Last Updated on 2 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

(ඡායාරූපය – පුරාණ ලාට හෙවත් ළාල රට හෙවත් ලොතෙල් පිහිටීම දැක්වෙන සිතියමක්. Pic. credit: National Geographic)
ඇමරිකාවේ ප්‍රකාශිත සුප්‍රකට නැෂනල් ජියෝග්රෆි සඟරාවේ 2026 මැයි කලාපයේ අන්තර්ගත Mohanjo Daro is stubbornly unmonumental හිසින් යුත් ලිපිය මොහෙන්ජෝ දාරෝ (හරප්පා) ශිෂ්ටාචාරයේ නව සොයාගැනීම් පදනම් කරගනිමින් සම්පාදිතය. වැළලී පැවති මෙම ශිෂ්ටාචාරයේ නටබුන්, ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලද කාලයේ සොයාගත් තැන් පටන් නොයෙකුත් උගතුන් ශිෂ්ටාචාරය ගැන විවිධ අදහස් ප්‍රකාශ කර ඇත. ඒ හැමටම ගැටලුව වූයේ ශිෂ්ටාචාරය පිළිබඳව ලියවුණු කිසිදු පැරණි ලේඛනයක් නොමැතිකමයි. කිසිදු බ්‍රාහ්මණික හෝ වෙනත් ආගමික ග්‍රන්ථයක හෝ මේ මහා ශිෂ්ටාචාරය ගැන කිසිත් තොරතුරක් සඳහන් නොවේ. මහාචාර්ය සෙනරත් පරණවිතානද ලංකාවේ සෙල්ලිපි අකුරු පදනම් කරගෙන මොහෙන්ජෝ දාරෝ මුද්‍රාවන්හි දක්නා ලැබෙන අක්ෂර කියවීමට උත්සාහයක් දැරුවේය.
අනුරාධපුර රාජධානි සමයේ අනුරාධපුර නුවර පරිවෙනාධිපතිවරයෙකුව වැඩ සිටි මහානාම හිමියන් පාලි ගාථාවලින් රචනා කළ මහාවංශයේ මේ ශිෂ්ටාචාරය පිළිබඳ විස්තරයක් තිබේ. ඒ, විජයාගමනය කතාවෙහිය. ඊට අනුව දඹදිව ලාට දේශයේ (ලාළරට්ඨෙ) සිංහපුරයේ සිට මෙහි පැමිණි විජය කුමරයා සිංහල රාජ්‍යයක් පිහිටුවූයේය. ‘නැෂනල් ජියෝග්රෆි’ සඟරාවේ අඩංගු ලිපියේ දැක්වෙන හරප්පා ශිෂ්ටාචාරයට අයත් උප සංස්කෘතික කලාපයක් වූ ‘ලොතල්’ කදඑය්ක, විජය කුමාරය විසූ ලාට දේශයයි.
ලොතල් ස්වාධීන රාජධානි විශාල සංඛ්‍යාවක් පැවති භූමි කලාපයකි. ඉතිහාසකරුවෝ මෙවැනි රාජධානි සඳහා සංඝ ගණ නම් දෙති. බුදුන් ජීවමාන සමයේ ජම්බුද්වීපයේ පැවති ගණ රාජධානි පිළිබඳ තොරතුරු බෞද්ධ ඉතිහාසයේ අඩංගුය. මොවුන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය අගය කරන බුදුන් වහන්සේ සිය ශ්රාවකයින් හැඳින්වීම සඳහා සංඝ ගණ යන පද භාවිත කළහ. පැරණි ලංකාවේ පැවති ග්‍රාම රාජ්‍ය ක්‍රමය මෙම ක්රමයේ විකාශනයකි. එම ක්‍රමය යටතේ ගම් තුලානක් පාලනය වූයේ ග්රාමිණීවරයකු සභාපතිත්වය දැරූ ගම්සභාවකිනි. රටේ නායකයා ජ්‍යෙෂ්ඨ ග්‍රාමිණී වුයේය. දුටු ගැමුණු යන්නෙහි සැබෑ අර්ථය එය විය යුතුය. ලංකාවේ ඇතැම් ක්‍රිස්තු භක්තිකයන් ‘කිතුණු සංඝ’ යනුවෙන් යෙදුමක් පාවිච්චි කරන නමුදු කතෝලික හා ක්‍රිස්තියානි සභා සියල්ලක්ම මූලස්ථානයකින් පාලනය වේ. එබැවින් ඔවුන් ‘සංඝ’ යන වචනය භාවිත කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන බරපතල වරදකි.
මහමදික හා ක්‍රිස්තියානි මහා සංස්කෘති දෙක විසින් අවුරුදු දහස් ගණනක් තිස්සේ පාගා පොඩි කරමින් පාලනය කළ නමුදු, ලාළ සංස්කෘතියේ නොනැසුන අංග ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයෙහි තවමත් දකින්නට පුළුවන. සිංහයා මෙම ප්‍රදේශයට ආවේණික සතෙකි. ලාට රටේ හැම ජනපද රාජ්‍යයකම ජාතික චිහ්නය සිංහයා වූයේය. ඉන්දියාවේ සිංහ රක්ෂිතය, ගුජරාතයේ පිහිටුවා තිබේ. ලොතල්හි ගොවිතැන සහ කර්මාන්ත, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැතිරීමට ප්‍රධාන හේතුවකි. වර්තමානයේ ගුජරාත ව්‍යාපාරිකයෝ ලොව පුරා කර්මාන්ත පවත්වාගෙන යති.
