කොන්දොස්තර අයියා හිතන්නේ අපටත් ඇත්තේ කුර කියාය

Last Updated on 1 month by admin

කොන්දොස්තර අයියා හිතන්නේ, තමන් ගිය ආත්මේ දොස්තර කෙනෙක් බවත් ඡන්ද කාලෙක වඳ පෙති පෙවූ නිසා මේ ආත්මේ ‘කොන්’ වෙන්නට සිදු වී (කොන්) දොස්තර වූ බවත්ය.

එහෙම හිතුවාට මොකද කොන්දොස්තර අයියාත් ඉඳහිට බෙහෙත් ලබා දේ. කොන්දොස්තර අයියා, පුෂ්පරාණී අක්කාගේ ආදර කැක්කුම නම් හන්දිපත් රුදාවට බෙහෙත් දුන් නිසා දැන් පුෂ්පරාණී අක්කාට නිවුන් ළමයින් ජෝඩුවක් ම සිටියි. කොන්දොස්තර අයියා වැඩ කරන බස් එකෙන් උදේ හවා ගාමන්ට් ගිය අක්කාවරුන් කිහිප දෙනෙකුට ම ඒ හා කිට්ටුවට යන අකරතැබ්බ කිහිපයක් ම සිදු වී තිබෙන බවට බස් එකේ හෝන් එක සේ හඬක් ඒ කාලේ හෙවත් ඡන්ද නැති කාලේ පැතිර තිබිණි. ඒ අනුව බලන විට කොන්දොස්තර අයියා නාරි හා ප්‍රසව වේදනා විශේෂඥ වෛද්‍යවරයෙකු වේ.

කොන්දොස්තර අයියා වනාහි නොහිතපු වේලාවක නොහිතපු තනතුරක් ලද කෙනෙකු සේ ඕපපාතික සත්තවයෙකි. ඔහු සත්‍ යවශයෙන්ම ඕපපාතික වන්නේ ඔහුගේ මවත් පියාත් අද වන විට ජීවතුන් අතර නැති නිසාය.

ඇමතිතුමාට හෝ මන්ත්‍රීතුමාට වාගේ කොන්දොස්තර අයියාට අමුතු දේවල් සිතේ. මිනිහට හිතෙන්නේ අපේ පතුල්වල ඇඟිලි ඇතුළු ඉස්සරහා කොටස නැතැයි කියාය. එනම්, අපටත් ඇත්තේ කුර කියාය. ඡන්දෙ ළං වුණා ම හිටු කියලා බඩු මිල අඩු කරනවා වගේ හෝ ටකරං වගේ දේවල් හිටු කියලා බෙදනවා වගේ හෝ බස් එකට උස්මුරුත්තේ එනකං ඉවක් බවක් නැති ව සෙනග පටවන්ට හදන්නේ ඒකය. පාදවල ඇඟිලි ඇතුළු ඉස්සරහා කෑල්ලක් ඇතැයි කියා මිනිහා ප්‍රජාතන්ත්‍රවාදී ව දන්නේ නම් ඒ තරමට මිනිස්සු කිට්ටු කොට සිටවා, ඌ හිතන තරම් බසය පුරවා ලිය නොහැකි බව තේරුම් ගනු ඇත.

අනෙක් අතට කොන්දොස්තර අයියා පාතාල ලෝකයේ මිනිහෙකි; ත්‍රස්තවාදියෙකි. මිනිසුන් එකා පිට එකා බසය පිරෙන්ට ම පටවා, කකුල් පාගවා රණ්ඩු ඇති කර නොමරා මරන්නේ හෝ බාගෙට මරන්නේ ඒ නිසාය.

එසේම කොන්දොස්තර අයියා රටක නායකයෙක් වගේය. නොයෙක් විධාන ද වාචික චක්‍රලේඛන ද ඔහු බසය සොලවා, ප්‍රදේශය දෙදරවා නිකුත් කරයි. බසයේ පසුපස දොරෙන් නැග ඔහු මගීන් නමැති ඡන්දදායකයින්ට බසයේ ඉස්සරහාට යන්ට යැයි අණ කරයි. එසැණින් ම බසයේ ඉස්සරහා දොරෙන් නැග ඔහු මගීන් නමැති ඡන්දදායකයින්ට බසයේ පසුපසට යන්ට යැයි අණ නිකුත් කරයි. යන්නේ කොහේට දැයි හිතා ගත නොහැකිව මගීන් නමැති ඡන්දදායකයින්ට ‘මඤ්ඤං’ නමැති රෝගය වැලඳේ. එවිට රට නම් බස් රථය නොපෙරලී බේරුණොත් ඇතිය!

සංවර්ධනය නමැති ඩ්‍රයිවර් මේ කිසිත් දන්නේ නැති ගාණට වළවල්වල වැටි වැටී එක ම පාරේ ඔහේ බසය පදවයි; විදේශාධාර ම පමණක් අපේක්ෂා කරයි!

කොන්දොස්තර අයියා ගණන් ෆේල් වුණාට මොකද ජනතාවගෙන් බදු මුදල් තිතට ලබාගයි. ඉතිරි නමැති සහනාධාර ලබා දීම අමතක කරයි. වාසියක් ඇතොත් පමණක් – එනම්, ඡන්ද කාලයක් ආවොත් පමණක් රටඉඳි, සන්වලවර් ඔයිල් වුණත් ඉතිරි වශයෙන් ලබා දෙයි.
කොන්දොස්තර අයියාට කොමිස් ගන්ට නොහිතුණොත් පමණක් ටිකට් ලබා දෙයි. කොමිස් ගන්නට හිතුණොත් කිසිවිට ටිකට් ලබා නොදෙයි. මගීන් නමැති ජනතාව බුද්ධිමත් ව කල්පනා කළොත් ඕනෑ ම හොර කොන්දොස්තර කෙනෙකුගේ ටිකට් කැපිය හැකිය. ඊට වැය වන්නේ පොඩි කතිර සලකුණකි.

කොහොමහරි ලියකියවිලි වෙනස් කර ගෙන ආයෙත් වතාවක් පිනට එම බස් රථයේ ම වැඩට යෑම කොන්දොස්තර අයියාගේ ඒකායන හීනය බව පෙනෙන්නට තිබේ. ඉදිරියේ දී බස්, කම්බස් වීමට පුළුවන්ය…

කොන්දොස්තර අයියා ලබන ආත්මෙක අපේ ම අයියා වේවා! අපට දෙයියන්ගේ ම පිහිටයි!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link