කොළඹට කිරි ගමට කැකිරි

Last Updated on 3 months by admin

පැරණි වාමාංශිකයින්, කුරුඳුවත්ත, කොළඹ සුපිරි ධනවතුන් ජීවත් වන ප‍්‍රදේශය යැයි තීරණය කර තිබුණි. මරදාන හා ඒ අවට ඊට විරුද්ධ ප‍්‍රදේශය විය. එය ඔවුන්ට හිතවත් නිර්ධනයින් විශාල පිරිසකගේ වාසභූමිය ලෙස සැලකිණි. ආර්. පේ‍්‍රමදාස විසුවේ කොළඹ මරදාන ප‍්‍රදේශයේය.

ඔහු නාගරික මැතිවරණයට ඉදිරිපත් කිරීම එජාපයේ බුද්ධිමත් ක‍්‍රියාවකි. එය කොළඹ වාමාංශික ව්‍යාපාරයට ලොකු අභියෝගයක් වූයේය. ඒ කාලයේ පේ‍්‍රමදාස වචනාර්ථයෙන්ම නිර්ධනයෙකි. ඔහු විවාහ කරගෙන සිටියේ ද නිර්ධන පංතියේ කාන්තාවකි.

පේ‍්‍රමදාස පළමුවෙන්ම නගර සභාවට ගියේ ප‍්‍රදේශයේ මහජනයා රුපියල දෙක එකතු කර අරන් දුන් මෝටර් රථයෙනි. ඔහු පාර්ලිමේන්තුවට ගියේ මැද කොළඹ ආසනයෙනි. ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළ පෝස්ටර් පත‍්‍රිකාවල පේ‍්‍රමදාසව හඳුන්වා තිබුණේ ‘මැද කොළඹ පුත‍්‍රයා’ නමිනි.

එජාප නායකයෙකු බවට පත් වූ පේ‍්‍රමදාස කාලයාගේ ඇවෑමෙන් ධනපතියෙකු වූයේය. අගමැති වන විට ඔහු සතු වූ වත්තක් ගල්ගමුව පැත්තේ තිබුණි. එයට යන පාරේ ඉතා පැරණි රොඞී ගමක් තිබුණි. එහි තිබුණේ ඉලූක් සෙවිලි කළ පැල්කොට විනා නිවාස නොවේ. පේ‍්‍රමදාස වත්ත සංවර්ධනය කරන විට ඒ ගම වෙනස් වූයේය. පේ‍්‍ර්මදාසගේ ‘උදාගම්’ සංකල්පයේ ආරම්භය එතැනය.

වැවක් සමීපයේ පිහිටි, පොල්අතු හෝ ඉළුක් සෙවිළි කර මැටි ගැසූ කුඩා ගෙවල් ඇති, හරක් පට්ටි සමග ජීවත් වන චාම් වස්ත‍්‍ර අඳින, පන්සල හා බැඳුන ගම වෙනස් කිරීම, උදාගම් ව්‍යාපාරය මගින් සිදු කළ ක‍්‍රියාවකි. පේ‍්‍රමදාස අගමැතිවරයාට මෙවැනි ගම් පෙරළියක් කරන්නට සිතුණේ කාගේ වත් උපදේශයකට නොව, සමසමාජකාරයින්ගේ දෘෂ්ටිය ඔහුගේ හිතට වැදී තිබීම නිසා විය යුතුය.

ලංකාවේ බොහෝ පිරිසක් ‘කොන්සර්වේටිව්’ යන වචනයේ සැබෑ අර්ථය නොදනිති. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල ‘කොන්සර්වේටිව්’ කාරයෝ ජාතිකත්වය රකින්නට උපරිමයෙන් වෙර දරති. පේ‍්‍රමදාසගේ එජාපය ඊට හාත්පසින්ම වෙනස් අධිරාජ්‍ය ගැති පක්ෂයකි. ඕනෑම අධිරාජ්‍ය ගැති පක්ෂයක ස්වභාවය ජාතික උරුමයන් අහෝසි කිරීමට වෙහෙසීමයි. ‘සුළු ජාතීන්’ නමින් ප‍්‍රයෝගයක් ඉදිරිපත් කරමින් සිංහලයන්ට තලන හැම දෙනාම සේවය කරන්නේ අධිරාජ්‍යවාදයටයි.

පේ‍්‍රමදාස අගමැතිවරයාගේ උදාගම් වැඩපිළිවෙල, ගම හා ගමේ සංස්කෘතිය වෙනස් කළ වැඩපිළිවෙළකි. නගරයේ හැදුන ඔහු ගම දිළින්දන් දුක් විඳින ස්ථානයක් සේ දුටුවේය. ඒවායේ ජීවත් වන කිහිප දෙනෙකුට කුඩා සිමෙන්ති නිවෙසක් සාදා දීම උදාගම් වැඩසටහනින් කෙරුණි. මෙබඳු උදාගම් බොහෝමයක්, බෞද්ධයන්, හින්දුන්, ක‍්‍රිස්තියානින්, මුස්ලිමුන් එකතු කරන ස්ථානයක් වූයේය. එයින් සිදු වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වී ගැමියා දූෂණය වීමයි.

හැම ආගමක්ම එක තැනකට ගෙන ඒම සංකල්පයක් වශයෙන් සලකා බැලූවහොත්, කොළඹ තෝසකඩය එහි උත්පත්ති ස්ථානය වූයේය. ඉස්සර කොළඹ ඕනෑම තෝස කඩයක අයකැමි මේසයට ඉහළ බිත්තියේ සියලූ ආගමික නායකයින්ගේ පින්තූර එල්ලා තිබුණි. ‘කොළඹට කිරි ගමට කැකිරි’ ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සිංහල ගමේ විනාශය පැහැදිලි කිරීමයි.

‘කොළඹට කිරි ගමට කැකිරි’ බෙහෙවින් ජනප‍්‍රිය වූයේය.

ඩෙඟ ඩෙඟ පරි
රඹට කැකුණි
කොළඹට කිරි
ගමට කැකිරි
යන මාතෘකා යටතේ ලියවුන පරිච්ඡෙද හතරක් පොතේ අඩංගුව තිබුණි.

හලාවත පැවති දේශපාලන රැලියකට පැමිණි පේ‍්‍රමදාස අගමැතිවරයා වේදිකාවේ සිටියදී යම් අයෙකු මෙම පොතේ පිටපතක් දුන් බවත් රැස්වීමෙන් පසු මෝටර් රථයට නැග්ග ඔහු පොත කියවමින් ගිය බවත් මා දැන ගත්තේ එදින රාත‍්‍රියේ අප නිවසට පැමිණි, පොත මුද්‍රණය කළ මුද්‍රණාලයේ හිමිකරුවාගෙනි. ඔහු හොඳටම බිය වී සිටියේය.

ඒ කාලයේ අද මෙන් මාධ්‍ය නිදහස නොතිබුණි. මාධ්‍යවේදීන් අතුරුදහන් වූ සහ ඝාතනවලට ලක් වූ කාලයකි. හිතවතුන් කීප දෙනෙකු සමග මගේ නිවසට පැමිණි මුද්‍රණාල හිමියා ‘වහා රටින් පිටවෙන්නැ’යි මගෙන් ඉල්ලීමක් කළේය. ඔවුන් මුද්‍රණාලයේ ඉතිරි වී තිබුණු පොත් පිච්චූ බව පසුව ආරංචි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link