ලක් දූ පුතුන් කාටද අමතක කළ හැකි ඒ දවස?

Last Updated on 1 month by admin

ප්‍රංශය, එල්.ටි.ටි.ඊ යේ (කොටින්ගේ) ජාත්‍යන්තර මෙහෙයුම් මධ්‍යස්ථානයකි. එහි පැරිස් 10 ලා-ෂපෙල්  කොටි ඩයස්පෝරාවේ මුල කඳවුරකි. එහි දෙමළ ව්‍යාපාරික ස්ථාන සියල්ලෙහි ප්‍රභාකරන්ගේ පින්තුර සහ පෝස්ටරය. ලංකාවෙන් එන තුනපහ, එළවළු, වෙනත් දේ සහ පුවත්පත් ගැනීමට ඇවැසි නිසාම පැරිසියේ සිංහලයන්ගෙන් බොහෝ දෙනෙකු එහි ගිය බව සැබෑය. ඒ සිංහලයන් යනු ජාතිවාදී  නොවුවා සේම ජාතිහිතයිශි ද නොවූ නිසාය. එහෙත් තමන්ගේ කඩවලට බඩු ගැනීමට එන සිංහලයන්ට මේ දෙමළ කඩවල අයගෙන් හොඳ මුහුණක් පෙන්වුයේ එහෙමත් කෙනෙකි. “තොපිට ඕන නම් වරෙව්! නාවත් අපිට කමක් නැහැ.” යන්නක් එහි ලියවී තිබුණි. යුද්ධයේ අවසන් කාලයේදී මේ මුහුණු රකුසු වෙස් ගෙන තිබුණි. එබැවින් ඇතැමෙකු සැකෙන් සැකෙන් ලා- ෂපෙල් ගිය අතර තවත් අය එහියාම අතහැර දැමුහ.

රජයේ ආරක්ෂක හමුදා ජයග්‍රාහි අදියරට ළඟාව තිබු දවස් කිහිපයේ පැරිසියද උණුසුම් විය. ගිනි දළු පැන නැගුණි. ගැහැනු, පිරිමි, ළමයින්ගෙන් සමන්විත දහස් ගණනක දෙමළ ජනතාවක් පැරිසියේ රිපබ්ලික් අංගනයේ දිවා-රාත්‍රී ලැගුම් ගෙන “ලංකාවේ හමුදාව දෙමළ ජනයා සමුලඝාතනය කරන බැවින් එය වලක්වා දෙන්නැයි” ප්‍රංශ රජයෙන් හඬ නගා ඉල්ලමින් සිටියෝය.

ඒ අතර කොටි ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු “පරවාහැර චන්දරතන හිමියන් නායකත්වය දරණ  ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානයට” ප්‍රහාරයක් එල්ල කළහ.  වාසනාවට එහි යම් පිරිසක් සිටියෙන් එය ව්‍යර්ත කළ හැකිවිය. පැරිසියේ කිහිප තැනකදී සිංහලයන්ට පහර දෙන ලදී. එවිට ලා- ෂපෙල්හි  සිංහලයෙකුට අයිති ‘මොකක්ද නමකින් යුතු’ කෑම කඩයක් තිබුණෙන් එයට කළුතෙල් ප්‍රහාරයක් එල්ලව තිබිණ.

මම 1993 පමණ සිට නිදහස් ලේඛකයෙකු ලෙස පුවත්පත් කිහිපයකටම ලියමින් සිටියෙන් මේ අවස්ථාව වනවිටද එසේ කළෙමි. පුවත්පත් මගෙන් පුවත් බලාපොරොත්තු වූ අතර ඒවා කෙරෙහි විශ්වාසයද තැබුහ. එබැවින් මම එසේ කරන අතරම මේ කළුතෙල් සිද්ධියද ලියුවෙමි. එයින් මා බලාපොරොත්තු වුයේ පැරිසියේ වෙසෙන සිංහලයන්ගේ ආරක්ෂාව ගැන ලංකාවේ රජයේ සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර් යාලයේ අවධානය යොමු කිරීමය. මන්දයත්, 1983 දී පැරිසිය දක්වා පැමිණි ජුලි කලබල නිසා තරුණ සිංහලයන් දෙදෙනෙකු දෙමළ අය අතින් ඝාතනයට ලක්ව තිබුණි.

මේ කියන භයානක දවස්වල උදයක මට දුරකථන ඇමතුමක් ලැබුණි. “මේ! ඔයා සිංහලයෙක්ද? ප්‍රශ්නයකි. “ඔවු! සිංහලයෙක් තමයි. ඇයි මොකද?” මම ඇසුවෙමි. “හා! ඔයා සිංහලයෙක් නම් අපේ කඩේට කළුතෙල් ගැහුවා කියල ලියන්නේ මොකද? ඒක බොරුවක්. එහෙම ලියුවම මිනිස්සු බයවෙලා අපේ කඩේට කන්න එන එකක් නැහැ. ඔයා සිංහලයෙක් නම් මොකද සිංහල කඩයක් වට්ටවන්න ලියන්නේ?”

