දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි

Last Updated on 4 months by admin

දර, පළා ආදිය මිටි බඳින දේ ය. එනිසා ‘මිටිය’ ස්වභාවිකව බිහි වන දෙයක් නොව කෘතිමව සාදනු ලබන දෙයකි. ජවිපෙ, ‘ගැහැණු අපි එක මිටියට’ යයි අලූත් සටන් පාඨයක් ඉදිරිපත් කර තිබේ. මිටිය ස්වභාවිකව බිහි වන දෙයක් නොවන පරිදි, මෙයින් කරන්නට හදන්නේද අස්වාභාවික ක‍්‍රියාවකි. ඉන්දියාවේ බමුණෝ ගැහැණුන් එක මිටියකට බැඳ තියාගෙන සිටියහ. ඔවුන් ඒ සඳහා බ‍්‍රාහ්මණ නීතිය ප‍්‍රයෝජණයට ගත්ත. පිරිමින් බේරා ගැනීම බමුණු පූජකයින්ගේ පරමාර්ථය වූ බව වැඩිදුර තොරතුරු සොයන විට හෙලිවෙයි.

බයිබලයේ මැවීමේ කතාව, ගැහැණිය විසින් පිරිමියා වරදට පොළඹවනු ලබන බව ඉතා හොඳට පැහැදිලි කරන්නකි. ආදම්ව වරදට පොළඹවා ගත්තී, ඒවාය. මැවුම්කාරයා හොඳටම කේන්ති ගත්තේය. මෑතකදී ඕස්ටෙ‍්‍රලියාවේ වාසය කරන ඉස්ලාම් දේවගැතිවරයෙක් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින්, මොට්ටැක්කිලිය නැතිව පාරේ යන කාන්තාව පාරට වීසි කරන ලද මස් කුට්ටියක් යැයි කීවේය.

කාන්තාව මූලධර්මවාදී ආකල්පවලින් බේරා ගැනීමට ඉදිරිපත් වූ පළමුවැන්නා කවුරුන් දැයි ඉතිහාසයේ ලියවිලි නැත. බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂුන් වහන්සේ ඒ වෙනුවෙන් කටයුතු කළ පිළිවෙළ පැහැදිලි කරන තොරතුරු අප‍්‍රමාණය. ශාසන ඉතිහාසයට අනුව, බුදුන්ට වඩාත් සමීපව සිටි ආනන්ද හිමියෝ, කාන්තාවන් භික්ෂුණි ශාසනයට ඇතුළු කරගත යුතුය යන අදහස වෙනුවෙන් තදින්ම පෙනී සිටියහ.

කාන්තාව පුරුෂයා වැරැද්දට පොළඹවන බව බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් වේ. එනිසා එවැනි කාන්තාවන් දුටු තැන අල්ලා ගල් ගසා මැරීමේ සිරිතක් යුදෙව් රටේ තිබුණි. දිනක් කාන්තාවක අත්අඩංගුවට ගෙන ගල්ගැසීමට සැරසෙන්නන් පිරිසක් දුටු යේසුස් වහන්සේ එතනට ගොස්, සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි විමසයි. ‘‘ස්වාමින් වහන්ස, මැය අනාචාරයේ හැසිරුන තැනැත්තියක්. අපි ගල් ගහන්ඩයි සූදානම් වෙන්නෙ.’’ පිරිස පිළිතුරු දුන්හ. අදටත් ඇෆ්ගනිස්ථානය, ඉරානය වැනි රටවල, ස්ත‍්‍රීන්ට ගල් ගසා මැරීම ක‍්‍රියාත්මකයි. වළක් හාරා කාන්තාව ඊට බස්සා ශරීරයේ අඩක් වැසෙන සේ පස් පුරවා හිරකර ගල් ගැසීම සිදු කෙරේ. යේසුස් වහන්සේ එහි සිටි මිනිසුන්ට, ස්ත‍්‍රියට ගල් ගසන්නට එපා යැයි නොකියයි. කීවේ නම් මිනිසුන් කෝප වනු නියතය. උන්වහන්සේ කියන්නේ, ‘කාමයේ වරදවා නොහැසිරුන පුරුෂයෙක් මෙතන ඉන්නවා නම් මැයට පළමුවෙනි ගල ගහන්න’ කියායි. ඒ ඇසූ සෙනග විසිර යයි. බුදුන් වහන්සේත් එකවර මෙහෙණි සසුනක් හදන්නට ඉදිරිපත් නොවූහ. එසේ කළේ නම්, සමාජය සමඟ ගැටීමක් ඇති වන්නට ඉඩ තිබුණ බැවිනි.

