා තිබූ අප මිත‍්‍රයන් දෙදෙනාව කැඳෙව්ව. ඔවුන්ගේ සාක්කි පදනම් කරගෙන විහාරය ගැන පුළුල් පර්යේෂණයක් කරපු බර්ලින් නගර සභාව පන්සල් ඉඩම පුරාවිද්‍යාවට අයිති බව පිළිගෙන එහි කොටස් විකිණීම තහනම් කෙරුව. ඉඩමේ මුල් හිමිකරු පෝල් ඩල්කේ හිටිය කාලෙ පැවතුන ගොඩනැගිලිවලට බාහිරව විහාරයට එක්කර තියෙන සියලූම ඉදිකිරීම් ඉවත් කිරීමට අණකෙරුව.
මේක ජර්මන් ධර්මදූත සංගමයට පාඩුවක් බව ස්ථිරයි. හැබැයි සිංහලයන්ට ලොකු ජයක්. ඒ වැඩෙන් පසු කොලට් සේනානායකට ඇල්ටීටිඊයෙන් තර්ජන ආව. ඔහු බර්ලින් හැර ගියා.
අද ඉන්න හුඟ දෙනෙක් බර්ලින් විහාරය ඇල්ටීටිඊයෙන් බේරගත්තෙ කවුද? කොහොමද? කියන කාරණා දන්නෙ නැහැ.
කුමාරි අබේසිංහ