රට බෙදීමේ අලුත්ම උගුල මාලිමාවේ අලුත් ව්‍යවස්ථාව!

Last Updated on 7 days by admin

සන්නාමයකින් තොරව ප්‍රෞඩත්වයක් බිහිකිරීමට කිසිම රටකට හෝ සමාගමකට හෝ නොහැක. බ්‍රිතාන්‍යය, ‘හිරු නොබසින අධිරාජ්‍යය’ නම් සන්නාමය ගොඩනැගූවාය. ඇමරිකාව (යුනයිටඩ් ස්ටේට්ස්) දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ අංක එකේ සන්නාමය බවට පත් විය. ඇමරිකානු මුදල් ‘යූඑස් ඩොලර්ස්’, ඇමරිකානු හමුදාව, ‘යූඑස් ආමි’, ’ ඇමරිකානු අභ්‍යාවකශ මධ්‍යස්ථානය’ අදටත් කිරුළ පැළඳ සිටියි. චීනය, රුසියාව වැනි රටවල් වෙහෙසෙන්නේ ඒ තැන ගැනීමටයි. ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදය සෝවියට් සන්නාමයෙන් කරන ලද නිෂ්පාදනයකි. දැන් ඒ සන්නාමය ද නැත. ඉන්දියාව ලොව ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්වෙමින් සිටී.

සිංහලයන්ගේ රට හෙවත් ‘සිංහලේ’ පුරාණ ලෝකයේ සුප්‍රකට සන්නාමයකි. අරාබීන් හා පර්සියානු වැසියන් ‘සිංහලේ’ හැඳින්වූයේ ‘සෙරන්දිබ්’ නමිනි. පෘතුගීසීන්ට එය ‘සෙයිලොං’ වූ අතර ඉංග්‍රීසින්ට ‘සිලෝන්’ වූයේය. ඒ කුමන නමකින් වුවද අදහස් කළේ, සිංහලයන්ගේ රට හෙවත් සිංහල රට යන්නයි.

රටට ඒ කීර්තිය හිමි වූයේ, බුදුදහමින් ලද පෝෂණයෙන් යුතු මිනිසුන්ගේ ගුණයහපත්කම, තාක්ෂණය, ශිල්ප කලා ඇතුළු දැනුම් පද්ධතිය, සම්පත් ආදි කරුණු ගණනාවක් හේතුවෙනි.

‘සිංහල’ සන්නාමයේ කීර්තිය නිසා විවිධ ජනකොටස් විවිධ අරමුණු උදෙසා ‘සිංහල දේශය’ හෙවත් ‘සිංහලේ’ වෙත පැමිණියහ. ඇලෙක්සැන්දර්ගේ ආක්‍රමණය නිසා පංජාබ් ප්‍රදේශයේ සිටි ග්‍රාමණිවරුන් ආරක්ෂාව උදෙසා මෙහි පැමිණි බව මහාචාර්ය පරණවිතාන පෙන්වා දුනි. ග්‍රාමිණිවරු සිංහලේදී සිංහලයන් වූහ.

‘සිංහල’ සන්නාමය යටතේ නිපදවූ නිෂ්පාදන බොහෝය. ‘සිංහල හාල්, ‘සිංහල වෙදකම’, ’සිංහල බෙහෙත්’, ‘සිංහල කඩු’, ‘සිංහල තාක්ෂණය’ ආදිය ලොව පුරා ජනප්‍රිය වූ බවට සාක්කි ඇත. ඖෂධ පැලෑටි යුරෝපා ජාතිකයන් සිංහල රටට පැමිණීමට එක හේතුවකි. පැරණි සිංහලයන්ගේ සොයා ගැනීම් ගැන ඉතිහාසකරුවන්ගේ අවධානය යොමුවී නැත. (එළහරක්, එළබටු, එළවරා ආදිය සිංහලයන්ගේ නිපදවීම් බව ඒ ශාක හා සත්ව නම්වලින් ප්‍රකාශ වේ).