මොනම සමාජයකවත් එක සමාන ගැහැණු නැත. බිළින්දියන්, තරුණියන්, අම්මලා, කිරිඅම්මලා ආදි වශයෙන් විවිධ වයස්වල විවිධ තරා තරාතිරම්වල කාන්තාවෝ සිටිති. ඔවුන්ගේ අදහස් හා දැනුම එක සමාන නැත. එනිසා කුඩා ගමක ගැහැණු වුව එක මිටියකට ගැනීමට නොහැකිය. කොමියුනිස්ට් රටවලට වුව ගැහැණුන් එක මිටියට බැඳීම දුෂ්කර විණි.

ඉරානය වැනි රටක කාන්තාවකට මොට්ටැක්කිලය නැතිව පාරට බහින්නට නොහැකි පරිදි නීති තිබේ. සවුදියේ කාන්තාවකට වාහනයක් පැදවීමට අවසර ලැබෙන්නේ මෑතකදීය. පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල කාන්තාවක ප‍්‍රහසන වේදිකාවකට නැගීම මරණ දඩුවම ලැබෙන වරදකි. ලංකාවේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ගී ගයා වෙන ආගම් ප‍්‍රචාරය කරන්නට පවා නිදහස තිබේ. ප‍්‍රදීපා ධර්මදාස ගායිකාවගේ 'දූවිල්ලෙන් සැදුනු ලියේ’ ගීය නිදසුනකි. ආණ්ඩුවේ මාධ්‍යන්ගෙන් පවා මෙම ගීයට හොඳ ප‍්‍රචාරයක් ලැබුණි. ගීයෙන් කියන්වෙන්නේ බයිබලයේ කතාවයි. මැවුම්කාර පියා පෘථිවිය මවා එයින් මැටි පිඩක් ගෙන ආදම් මවා, ඔහුගේ අස්ථියකින් ඒවා මැවූ බව බයිබලයේ සඳහන් වේ.
ඩලස් අලහප්පපෙරුම සහ ප‍්‍රදීපා ධර්මදාස කලක් ඇමරිකාවේ සිටි බවක් බොහෝ දෙනා කියති. ‘යොහෝවාගේ සාක්කිකරුවෝ’, ඇමරිකාවේ ක‍්‍රිස්තියානි සංවිධානයකි. එහි සාමාජිකයෝ ආගම කියාදීමට ගෙවල් ගානේ යති. පාරේ පොත් බෙදති. සංක‍්‍රමණිකයන් හඹා එමින් ඔවුන්ට උපකාර කරන්නට සැරසෙනති. ප‍්‍රදීපා-ඩලස් යුවළට ඇමරිකාවේදී යොහෝවාගේ සාක්කිකරුවන් හමුවූයේ නම් පුදුමයක් නොවේ.

අනුරාධපුරයේ පැවති ජාජබයේ ‘ගැහැණු අපි එක මිටියකට’ රැස්වීම් වේදිකාවට නැගි නැටුම් ශිල්පිනියක්, එහි පැමිණි කාන්තාවන්ට කතාන්දරයක් කීවාය. කතාන්දර කීම සිංහල සංස්කෘතික අංගයකි. කතාන්දර අහන්නට වැඩිපුරම කැමති, කුඩා දරුවන්ය. ඇමරිකාව, කැනඩාව වැනි රටවල අම්මා හෝ තාත්තා ළමයින් නින්දට යැවීමට පෙර ඔවුන්ට කතාන්දරයක් කියයි. මේ කාන්තාවගේ කතාන්දරය අහන්නේ වැඩිහිටියන් වීම විශේෂයකි.

පුරාණයේ වියළි කලාපයේ ගම්වල මඩ ගොවිතැනට වඩා සරුවට කෙරුණේ හේන් ගොවිතැනයි. ඕනෑම හේනක තල වැපරිණි. බොහෝ විට තල ඉසිනු ලැබුවේ පිරිමියෙකු විසිනි. තල අස්වනු කපන ලද්දේ ගැහැණුන් විසිනි. ඔවුන් ඒ කාරිය කළේ කවි කියමිනි. කවි කීමට පුදුමාකාර හපන්කම් ඇති ගැහැණු ඒ කාගෙ ගම්වල සිටියහ.

සිංහල කාන්තාව ගැන තව බොහෝ දේ කීමට තිබේ. ඒ කිසිවක් කතාන්දර නොවේ. සත්‍ය සිදුවීම්ය. සිංහල ගැහැණුන්ට උඩුකය නොවසා පිරිමින් මෙන්ම මහාමාර්ගවල ගමන් කිරීමේ හැකියාව තිබුණි. ඇතැම් යුරෝපීන් මෙවැනි කාන්තාවන් දැක ඇති බවට සාක්කි තිබේ. ලංකාවේ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවද එවැනි සාක්කි සංග‍්‍රහයක් ප‍්‍රකාශයට පත්කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link