Last Updated on 3 hours by admin
සෑම් සෙනෙවිරත්න
Pic. credit: eastasiaforum.org
මහින්ද රාජපක්ෂ හොරකු යැයි ජන සම්මතයක් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුව, ‘අරගල’ කානිවලය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරයන්ය. මහින්දට බලයේ සිටි අවසන් කාලයේත් හොර චෝදනා යම් ප්‍රමාණයක් එල්ල විණි. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය, ඇමරිකාවේ බේස්බෝල් කණ්ඩායම්වල අයිතිය, ටැන්සානියාවේ දියමන්ති ආකරවල අයිතිය ආදී චෝදනා හාස්යෝත්පාදක කතා වශයෙන් සැලකීමට පුළුවන. මීට අමතරව ඉතා වැදගත් යැයි සැලකෙන ලිපියකින් උපුටා ගන්නා ලද තොරතුරු ඇතුළත් ලිපියක්ද සමාජයේ සංසරණය වූයේය. එයින් කියවුනේ මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය ගනුදෙනුවලදී ඩොලර් මිලියන ගණනින් කොමිස් මුදල් උපයා ඇති බවයි. අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොල, වරාය නගරය, නෙළුම් කුලුණ ආදිය චීන ණය යටතේ ඉදිකෙරුණු නිසා මෙය සමාජයට තදින් දැනුණු ප්‍රවෘත්තියක් විය. එසේම මෙය මහින්ද රාජපක්ෂව විවේචනය කරන බොහෝ දෙනාගේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බවද පෙනෙන්නට තිබුණි.
මේ සංසරණය වූ එම ලිපියේ කොටසකි:
“මේ දිනවල ලංකාවේ තිරගත වන අලුත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය.
රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% – 15% ත් අතර කොමිස් මුදලක් හිමි වේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි.”
මේ කොටස ඇතුළත් ලිපිය වට්ස්ඇප් පණිවිඩයක් මගින් අපට ලැබුණේ ‘අරගල කානිවලය‘ සමයේය. ලිපියේ ඇතුළත් කරුණු නිසා ඇති වූ කුතුහලය මත, මුල් ලිපිය කියවීමට ගත් උත්සාහයේදී එහි සඳහන් අන්තර්ජාල අඩවි ලිපිනයෙහි කිසියම් දෝෂයක් ඇති බවට සැකයක් ඇති විය. ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මේ ලිපිය බෙදාහැරිය කිසිවකු මුල් මූලාශ්‍රය කියවා තිබේ දැයි සැක සහිතය. අදාළ වෙබ් අඩවියට ඇතුළු වී එම ලිපිය පිළිබඳ සොයාබැලීමක් කළ ද එබඳු ලිපියක් එහි නොවිණි. රාජපක්ෂවරුන්ගේ නම් ඇතුළත් කර සොයාබැලීමක් කළ විට කිසියම් කාන්තාවක විසින් ලියන ලද ලිපියක් පමණක් හමු විය. රජීව් ෂර්මාගේ නමින් කිසිදු ලිපියක් එහි නොවීය.
ලිපියේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් රජීව් ෂර්මාගේ නමද යොදා අන්තර්ජාලයේ විමසීමක් කළ විට කොටි හිතවාදියකු වූ ඩී.බී.එස්. ජෙයරාජ්ගේ වෙබ් අඩවියෙහි ෂර්මාගේ ලිපිය සහ සවුත් ඉන්දියා ඇනලිසිස් වෙබ් අඩවියේ පළ වූ උක්ත ලිපියෙහි අනු අංකය එහි සඳහන් විය. “The writer is a New Delhi-based journalist-author and strategic analyst. This paper appears in South Asia Analysis Group as paper o 5261.” (https://dbsjeyaraj.com/dbsj/archives/11941)
ඒ අනුව විද්‍යුත් තැපෑලෙන් (southasia98@gmail.com / saag17@ymail.com) අදාළ වෙබ් අඩවි සංස්කාරකවරුන්ගෙන් මේ පිළිබඳව විමසීමක් කළද කිසිදු පිළිතුරක් නොලැබුණි. ඉන්දියාවේ පිහිටි ඔවුන්ගේ කාර්යාල දුරකතන අංකද අක්‍රියව තිබුණි. (පිළිතුරු නොලත් මේ විද්‍යුත් ලිපිය තවමත් අප සතුව ඇත.)
