මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

Last Updated on 4 months by admin

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ.

“මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි.

“පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ… අනික  ඇඳුම් නැතිව හිටියත් මොකද, ඔය ඡන්ද ළං වුණා ම ඕනෑ තරම් මහත්තුරුත් ඇඳුම් පුළුටක් නැති ගාණට වේදිකාවල කෑගහන්නේ!” මහතුවාගේ අලුත් හිනාව අලුත් චීන පටස් පිපිරුණු ගාණය.

“දැන් උඹ නාට්‍යයට නමක් දැම්මද හිටං?”

“දැම්මා මචෝ දැම්මා… ‘එයාලාගෙන් ඕනෑ තරම් පාඩම් ඉගෙන ගත්තෑකි අලුත් කෙනෙකුට’… ඒක තමා නාට්‍යයේ නම!”

“අම්මටහුඩු!” ඒ නාට්‍යයේ නම අසා මම මැරියන්ගේ දෙවෙනි රොබින්හුඩ් වී ගියෙමි. “පෙන්නපං බලන්ඩ පිටපත”

*පහත දක්වා ඇත්තේ මහතුවා තමාගේ අලුත් අත් අකුරෙන් අලුත් කොළයක ලීව අලුත් පිටපතය.

හිල් කොට කලිසමක් ඇඳගෙන ඉන්න පුතෙක් (හිල් වූ තැනින් භයානක කිසිදු තැනක් නොපෙනේ) හා බ්‍රේස්ලට් දාගෙන චුවින්ගම් කන තාත්තෙක් ෆොක්ස්වැගන් ෆැක්ටරිය අසල සිටියි.

පුතාණෝ :- තාත්තේ, ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කතාව හරි ද?

තාත්තා :- පෝඩ්ඩක් වැරදි!

පුතාණෝ :- එහෙනම් තාත්තේ, සම්පූර්ණයෙන් ම හරි එක මොකක්ද?

තාත්තා :- ඉවසීමෙන් ජනාධිපතිකම ලැබේ කියන එක.

පුතා අලුත් බඹරචක්‍රයක් වගේ කරකැවී විසිවෙයි!

පුතාණෝ :- ඒ කොහොමද තාත්තේ?

තාත්තා :- ඇයි යකෝ… මහින්ද මහත්තයා පළවෙනි පාර ජනාධිපති වුණේත් රනිල් මහත්තයා උන්හිටිගමං ජනාධිපති වුණේත් මොකක් හරි ඉවසීමක් තිබුණු නිසා නෙවෙයිද? හොඳට මතක තියාගනින් පුතෝ, එයාලගෙන් ඕනෑ තරම් පාඩම් ඉගෙන ගත්තෑකි අලුත් කෙනෙකුට…!

පුතාණෝ :- ඇත්ත මගෙ තාත්තේ, ඇත්ත! එතකොට තාත්තේ, අතෑරගන්ඩම බැරි දාර තෘෂ්ණාව වගේ දෙයක් ගැන කොහොමද කියන්ඩෝනේ?

තාත්තාට අලුත් මළ පනියි!

තාත්තා :- මේ පුතාණෝ…, උඹ හැම මඟුලක්ම මගෙන් අහන්ඩ එපා. ඕක උඹ ගිහිං ඉස්කෝලේ ආගම මැඩම්ගෙන් අහපං!

පුතාණෝ :- අනේ තාත්තේ, මං හරිහමං විදිහට ඉස්කෝලේ ගියෙත් නෑ, දැන් ඉස්කෝලේ යන්නෙත් නෑනේ! තාත්තේ, ඔස්ට්‍රිමයිගෝඩ් ෆැරන්හයිඩ්‍රේඩ් හෝමෝ සෙක්සුවල් සේපියන් ඉමිගේඩ් වාත කේසන්ස් බැක්ටීරියන්ස්!

තාත්තා :- හුටා!

තාත්තාට හුටා කියැවෙන්නේ, තාත්තගේ ඡන්දේ බාප්පා දාලා වගේය.

‘මාට්ටුව’ නම් ආයතනයේ මොළ දහ හතක් ඇති සාලයේ අන්දරේ සහ මහරජු සිටියි.

අන්දරේ සිටින්නේ, සාලයේ එළපු ලණු පැදුරක ඇති පිටරටකින් ගෙනා සීනි සූකිරි, කාබනික පොහොර වගේ අතපත ගාමින්ය.

මහරජ සිටින්නේ, ලණු වගයක් කමින්ය.

අන්දරේගේ පුතා ගෝල්ෆේස් පිට්ටනියේ සිට කලිසම ඇඳ ඇඳ දූවගෙන එයි.