රට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වූ පසු ‘සිංහල’ සන්නාමය අතුරුදහන් වී ‘සිලෝන් ටී’, ‘සිලෝන් සිනමන්’, ‘සිලොන් රයිපලස්’, ‘සිලෝන් ක්‍රිකට්’, ‘එයාර් සිලෝන්’ ආදි වශයෙන් ‘සිලෝන්’ සන්නාමය ලොව පුරා ප්‍රසිද්ධ විය.

උඩරට ගිවිසුමේද සඳහන් ‘සිංහලේ’, නිදහස ලබන විට ‘ලංකාව’ බවට පත්වීම යට හෙළි නොවූ රහසක් තිබේ. ඒ සමගම සිංහලයන්ට රටට තිබුණු අයිතියද වක්‍රාකාරයෙන් හැලිණි. පසුකලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුව වමේ වීරයෙකු වූ කොල්වින් සහෝදරයා අලුත් ව්‍යවස්ථාවක් පිළිගෙන ‘සිලෝන්’ නම හලා රටට ‘ශ්‍රී ලංකා’ නම යෙදුවේය.

‘සිංහල’ සන්නාමය අහිමිවූ සිංහලයින් රටක් නැති ජාතියක් බවට පත් විය. සිංහලයන්ගේ රට ‘සිංහලේ’ වූ විට රටේ හිමිකරුවන් සිංහලයන් බව ඕනෑම කෙනෙකුට වැටහේ. රටක් නම් වන්නේ එහි ශිෂ්ටාචාරය පිහිටු වූ ජාතියේ නමිනි. රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෝර්වේ, ජපානය, චීනය උදාහරණයි. රටේ නම ‘ලංකාව’ වූ විට එය සිංහලයන්ගේ රට යැයි කිසිවකුට නොසිතේ. සිංහලයන්ගේ රට ‘ලංකාව’ හා ‘ශ්‍රී ලංකාව’ කිරීම සිංහලයන්ට රට අහිමි කිරීමකි.

යටත් පිරිසෙයින් රට ‘සිලෝන්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වූයේ නම් එයින්ද ‘සිංහලයන්ගේ රට’ යැයි පෙන්නා දිය හැකිය. එය සිංහලේ යන්නෙහි ඉංග්‍රීසි යෙදුම බැවිනි. එහෙත් කොල්වින් සහෝදරයා රට ‘ශ්‍රී ලංකා’ යැයි නම් කළෙන් ඒ අවස්ථාවද දැන් නැත.

බලය ලබාන්නා මාලිමාව අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන බව අනුර දිසානායක කියයි. රනිල් හා සජිත් ද බලය බෙදීමේ වැඩ පිළිවෙළෙහි ඉත්තන්ය. බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවට සහ ඔවුන්ට සහාය දෙන රටවල ප්‍රධාන වුවමනාව රට බෙදීමයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිය යුතු බවද අනුර කියයි. එසේ කියන්නේ දෙමළ කතාකරන ජනයාට නැති විශේෂ අයිතිවාසිකමක් සිංහලයන්ට ඇති බව පෙන්වමින් නොවේ. බළලුන් ලවා කොස් ඇට බෑවීමට හිතන සුමන්තිරන් මාලිමාව ගැන ප්‍රශස්ති ගයයි. ජාත්‍යන්තරය හා බෙදුම්වාදය ගැන වැටහීමක් ඇති කපටියන්, දැනුමෙන් අඩු සිංහලයන් රවටන්නේ ‘වෙනසක් කරමු’ සටන් පාඨයෙනි. මෙය එදා ජවිපෙ කී ‘මවුබිම නැත්නම් මරණය’ හා සමාන කෛරාටික සටන් පාඨයකි. ජාතියක් ආගමක් නොතකන ලංකාව වැනි රටවල මාක්ස්වාදීන්ට බලය ලබාගැනීම සඳහා නොකළ හැකි දෙයක් නැත.