ෂර්මාගේ ලිපියේ දැකිය හැකි ලොකුම දුර්වලකම වන්නේ ඉදිරිපත් කෙරෙන කරුණු සනාථ කිරීම සඳහා පුද්ගල, මුද්‍රිත, විද්‍යුත් යනාදි කිසිදු මූලාශ්‍රයක් අඩංගු නොවීමයි. වගකීමක්, විනයක් ඇති කිසිදු මාධ්‍යවේදියකු මූලාශ්‍රයක් නොමැතිව යම් වංචාවක් දූෂණයක් අනාවරණය කෙරෙන ලිපියක් සකසන්නේ නැත. වගකීමක් ඇති මාධ්‍ය කර්තෘවරයකු, වෙබ් සංස්කාරකවරයකු එවන් ලිපියක් පළ කරන්නේද නැත. ඒ නිසා මේ ලිපිය පළ කළ වෙබ් අඩවිවල මාධ්‍ය සදාචාරය හා වගකීම පිළිබඳ ගැටලුවක් තිබේ.
මේ ලිපිය එය මුලින් පළ කළ වෙබ් අඩවියෙන් ඉවත් කිරීම බරපතල සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙබ් අඩවියකින් ලිපියක් ඉවත් කෙරෙන හේතු කීපයක් තිබේ. බොහෝ විට ඊට පාදක වන්නේ අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් බවට තහවුරු වීමයි. මීට අමතර හේතුද තිබේ. බුද්ධිමය හිමිකම් ඇතුළු නීති ප්‍රශ්න, උසාවි නියෝග, යල්පැනගිය තොරතුරු, පෞද්ගලිකත්වයට අදාළ කරුණු ආදිය ඉන් කීපයකි. ඒ එකක් වත් මෙවැනි වංචා දූෂණ හෙළිදරව්වකට සම්බන්ධ යැයි සිතිය නොහැකිය.
ජෙයරාජ් උත්කර්ෂයෙන් හඳුන්වාදෙන, නව දිල්ලිය කේන්ද්‍ර කොටගත් මාධ්‍යවේදී, ලේඛක හා උපායමාර්ග විශ්ලේෂකයා (ෂර්මා) ඉන්දියාවේ කීර්තිමත් ගවේෂණශීලී මාධ්‍යවේදියකු නොවේ. ඔහු 2008 වසර දක්වා, යූඑන්අයි මාධ්‍ය ජාලයේ, ට්‍රිබියුන්, සකාල් පුවත්පත්වල ආරක්ෂක හා විදේශ කටයුතු ආවරණය කළේය. 2008 රැකියාවෙන් බවත් වූ පසු ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස ඉන්දියාවේ හා විදේශයන්හි මාධ්‍යවලට ලිපි සපයා තිබේ. 2010න් පසු ඔහු චීනයේ ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය සේවය වෙනුවෙන් ලිපි සැපයුවේය.
2008න් පසු ඔහු ක්ෂණිකව මුදල් ඉපැයීම කෙරෙහි නැඹුරු වූ බවත්, මුදල් වෙනුවෙන් නුසුදුසු දේ කිරීමට පෙළඹුණු බවත් ඉන්දියාවේ කීර්තිමත් මාධ්‍යවේදීහු පවසති. ඔවුන් පැහැදිලි කරන ලෙසට ‘උග්‍ර කොංග්‍රස් හිතවාදියකු වන ෂර්මා ඉක්මනින් මුදල් හම්බ කිරීමට මෙන්ම අඩිපුඩි සාදවලටත් කෑදරයකු’ වූයේය.
පසු කලෙක ෂර්මාට යම් ප්‍රසිද්ධියක් ලැබුණේ ඔහුගේ ලේඛන කටයුතු නිසා නොවේ. 2019 වසරේ, ඊශ්‍රායල ඔත්තු සේවා සිය ජංගම දුරකතනයට හා වට්ස්ඇප් පණිවිඩවලට හොරෙන් රිංගා ඇතැයි කැනඩාවේ ආයතනයක් විසින් තහවුරු කර ඇතැයි මාධ්‍යවලට කළ ප්‍රකාශයක් නිසාය. මෙය අසත්‍යයක් බව පසුව අනාවරණය වීය.