“හා! ඒකද ප්‍රශ්නය? සිංහල මිනිස්සු ගුටි කෑවට කමක් නැහැ. ඔයාගේ කඩේට ඇවිල්ලා? අනික බොරුවක් වෙන්නේ කොහොමද? මම ඔයාගේ නැන්දගෙන් තොරතුරු අරගෙන නේ ලිව්වේ. අනික කොහොමටත් දැන් ඔයා කඩේ වහල ලා- ෂපෙල් යන්නේ නැහැලුනේ!!!”

හදිසියේ සිහිපත් වූ එම සිද්ධිය මම ලියුවේ ඇතැම් සිංහලයන්ගේ තරම දැන ගැනීමටය. ඔහුට ලොකුවුයේ තම බඩගොස්තරයයි.

සියලුම බටහිර රටවල් වල වෙසෙන ලක්ෂ ගණනක් වූ දෙමළ ජනතාව දහස් ගණන් රැස්වී දෙමළ ජනතාව සමුලඝාතනය කිරීම වැළැක්වීමට සිංහල ආණ්ඩුවේ යුද්ධය නවත්වා දෙන්නයි එම එම ආණ්ඩු වලට බල කරන විට ප්‍රංශ විදේශ ඇමති “බර්නාඩ් කුෂ්නේර් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ්” වහාම ලංකාවට ගියහ.  ජනාධිපති මහින්දගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ එඩිතර පිළිතුරු හමුවේ ගිය පයින්ම හකුලා ගෙන නැවත ආහ.

එම අවස්ථාවේ ජනාධිපති තනතුරේ මහින්ද රාජපක්ෂ හැර වෙන කවුරු හිටියත් එතරම් සෘජු පිළිතුරක් දීමට එඩිතර වන්නේ නැත. ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබී නොතිබුණේ එම දේශපාලන නායකත්වය යයි  යුද්ධය ජයග්‍රහණයේදී “මහින්ද, ගෝඨාභය, ෆොන්සේකා” යන ත්‍රිත්වය මහා පොදු සාධකය නමුදු මෙහිදී වැදගත් මහින්දය. මන්ද, හමුදාව යනු විශාල ඒකකයකි. එහි දක්ෂ සේනාධිපතිවරුන් සේම තවත් හමුදාපතිලාද සිටිය හැක. නමුත් ජනාධිපති යනු එක් පුද්ගලයෙකි. වැදගත් ඔහු ගන්නා තීරණය වේ.  සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට ඔහු අංක 1 විය යුත්තේ එම නිසාය.

30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කිරීමෙන් නොනැවතුණ එම රජය යුද්ධයෙන් විනාශ වූ උතුර සහ නැගෙනහිර තිබුණාටත් වඩා හොඳට ගොඩ නගා දුන්නේය. මහා මාර්ග, රේල් පාරවල්, පාලම්, බෝක්කු, විදුලිය  සියල්ල විනාශව තිබු  යාපනයට ඒ සියල්ල ලබාදී ඇති හැටි එහි සංචාරයට යන ඔබට පෙනිය යුතුය. දිනෙන් දින දියුණු වෙමින් ඉදිරියට යන උතුරක් සහ නැගෙනහිරක් සහ යුද බියක් මර බියක් නැතිව සිටින ජනතාවක්ද ඔබට පෙනිය යුතුය. ඊටත් වඩා ත්‍රස්තවාදය ඉවරකර යුද්ධය නවත්වා දීමේ මහා ආනිසංසය පෙනිය යුත්තේ එම ප්‍රදේශවල වෙසෙන දෙමළ මුස්ලිම් ජනතාවටය.

රණවිරුවන් යනු උතුරු- නැගෙනහිර වෙසෙන සහෝදර ජනතාවට එම මහා තෑග්ග ලබාදීම වෙනුවෙන් සිය ජීවිත, දෑත දෙපා දන්දුන් මිනිසුන්ය. එම ප්‍රදේශවලදීද, රටේ අන් ප්‍රදේශවලින්ද මරණයට තිත තබා නොකඩවා මියයන තරුණ ජීවිත වලට ජීවත් වීමේ වරම හා සතුට ලබා දුන් මිනිසුන්ය. රටේම මිනිසුන්ගේ මරබිය නැතිකළ මිනිසුන්ය. තම ශරීරවල බොහෝ කොටස් අහිමිව අද අසරණව සිටින්නේ ඔවුහුය. රටේ නායකයෝ සහ නායකයෝ වීමට පොරකන  සියලු දෙන අද දේශපාලන බල්ටි සහ අනෙකුත් සියලු මෝස්‌තර දමන්නේ මේ සාමකාමී වාතාවරණය හින්දාමය.

තමන්ට නිදහසේ හුස්ම ගැනීමට මග සලසා දුන්නේ කවුද යන්න අමතක නොකළ යුතු දෙයකි. මන්ද අන් සියල්ල කළ හැකි වන්නේ හුස්ම ගත්තාට පසුවය. එබැවින් එළඹෙන කවර ජන්දයකදී වේවා රටේ ජනතාව බලයට පත්කර ගත යුත්තේ ඇමෙරිකාවට සහ බටහිර රටවලට නැටවිය හැකි “යුරේනයේ ජනාධිපති” වැනි විනාශකාරී පුද්ගලයෙකු නොව රටට ආදරේ දේශප්‍රේමී නායකයෙකු හා රජයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link