රට ශ්‍රී ලංකාව වූ දා සිට ‘සිංහල’ මෙන්ම ‘සිලෝන්’ සන්නාමයද වඳ විය. සන්නාමය නැති වීම ලංකාව වැටීමට ප්‍රධාන හේතුවකි. විදේශිකයන් අතර ජනප්‍රියව තිබුණේ ‘සිලෝන් ටී’, ‘සිලෝන් සිනමන්’ ආදිය විනා ‘ශ්‍රී ලාංකන් ටී’, ‘ශ්‍රී ලාංකන් සිනමන්’ ආදි වශයෙන් නොවේ. දැන් ඇතැම් තේ බහලුම්වල ‘ශ්‍රී ලාංකන් ටී’ යනුවෙන් යොදා වරහන් තුළ ‘සිලෝන් ටී’ යැයි සඳහන් කරන්නට සිදුව ඇත්තේ මේ නිසාය.

මේ ඇත්ත ගැන කතා නොකළ උගතුන්ගේ සිරිත වූයේ සිංහලයන් සිය ලාංඡනය වශයෙන් සිංහයා භාවිත කිරීම ගැන විකාර දෙඩවීමයි. දැන් ඒ පිරිස ක්‍රමයෙන් වඳවෙමින් සිටිති. අලුත් පරපුරේ බොහෝ දෙනා සිංහයා ගැනත් සිංහලයන් ගැනත් කතා කරන්නට බියක් දක්වති. සිංහ කොඩිය වෙනස් කළ යුතු යයි කියන පිරිසක් සිටිති. අනෙක් සියලු රටවල් තම ජාතිය සහ කොඩියේ ලකුණ ගැන ආඩම්බර වෙද්දී, සිංහලයෝ තම ජාතිය සහ ජාතික කොඩිය ගැන කතා කරන්නට බියක් දක්වති. මෙවන් ජාතියක අනාගතය අඳුරුය.

ජාති භේද නොසැලකීම සහ විදේශවලින් සංක්‍රමණය වී රටේ පදිංචි ජනයා සිංහලයන් වශයෙන් සැලකීම සිංහල සන්නාමයේ ලක්ෂණයකි. එසේ වූයේ ඔවුන් බෞද්ධයන් වූ හේතුවෙනි. භාරතීය රටවල ‘සිංහල’ නමින් හඳුන්වා ඇත්තේ බෞද්ධයන් බව ඉන්දීය ඉතිහාසකරුවකු වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කරයි.

රටේ ජාති භේදයක් නොවූයෙන් සිංහල ජාතිකත්වය පිළිගත් එළාර, නිශ්ශංකමල්ල, ශ්‍රී වික්‍රම රාජසිංහ වැනි විදේශීය සම්භවයන් ඇති පුද්ගලයින්ට සිංහල කිරුළ දැරීමට එදා හැකි විය. මෙවැනි දෙයක් ලෝකයේ වෙනත් රටක සිදු වී නැත. වර්තමානයේ බටහිර වැසියන් මානව හිමිකම් ගැන මොනතරම් මොරගැහුවත් අදටත් එවැන්නක් ඔවුන්ගේ රටවල සිදු නොවේ. ජර්මනිය වැනි රටවල් සංක්‍රමණිකයන් පාලනය කිරීමට දේශසීමා පාලන නීති දැඩි කරති. ද්විත්ව පුරවැසියන්ට රටේ නායකත්වය ලබාගැනීමට අපහසුකම් ඇත්තේ ලංකාවේ පමණක් නොවේ.

යටත් විජිත පාලකයන් විසින් වෙනස් කරන ලද පැරණි නම්වලින් සිය රටවල් නැවත හැඳින්වීමට ඇතැම් රටවල් කටයුතු කරති. මියන්මාරය, සුද්දා දුන් ‘බර්මා’ ඉවතදා සිය එෛතිහාසික නාමය නැවත භාවිතයට ගත්තාය. ඉන්දියාව නැවත ‘භාරතය’ නමින් හැඳින්වීමේ උත්සාහයක් පවතී. යටත්විජිතවාදීහු සිම්බාබ්වේ, රොඩේෂියා යැයි නම් කළහ. පසුව එය සිම්බාබ්වේ සහ සැම්බියා යනුවෙන් දෙකට කැඩිණි. ඔවුන් ලංකාවට කරන්නට උත්සාහ කරන්නේද එයයි.