ෂර්මා කයිවාරුකාරයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. තමා, ඉන්දියාවේ ආරක්ෂක උපදේශක වූ අජිත් දොවාල් ළඟින් ඇසුරු කරන බව ඔහු හිතමිතුරන්ට කීම නිදසුනකි. එය විශ්වාස කළ නොහැකි යැයි ඇතැම් මාධ්‍යවේදීහු පවසති. ‘දොවාල් රටේ ආරක්ෂක උපදේශකයා. දොවාල්ව ඒ තරම් හොඳින් දන්නවා නම්, ඇයි ෂර්මාට බැරි වුනේ රටට දැනෙන එක ප්‍රධාන ප්‍රවෘත්තියක් වාර්තා කරන්න.” ඔවුහු ප්‍රශ්න කරති.
ෂර්මා, අජිත් දොවාල් ඇරඹූ විවේකානන්ද පදනමේ වෙබ් අඩවියටද ලිපි සැපයුවේය. ඇතැම් විට ඔහු, ඒ කාරණය, තමන් දොවාල්ගේ සමීපතමයකු යැයි කියන්නට හේතුවක් කරගත්තා විය හැකිය. ෂර්මා අත්අඩංගුවට පත් වූ පසුව විවේකානන්ද පදනම ඔහුගේ විස්තර ස්වකීය වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ. කෙසේ වුවත් ආරක්ෂක විදේශ තොරතුරු ආවරණය කිරීම නිසා ඔහුට දේශපාලකයින්ගේ හා ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සබඳතා තිබෙන්නට ඇති බව පිළිගත හැකිය.
ඔහුට ඉන්දියාවේ ලොකුම ප්‍රසිද්ධිය ලැබී ඇත්තේ 2019 සැප්තැම්බරයේ ඉන්දියාවේ රහස් තොරතුරු චීනයට විකිණීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පසුවය. තමා චීනයට ඉන්දියාවේ තොරතුරු ලබාදුන් බව ෂර්මා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පිළිගත් බව පොලිසිය මාධ්‍යයට පවසා තිබේ. 2021 දී නැවතත් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද ඔහුට එවැනිම ප්‍රසිද්ධයක් ලැබුණි.
ෂර්මා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල සාක්කි නැතැයි පැවසු ඔහුගේ නීතිඥවරයා මාධ්‍යයට පවසා ඇත්තේ ‘චීන මාධ්‍යවලට ලිව්ව නිසා ෂර්මාට චීනයෙන් මුදල් ආවා. ඒ හේතුව මත ඔහුව අත්අඩංගුවට ගත්තා මිස ඔහුට විරුද්ධ ප්‍රබල සාක්කියක් නෑ’ යනුවෙනි.
ෂර්මා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි, චීන ඔත්තු සේවාවලට සම්බන්ධ කුයිං ෂි නමැති චීන ජාතික කාන්තාවක වූ හා ඇගේ නේපාල සහකාරවරයා වූ ෂේර් සිං හෙවත් රාජ් බෝරා සමග බවට මාධ්‍ය වාර්තා පළ වීය.
මහින්දට චෝදනා කිරීමේදී ෂර්මාට වැරදුණ ඉතා වැදගත් කරුණක් තිබේ. ඔහුගේ ලිපියට ප්‍රචාරය දෙන අයටද ඒ ගැන අවධානය යොමු වී නැත. ෂර්මා මෙසේ ලියයි.
“China has committed since 2005, as per treasury records, contracts and investments worth US$ 6.4 billion. So far, $ 3.6 billion has been disbursed; projects worth $ 2.8 billion are waiting to be signed. In another three years, the Chinese investment in Sri Lanka will nearly double and touch $ 12 billion… Available data shows that the First Family (FF) stands to receive in commission anywhere between US$1.2 to US$ 1.8 billion during 2005-15. It works out to an annual ‘intake’ of $120 to US$ 180 million from the Chinese projects.”
