Last Updated on 2 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
Pic. credit: themanifestationmovement.org
නිදහසින් පසු ලංකාවේ පැවැත්වුණු සෑම මැතිවරණයකදීම සෑම පක්ෂයක් විසින්ම තම තමන්ගේ බංකොලොත් න්‍යායන් ඉදිරිපත් කරමින් වංචනිකයින්ට සුදුහුණුගාමින් ගෙවුණු අතීතය, බුද්ධිමත් මිනිසුන්ගේ මොළයේ ගලේ කෙටූ අකුරු මෙන් නොමැකී තිබෙනවා.
මෙය, අරූට රැවටෙන්නත් එපා මූට රැවටෙන්නත් එපා කියා කියන ගමන්ම තමන් වර්ණනා කරගන්නා එකාටත් රැවටෙන්න එපා කියා කියන්න තරම් කශේරුකා තියෙන මිනිස්සු අප අතර විරල වීම නිසා ඇතිවුණු තත්වයක් මිස මෙය දේශපාලුවන්ගේ නූගත්කම, වංචනික බව හා සමාජ විරෝධී බව නිසාම නිර්මාණය වුණු තත්ත්වයක් නොවෙයි.
සියල්ලටම කලින් තෝරා බේරා ගත යුත්තේ අපි නිවහල්ද කියායි. යහපත් හෙටක් නිර්මාණය කළ හැක්කේ දුෂ්කරතා මැද හෝ සවිඥානිකව ගොඩනගාගන්නා නිවහල් චින්තනයක් තුළින් පමණයි.
අද සුදනන් සේ කතා කරන කොයි අයියත්, අතීතයේ දී, ඔවුන් ජඩ දේශපාලුවන් යැයි පට්ටගහන අයගේ මල්ලිලා ලෙස මුනිවත රැකපු බව අද අමතක කර, හෙට දින ගොඩනංවන්න යන්නේත් ඉතිහාසය තුළ නැවත නැවතත් කඩා වැටෙන නටබුන් නගර නොවේද?
උගුරට හොරා බෙහෙත් කෑ නොහැකි නමුත් ජනතාව උගුර රවටන්නට උත්සාහ කිරීමෙන් රැවටෙන්නේ උගුර නොව තමාම බව මෙනෙහි කර ගැනීමට පමා වන්නේ ඇයි? රැවටුණු මිනිසුන්ට අහිමි වී ගිය සෑම අවස්ථාවක්ම ඔවුන්ගේම වචනවලින් ස්වර්ණමය වන්නේය.
“ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය යනු කැරට් අලවලින් සරසනු ලැබූ ස්වර්ණමය අවස්ථාවල් වල ඓක්‍යයකි” කියා අප මෙහි සඳහන් කළහොත් ඊට දීමට පිළිතුරක් ඔබ ළඟ ඇත්ද?
වර්තමානය ගෙවී යන්නේ මේ ආකාරයෙන්ම නම්, එය කඩා වැටුණු ලෝකයක් ලෙස අතීතයට එකතුවන විට, බොරු පොරොන්දු දෙමින් අහිංසක ජනතාව රවටමින් ගොඩනංවන ‘හෙට’ නොඑළඹී, අනාගතයේදීත් හුදු කල්පිතයක්, මායාවක් ලෙස හුදී ජනයාගේ මොළ කුහර තුළ සුරැකී නොනැසී පවතිනු ඇත.