අන්දරේගේ පුතා :- බුදු තාත්තේ බොන්න එපා… බුදු තාත්තේ ගෑස් පුපුරනවෝ… බුදු තාත්තේ තෙල් නැතෝ… බුදු තාත්තේ අහස කඩාගෙන එනෝ… බුදු තාත්තේ ලෝකේ පෙරළනෝ… බුදු තාත්තේ අම්මා මළෝ…

අන්දරේගේ පුතා ඔළුවේ අත් ගසාගෙන තමාගේ කොණ්ඩේ තමාම ගලවා දමන්නට මෙන් හදයි.

අන්දරේ :- බුදු පුතෝ… (පපුවට අතින් බදු පිට බදු ගසමින්) එහෙනම් අපිත් ජීවත් වෙලා වැඩක් නැතෝ… කාපං මේ පැඳුරේ තියෙන ඇමරිකානු සීනි සූකිරි…! බුදු පුතෝ… අපි දියවැඩියාව හදාගෙන මැරෙමු රත්තරනේ, මැරෙමු… ද්විත්ව පුරවැසිභාවයක් නැති  ව අපිට ජීවත් වෙලා වැඩක් නැතෝ…

*මට දුක හිතී කඳුළු වරුෂාවක් ආවේය.

“ඇති මහතුන්, ඇති… මට මේ දර්ශනය ආය කියවන්න බෑ… හැට නම ලක්ෂ වතාවක් මට මහ දවල් ඇඬෙනවා බං… ඉහි.. ඉහි… ඉහි…”

“නාඬා හිටපං මචෝ… අලුතෙන් එන කෙනෙකුට එයාලගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මචෝ… ඉහි.. ඉහි… ඉහි…”

“රත්තරං මහතුවෝ, ඉතිං උඹත් අඬන්නෙ ඇයි, මට අඬන්ට එපා ය කිය කිය?”

“හිතලා කරන එකක් නෙවෙයි මචෝ… ඉබේම තනි ඇහැට ඇඬෙනවා රත්තරනේ… ඉහි.. ඉහි… ඉහි….”

වේදිකාවක් උඩට නැග හතර අතටම වෙඩි පිට වෙඩි තියන්නා වගේ කෑ ගහන කථිකයෙකි.

ඒ කථිකයාට කොයි වෙලාවක හරි මළ පහවෙයි කියා වගේ බලා සිටින පිරිසකි.

කථිකයා :- අපි ගාව මයිල් තියෙනවා. සමාවෙන්න, අපි ගාව ෆයිල් තියෙනවා…

කථිකයාට කීමට හැකි වූයේ එපමණකි. ඔහු වේදිකාවත් කඩාගෙන අධිතක්සේරුවෙන් දුවන්න පටන් ගනියි.

පිරිසෙන් කෙනෙක් :- කොහෙද ඕයි මෑන්ස් ඒ දුවන්නේ? නැන්දම්මා පන්නනවා වද්ද? හෙක් හෙක් හෙක්! එක්කෝ ගණිකා වෘත්තිය නීතිගත කරලා වද්ද? එහෙමත් නැතිනම් කැනබීස් සැටයිවා වවන්න අවසරය ලැබිලා වද්ද? ගෝත්‍රිකයි කියලා පිළිම කඩන්න යනවා වද්ද? හැබෑටම ඕයි මිනිහා ඇඳුමුත් ගලව ගලවා කොහේටද ඕයි දුවන්නේ… අප්පද බොලේ!… මිනිහවත් දන්නෙ නැතිව ඇති මිනිහා දුවන්නේ ඇයි කියලා! හෙක් හෙක් හෙක්! හැබැයි එයාලගෙන් ඕනෑ තරම් අධිතක්සේරු පාඩම් ඉගෙන ගත්තෑකි අලුත් කෙනෙකුට…! හෙක් හෙක් හෙක්!

මට කියැවීමට හැකි වූයේ මහතුවාගේ අලුත් අත්පිටපතේ එතැනට එනකං පමණි.

මහතුවා අත්පිටපත මගෙන් ඩැහැගෙන, පිස්සෙක් වගේ දුවන්න පටන් අගත්තේය.

“ඇයි බොල මහතුවෝ හිටු කියලා දුවන්නේ?” මම යටිගිරියෙන් කෑ ගැසීමි.

“ඇයි ගොනෝ… මට මේ දැන් මතක් වුණේ… අද අවුරුද්දට බාර් වහන දවස… මට තාම මොකුත් ඇරං තියාගන්න බැරි වුණා… ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් ගොනෝ! මේ පාර අපෙනුත් පාඩමක් උන්ට උගන්නමු, හැමදාම උන්ගෙන් විතරක් පාඩම් ඉගෙනගෙන හරියනවායෑ! ඔන්න ඔහේ උඹත් දුවපං ගොනෝ!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link