ෂර්මා (2012 වසරේ දී) කියන්නේ, 2005 සිට 2012 දක්වා චීනය ශ්‍රී ලංකාවේ ඇ.ඩො. බිලියන 2015 වන විට ලංකාවේ චීන ණය ඇ.ඩො. බිලියන 12ක් වනු ඇති බවත්, පවත්නා දත්ත අනුව මහින්ද රාජපක්ෂ (බිරිඳ සහ දරුවන් ඇතුළු) පවුලට (First Family) 2005 – 2015 අතර ඇ.ඩො. බිලියන 1.2ත් 1.8ත් අතර මුදලක් කොමිස් වශයෙන් ලැබෙනු ඇති බවත්ය. ඔහු, ‘පවත්නා දත්ත’ අනුව යැයි කීවද ඒ බව සනාථ කෙරෙන කිසිදු සාක්කියක් ඉදිරිපත් කර නැත. මෙහි ඇති වැදගත්ම කරුණ එය නොවේ. 2015 වන විට ලංකාව චීනයට ණය වී ඇත්තේ ඇ.ඩො. බිලියන ඇ.ඩො. බි. 4.5කි. 2022දී ඒ ප්‍රමාණය ඇ.ඩො. 9.1කි. ෂර්මාගේ ගණන් හිලව් හුදු ප්‍රබන්ධයක් බව එයින්ම පෙනේ.
දැන් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේද ෂර්මාගේ ලිපිය නැත. සවුත් ඒසියා ඇනලිසිස් වෙබ් අඩවිය අක්‍රියය. ෂර්මා ගැන ආරංචියක් නැත.
ඉන්දියාවේද සහාය ඇතිව කොටි යුද්ධය අවසන් කළ වහාම සිදු වූයේ චීනය ලංකාවේ දැවැන්ත කර්මාන්ත ආරම්භ කිරීමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ චීන රජය අතර දැඩි සම්බන්ධතාවක් ඇති බව පෙනෙන්නට තිබුණි. එසේම මහින්ද පකිස්ථාන ශ්‍රී ලංකා සබඳතාද තර කරන්නට කටයුතු කළේය.
මේ තත්වය ඉන්දියාවේ සතුටට කාරණයක් නොවේ. ඉන්දියාවේ සිටින ප්‍රසිද්ධ ආරක්ෂක උපායමාර්ග විශ්ලේෂකයකු වන නිතින් ගොඛේල්, චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයා බවට පත්වීම පිළිබඳව කතාබහ කිරීම, ඉන්දියාව, චීන – ශ්‍රී ලංකා සබඳතා කෙරෙහි දැක්වූ දැඩි අවධානය පැහැදිලි කරන්නකි. 2014 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූ පසු, 2015 ජුනි 05 වැනිදා ‘ඊස්ට් ඒසියන් ෆෝරම්’ වෙබ් අඩවියට ලිපියක් සැපයූ ආචර්ය ස්මෘති එස්. පට්ටනායික් මෙසේ කියයි.
“Sri Lanka has always tried to leverage its ties with Beijing in its relations with India and the West. But the previous Rajapaksa government went too far in courting China and did not consider the strategic consequences.”
‘ශ්‍රී ලංකාව හැම විටම චීනය සමග ඇති සබඳතාව ඉන්දියාව හා බටහිර සමග ඇති සබඳතාව සමග සමබර කරන්නට කටයුතු කළාය. එහෙත් රාජපක්ෂ රජය චීනය සමඟ කටයුතු කිරීමේදී පමණට වඩා දුර ගියේය.’
රජීව් ෂර්මා සිය ලිපිය අවසානයේ මෙසේ ලියයි.
The credit for taking Sri Lanka into China’s fold goes to Chandrika’s mother, Sirimao Bandaranayke, while her predecessor, JR Jayewardene, opened the windows to Pakistan.
Under Rajapaksas the ties with Beijing and Islamabad have become deepened and widened. Yes, he has personally ensured the successful sailing of several Chinese projects, while letting the Pakistani leaders put their money in the Lankan bourses.
“ලංකාව චීනය දෙසට නැඹුරු කිරීමේ ගෞරවය හිමි වන්නේ චන්ද්‍රිකාගේ මව සිරිමා බණ්ඩාරනායකටය. ඇගෙන් පසු බලයට පත් ජේ. ආර්. ජයවර්ධන පකිස්ථානයට රට විවර කළේය.
රාජපක්ෂ යටතේ බීජිං සහ ඉස්ලාමාබාද් සමග ඇති සම්බන්ධතා වඩාත් පුළුල් වී ඇත.”