මහාවංශයට අනුව අතීතයේ වගු නමැති සමූහාණ්ඩුවේ (වංගේසු) නුවරක විසූ රජෙක්, කාළිංග රජුගේ දුවක සරණපාවා ගත්තේය. සුප්පාදේවි ඔවුන් දෙපොළගේ දියණියකි. නෛමත්තිකයන් ඇය පිළිබඳව කී අනාවැකි නිසා දැඩි රැකවල් මැද ඇති දැඩි වන්නට ඇයට සිදු විය. මේ නිසා පීඩාවට පත්වූ ඕ, නිදහසේ ජීවත්වීමට සිතා, සාමාන්‍ය කාන්තාවකගේ වෙස් ගෙන අංග මගධ බලා යන තවලමක පසුපසින් පා ගමනින් යන පිරිසකට එක්වී රාජ්‍යයෙන් පිටවූවාය. අතරමගදී ඔවුන් වෙත සිංහයෙක් ආවේය.
සෙස්සන් කලබලයට පත්වුවද, සුප්පාදේවී සිංහයා වෙත ගියාය. දුටු සැණින් රජ දුව කෙරේ සිත් බැඳුණු සිංහයා, ඈ සිය පිට හිඳුවාගෙන ලෙනට කැඳවා ගෙන ගියේය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ හැටියට සිංහයා ගල් දොරකින් වැසූ කුඩා ගල් ලෙනක විසූවෙකි. මේ නාට්‍යය නරඹන බොහෝ දෙනා නොමග යති.
සුප්පාදේවිට හමුවූ සිංහයා විසූ ලෙන වනාහි, ‘අට ඉස්බක් සා මැණික් ලෙණෙකැයි’ උත්තර විහාරට්ඨ කතාව උපුටා දක්වන මහාවංශ ටීකාව සඳහන් කරයි.
සුප්පාදේවි තොමෝ සිංහ රාජයාට දාව පුතෙකු හා දුවකැයි නිඹුල් දරු දෙදෙනෙකු වැදුවාය. පුත්‍රයා සිංහබාහු නම් විය. දුව සිංහසිවලී නම ලැබුවාය. මේ දරුවන් වැඩිහිටි වියට පත්වෙද්දී ඈ සැමියාට රහසේ ඔවුන් කැටුව මස්සිනා වෙතට පලා ගියාය. විරහ වේදනාව දරාගත නොහැකි සිංහයා ආහාර පාන නොගෙන කණගාටුවෙන් පසු විය. එයින් තම රටට සිදුවන අනර්ථය දුටු වංගරාජයා සිංහයා ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඔහු ඒ සඳහා සිංහයාට ළං විය හැකි එකම පුද්ගලයා වූ සිංහබාහුව දිනා ගත්තේය.
මවට හොරෙන් පියා වෙත ගොස් ඔහු මැරූ සිංහබාහුට සිංහයාගේ රාජ්‍යය හිමි විය. ඔහු පියාගේ නමින් සිංහපුර නමින් අලුත් නුවරක් ගොඩනැගුවේය. සිංහ, සිම්හල හෝ සිංහල හෝ නම් වූ මෙම නගරය ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ භවනගර් දිස්ත්‍රික්කයේ ‘සිහෝර්’ ප්‍රදේශය බව මහාචාර්ය හස්මුක් සන්කාලියා හඳුනා ගත්තේය. (විස්තර සඳහා ‘සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද’ ලිපිය බලන්න)
සිංහබාහු රජතුමාගේ පුත්‍ර විජය කුමරා ලංකාවට පැමිණි විස්තරය අඩංගු මහාවංශය ඒ සිද්ධියෙන් අවුරුදු සිය ගණනකට පසුව රචනා කරන ලද්දකි. මහාවංශය රචනා කළ මහානාම හිමියන් ඊට මූලාශ්‍ර කරගත් පුරාණයන්හි අඩංගු තොරතුරු කෙටියෙන් දැක්වීමට උත්සාහ දැරූ අවස්ථා ඇත. පුරාණ කතා වරදවා වටහාගත් ස්ථානද තිබේ. සිංහබාහු, සිය සොහොයුරිය සිංහසිවලී බිසොව කරගත් ප්‍රවෘත්තිය නිදසුනකි. ‘රක්ෂ බන්ධන්’ හින්දු සිරිත ලාට දේශයේ පැවති සමාජ චාරිත්‍රයකින් උපන්නකි. එහි උපත සිංහලපුරය විය හැකිය. එයින් කෙරෙන්නේ, සොහොයුරා සිය සොහොයුරිය ආරක්ෂා කිරීමේ වගකීම භාර ගැනීමයි. වර්තමාන හින්දු සමාජයේ මෙය සිදුකෙරෙන්නේ උත්සවයක් පවත්වා සොහොයුරා විසින් සොහොයුරියගේ අතේ වළල්ලක් හෝ නූලක් හෝ පැළඳවීම මගිනි.
සොහොයුරා විසින් සොහොයුරියන් රැකීම පැරණි සිංහල සමාජයේ මුල් බැස තිබුණ පවුල් සිරිතකි. මෙහි ආරම්භය විජය රජු ලංකාවේ සිංහල රාජධානිය පිහිටුවූ කාලයයි.
(මතු සම්බන්ධයි)
