කිරි හට්ටි පූජාවෙන් ගත්ත මහාචාර්ය පට්ටම

Last Updated on 2 months by admin

Photo credit: hindustantimes.com

මේක එක කතාවක් පමණක් නොවෙයි කතා වැලක්.

1968 දී මා ගංගොඩවිල විද්‍යෝදය (වත්මන් ජපුර) විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා කථිකාචාර්යවරයෙක් ලෙස සේවය ඇරඹුවා.

1972 වන විට, ශ්‍රේෂ්ඨ ගුරුපියෙකු වූ මාගේ මහාචාර්ය ඇලෙක්ස් ගුණසේකර මහතා ආචාර්ය උපාධි කටයුතු සම්පූර්ණ කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ Oxford විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නියැලී සිටියා.

මා ගංගොඩවිල විශ්වවිද්‍යාලයේම සමාජ විද්‍යා ගෞරව උපාධියක් සඳහා පර්යේෂණ කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි ඒ සමයේ, සමාජ විද්‍යාවේ මළපොතේ අකුරක් නොදත් අයෙක්, කලා පීඨාධිපති ලෙස අපේ අංශය ඔහු වෙත පවරා ගත්තා. M.A උපාධියක් පමණක් සහිතව පාසලක උගන්වමින් සිටි ඔහු ගැන සිසුන් සරදමට මෙන් කීවේ, ඔහු අධ්‍යයන අංශයේ මහාචාර්ය පදවිය හිමි කරගන්නේ විශ්වවිද්‍යාලයේ මුල්ම උපකුලපති වූ වැලිවිටියේ සෝරත ස්වාමීන් වහන්සේට කිරි හට්ටියක් පූජා කිරීමෙන් බවයි.

විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයෙන් මා නෙරපා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ පිරිසේ නායකයා වුණු එල්.ජී. හේවගේ නම් වූ මෙම තැනැත්තා ඊට සහාය ලබාගන්නේ එවකට ඉතිහාස අංශයේ මහාචාර්ය හේම එල්ලාවල සහ විදුදය සරසවියේ විභාග අංශාධිපති ප්‍රේමරත්න අබේසේකරගෙන්. එල්ලාවල උපැවිදි වූවෙක්.

මෙම ද්‍රෝහී තුන් කට්ටුව ඔවුන්ගේ අසනීපයට ගත යුතුව තිබුණු බෙහෙත් අඹරා මා හට කැවීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මා සමාජ විද්‍යා ගෞරව උපාධියේ අවසාන විභාගයට පළමු පන්තියේ සාමාර්ථයකට ලකුණු ලබා තිබියදී සියලුම උත්තර පත්‍රවලට ලැබී තිබුණේ තුන්වෙනි පන්තියේ සාමාර්ථයක් පමණයි.

එවකට අගමැතිනියව සිටි සිරිමා බණ්ඩාරනායකගේ මැදිහත්වීමෙන් විශ්වවිද්‍යාල හතරකින් තෝරා ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විසින් කරන ලද විමර්ශනවලින් හෙළි වූයේ මා ලබාගෙන තිබූ පළමු පන්තියේ සාමාර්ථය ඉවත්කර තුන්වෙනි පන්තියේ සාමාර්ථයක් ලබාදී ඇති බවයි.

1983 වසරේදී ලන්ඩනයේදී අහම්ඹෙන් මෙන් මා හට හමුවූ විදුදයේ හිටපු විභාගාධිකාරී ප්‍රේමරත්න අබේසේකර පාපොච්චාරණය කරමින් කියා සිටියේ එවකට කලා පීඨාධිපති වූ එල්.ජී. හේවගේ ගේ ඉල්ලීම පිට මාගේ අවසන් විභාගයේ ප්‍රතිඵල වෙනස් කළ බවයි.

වෙව්ලන කටහඬින් සහ ගැහෙන දෙපාවලින් යුතුව ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ ඔහුට හිරිහැරයක් නොකරන ලෙසයි.

මා ගැරඬින් මරන කෙනෙක් නොවන බව කියා මම ඔහුට සමාව දී මුදා හැරියා.

1980 වන විට මා බටහිර බර්ලිනයේ Free University උසස් අධ්‍යාපන ආයතනයෙන් සමාජ විද්‍යා විෂයට පළමු පන්තියේ (Magna cum Laude) සාමාර්ථයක් ලබා සිටි නිසා ඔහුගෙන් තබා කාගෙන්වත් පළි ගැනීමේ අවශ්‍යතාවයක් මා හට තිබුණේ නෑ.

ඊට මාස කිහිපයකට පසුව එල්.ජී. හේවගේ නුගේගොඩ නගරයේදී මට මුණගැසුණා. ඒ අවස්ථාවේ මා, ඔහුගේ ගෝලයා වන ප්‍රේමරත්න අබේසේකර කළ පාපොච්චාරණය ගැන ඔහුට පැවසුවා.

එයින් හොඳටම කලබල වූ හේවගේ ගත් කටටම කියා සිටියේ “ඒ වෙලාවේ ඌ නිකං හිටියද” කියායි. ‘පවේ විපාක පව්කාරයන්ම බෙදාගනිල්ලා’ කියා මම ඒ වෙලාවේ ඒ දුෂ්ඨයාටද සමාව දුන්නා. දරුණු පිළිකාවක් සෑදී ඔහු මිය ගිය බව පසුව සැළවුණා.

70 දශකයේදී විදුදය සරසවියට රුපියල් 65000ක මූල්‍ය වංචාවක් කර, එයා ආපසු නොගෙවා එංගලන්තයට වී කට්ටි පනිමින් සිටි ප්‍රේමරත්න අබේසේකරද අඩු වයසින් මියගිය බව දැනගන්නට ලැබුණා.

දෙවැනි දිගහැරුම ඇරඹෙන්නේ එම සරසවියේම සමාජ විද්‍යාව ඉගැන්වීමට ගොස් හත් පොළේ ගා ගත් “මහා ආශ්චර්ය” නන්දසේන රත්නපාල කළ ‘හිඟන්නා සහ වෛශ්‍යාව’ රංගනය ඔස්සේයි. ඉදිරියේදී එම නාට්‍යයද හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ඉදිරිපත් කරන්නම්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link