පට්ටනායික් සහ ෂර්මා මේ නොකියා කියන්නේ, චීනයට හා පකිස්ථානයට ළංවීමේ විපාක ගෙවන්නට, මහින්දට සිදු වූ බවයි.
මහින්දගේ පාලන කාලයේ පටන් ප්‍රචාරය වූ රට චීන ණය උගුලක පැටලවීමේ චෝදනාවද මේ වැඩපිළිවෙළේ තවත් කොටසක් බව පෙනේ. ලංකාවේ ණය බරින් චීනයට ඇති ණය ප්‍රමාණය 20%ක් පමණය. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොල, වරාය නගරය ද ඇතුළත් චීනයේ ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිටියේටිව්’ වැඩසටහනට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ෂණය කරමින් ආචාර්ය ලී ජෝන්ස් හා ආචාර්ය ෂහාර් හමීරි ‘චැතම් හවුස්’ වෙබ් අඩවියේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක් මගින්ද ‘චීන ණය උගුල’ පිළිබඳ මතය සාවද්‍ය බව පෙන්වා තිබේ. “debt-trap diplomacy” නමින් ප්‍රසිද්ධ මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව එක්ව චීනයට එරෙහිව ගෙන යන ප්‍රචාරක වැඩසටහනකි.
‘මහින්ද චීන ණය උගුලක රට හිර කළා’ යන ප්‍රචාරක වැඩපිළිවෙළ මහින්ද පැරදවීමේ ඉන්දියානු සැලැස්මේ කොටස් යැයි සැක කිරීමට සිදු වේ. මහින්ද පමණක් නොව, බැසිල් හා ගෝඨාභයත් ජනතා අප්‍රසාදයට ලක් වන්නට පසුබිම සැකසුණේ එසේය. 2014 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මෝදි ඇඳුමෙන් සැරසුණේ ඇයි දැයි දැන් පැහැදිලිය.
රාජපක්ෂලා සඟවා ඇතැයි කී ඩොලර් බිලියන 1100ක් පමණ වන මහා ධනස්කන්ධය ගැන, ඇමති වසන්ත සමරසිංහ සහෝදරයා දැන් සද්දයක් නැත. රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් කන්දරාවක් ගෙන ගිය කතාව බොරුවක් යැයි නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී සහෝදරිය පිළිගත්තාය. රාජපක්ෂලා නැව්වලින් ඩොලර් ගෙන ගියේ යැයි කියූ හර්ෂ ද සිල්වා ද සද්දයක් නැත.
2010 වසරේ සිට අනුර දිසානායක සහෝදරයා කීවේ ඔහු ළඟ මහින්දගේ ‘ෆයිල් එක’ තිබෙන බවයි. දැන් ජනාධිපති අනුරට ෆයිල් එක ඇද මහින්දට දඬුවම් කරන්නට අවස්ථාව පැමිණ තිබේ. එහෙත් ඔහු මහින්දගේ ආරක්ෂාව අඩුකිරීම, නිල නිවාසයෙන් පැන්නීම, ඔහුගේ පුතුන්ගේ පරණ ‘කේස්’ ඇවිස්සීම වැනි පොඩි පොඩි වැඩ පෙන්වමින් සිටී. අනුර මහින්දගේ ෆයිල් එක එළියට නොඅදින්නේ, නිලන්ති කොට්ටහච්චි පැවසූ පරිදි, කෙනෙකුට බොරු කියන්නටද අයිතියක් ඇති බව ඔප්පු කිරීමටද?
කලෙක රටේම වීරයා වී ඇතැමුන් ‘රජු යැයි’ හඳුන්වමින් ප්‍රශස්ති ගීයෙන් පිදුම් ලැබූ මහින්ද, පැහැදිලි සාක්කි සහිත චෝදනා පත්‍රයක් නැතිවම හොරා වී අවසන්ය. ප්‍රශස්ති ලියූවන් මෙන්ම ඇසුරේ සිටි තවත් අයද ඔහු හැර ගොසිනි. ‘රටට සේවයක් කරපු මට මැරෙන්න වෙලා තියෙන්නෙ හොරෙක් විදියට දැ’යි මහින්ද සිය සමීපතමයන්ගෙන් විමසා තිබේ. මහින්ද වටා ඒකරාශී වී සිටි සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය අඩපණව ගොසිනි.