කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය

Last Updated on 4 months by admin

තිස්ස මහත්මයාගේ දෛනික ජීවිතයේ නම්‍යශීලී බව තමාට පරිබාහිර ජීවිතයේදීත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කිරීම මා අගය කරනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂ කට ඇරියොත් කියන්නේ වෙනසක් අවශ්‍යයි කියා. නමුත් නම්‍යශීලී බව වචනවලට පමණක් සීමා කරගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ නැති ගුණාංග බාහිර සමාජයේ සොයන්න උත්සාහ කරන මිනිසුන් දිනපතාම වැඩිවනවා පමණක් නොවෙයි සමාජය වෙනස් කිරීමේ බලවේගයේත් ප්‍රධාන භූමිකාව ඉටු කිරීමට ඉදිරියට අවුත් කෑකෝ ගසන්නෙත් ඔවුන්මයි.

ඔවුන්ට අවශ්‍යය ඔවුන්ගේ පැවැත්ම සඳහා අපව වෙනස් කිරීමයි. මේ ලණුව කන්න එපා කියා මම හැම දෙනාගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් ළඟ තිබූ කැපී පෙනෙන පොදු දුර්ලකම නම් ශ්‍රී ලංකාව තුළ කිසිදාක තමන්ගේ කියා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට බැරි හීනමානයයි.

රෝහණ විජේවීර ලංකා සම සමාජ පක්ෂය නිර්දය ලෙස විවේචනය කළා. ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් ගැන කිසිදාක මා තුළ විශ්වාසයක් තිබුණේ නැහැ.

උදාහරණ දහස් ගණනක් තිබුණද, ලංකා සම සමාජ පක්ෂයේ සැබෑ මුහුණුවර කුමක්ද යන්න එක් සරල උදාහරණයකින් පහදා දෙන්න මා කැමතියි.

1970 මහ මැතිවරණයේදී සම සමාජය ඇතුළු සියලුම වාමාංශික පක්ෂ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දීමට කොන්දේසි විරහිතව එකඟ වුණා. ඒ තමන්ටත් ඒ තුළින් බලයක් ලැබෙන බව දන්නා නිසා.

අඟේ ඉඳන් කන කන ක්‍රමය භාවිතා කරමින් ශ්‍රීලනිප පාලනය ට්‍රොට්ස්කිවාදී පාලනයක් කරන්න ගත් වංචනික උත්සාහය නිසා ලංකා සම සමාජ පක්ෂය නෙරපා හරිනු ලැබුවා.

කොළොන්නාවේ පැවති රැස්වීමකදී සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම් පෙරේරා කී කතාවක් මට තාම හොඳට මතකයි.

”1970දී සමාජවාදී ගමනක් යාම සඳහා අපි ලංකා සම සමාජ පක්ෂය පාර්ශ්වකරුවෙක් හැටියට සමගි පෙරමුණු රජයට එක්වුණා. ඒත් මේ රදළ අම්මණ්ඩි එක්ක මොන සමාජවාදී ගමනක්ද?””

නමුත් ජනරජය පිහිට වූ 1972 වසරේදී කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාල ශාලාවේදී ව්‍යවස්ථා දායක සභාව අමතමින් එන්.එම් පෙරේරා කීවේ “ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ මාර්ගෝපදේශකත්වය යටතේ අපි සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ ප්‍රථම පියවර වූ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා මෙහි එක් රැස්වී සිටිමු” කියායි.

කොහේ සිදු නොවුනත් ” කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා” බංකොලොත් දේශපාලන දර්ශනය ශ්‍රී ලංකාව තුළ නම් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

මිනිසුන් තමන්ට අවංක නොවී දේශපාලනයේදී අවංක බවක් පෙන්වීමට උත්සාහ කිරීම හුදු ආත්ම වංචාවක්. ජනතාව රැවටීමක්. අප වෙනස පටන් ගත යුත්තේ අප තුළින්. වෙනස විසඳුමක් බවට පත්වෙන්නේ අතරමං වූ පසු සාක්කුවෙන් එළියට ගන්නා මාළිමාවේ මුණත දෙස බැලීමෙන් නොව, මාළිමාවකින් තොරව හෝ පාර සොයාගෙන යෑමේ ඉව තමන් ළඟ තවමත් තිබෙන බව පසක් කර ගැනීමෙන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link