පසුගිය සෙනසුරාදා පැවැත්වූ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදයට පැමිණි දිලිත් ජයවීර රට දියුණු කිරීම සඳහා රටේ නැතිවී ගිය සන්නාමය යළි ගොඩනැගිය යුතු යයි කීවේය. ‘ජනවාර්ගික ප්‍රශ්නයට’ විසඳුම සිංහල බෞද්ධ සංස්කෘතිය යයි කීවේය. එදා අනෙකුත් අපේක්ෂකයෝ විවාදය මගහැරියහ.

රටේ සන්නාමය නැතිවීම හා ‘ජනවාර්ගික ප්‍රශ්නයට’ විසඳුම සිංහල බෞද්ධකම බව දිලිත්ගේ අවධානයට යොමුවීම අතිශයින් වැදගත් කරුණකි. එය වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුගෙන් නොකියවුන, වෙනත් ජනාධිපති අපේක්ෂකයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක අඩංගුව නැති, රටවැසියන් වටහාගත යුතු වටිනාම පාඩමයි.

එසේ වුවද රටේ ‘ජන වාර්ගික ප්‍රශ්නය’ නමින් දෙයක් නැති බවත්, ඇත්තේ ඒ වචන යොදා රට බෙදීමට කරන කුමන්ත්‍රණයක් බවත් දිලිත් අවබෝධ කරගත යුතුව තිබේ. ‘දෙමළ ජනතාවට සිංහලයන් සතුරුකම් කරනවා නම්, උතුරේ යුද්ධය වෙලාවේ ඔවුන් ආරක්ෂාව පතා දකුණට ආවේ ඇයිදැ?’යි අසමින් දිලිත්ගේ දේශපාලන සගයකු වන අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ ඒ යථාර්ථයයි.

රටවල් නිදහස් වීමත් සමග බි්‍රතාන්‍යයන්ගේ සන්නාමය බාල විය. බි්‍රතාන්‍ය නිෂ්පාදන පරදවමින් වෙනත් නිෂ්පාදන පැතිරිණි. රටක සන්නාමය නැතිවී යාම වෙළෙඳ සමාගමක සන්නාමය නැති වීමට වඩා බරපතල සිදු වීමකි. රට වැටීමට ප්‍රධාන හේතුව රටේ සන්නාමය නැතිවීම බව ප්‍රසිද්ධියේ කීමට ශක්තිය ජනාධිපති අපේක්ෂකයින්ට තිබිය යුතුයි. එහෙත් එවැන්නෝ දුලබ වෙති. බි්‍රතාන්‍යයන් හඳුන්වා දුන් වර්තමාන දේශපාලන ක්‍රමය තුළ රටට ජාතියට ආගමට කිසිම ආදරයක් නැති ඕනෑම ද්‍රෝහියෙකුට රට පාලනය කිරීමට බලය ඉල්ලීමට හැකියාව තිබේ.

මේ දිනවල ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් අතර ප්‍රසිද්ධ වාද සිදු වේ. ඊට සහභාගි වන දේශපාලන නායකයින් දෙදෙනාම සිය අනන්‍යතාව හා ජාතිකත්වය ප්‍රකාශ කරති. ඒ ගුණ වැඩියෙන්ම පෙන්වන නායකයාට ඇමරිකානුවෝ ඇදී යති. ඔවුන් ඇමරිකාව ලෝකයේ අංක එකේ සන්නාමය බවට පත් කරගෙන ඇත්තේ ඒ ජාත්‍යාලය හේතුවෙනි.

ලංකාවේ එවැනි සිරිතක් නැත. ඒ වෙනුවට සිදුවන්නේ රැස්වීම්වල වැඩිපුරම බොරු කියන්නට හැකි, වැඩිපුරම ප්‍රතිවාදීන්ට මඩ ගසන්නට හැකි, වැඩිපුරම මුදල් වියදම් කරන කෛරාටික අපේක්ෂකයාට සිංහල ඡන්ද දායකයා වසඟ වීමයි. කතෝලික සභාව ඈත සිට නූල් සූත්තර නටවමින් බලා සිටී. බොහෝ භික්ෂුන් වහන්සේ දේශපාලන මඩ ගොඩේ බැසගෙන ජරාව තවරා ගනිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link