බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස් 

Last Updated on 4 months by admin

පැරිසියේ සිනමා ශාලාවකදී “Bob Marlay: One love” නම්, සුපිරි ගායක බොබ් මාලේගේ ජීවිත කතාව රැගත් සිනමා සිත්තම නැරඹුවෙමි. එය නරඹන අතරතුර ඉවත ඉගිලගිය මගේ සිත නැවත චිත්‍රපටයට යොමු කර ගැනීමට සිදුවූ නිසා එහි රස වින්දනයටද බාධා සිදුවූ බව ඇත්තය. එය එසේ වූයේ මට “අපේ ක්ලැරන්ස්” සිහිවූ නිසාය. සිනමාව නරඹා මගේ බිරිඳ සමග උමං දුම්රියේ නැගී නිවසට එන අතරතුරත් මම මේ සිතුවිලි අතර සැරුවෙමි. අපේ රටේ සිනමාකරුවෙකුට අපේ ගායකයෙකු ගැන මෙවැනි චිත්‍රපටයක් හැදිය නොහැකිද? ඒ සඳහා වඩාත් සුදුසු මොන ගායකයාගේ ජීවිත කතාවද? ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, කපුගේ යන නම් මට සිහි වුවත් බොබ් මාලේගේ ජීවිත කතාවට යම් තරමකින් සම කරන්නට ක්ලැරන්ස් තරම් සුදුස්සෙක් සිටීද?

බොබ්ගේ හා ක්ලැරන්ස්ගේ සංගීත භාවිතාවන් සම කළ නොහැකියි. ‘රෙගේ’ (Reggae) සංගීතයේ ලෝක තානාපති වශයෙන් හැඳින්වුන බොබ් මාලේ, ආදරය, එකමුතුකම, සමාජ සාධාරණත්වය හා දේශපාලන සමාජ ආර්ථික කරුණු පිළිබඳව ගැයූ ගීත තරුණ පරපුරට විශාල බලපෑමක් කළේය. ‘බෆලෝ සෝල්ජ්ස්’, ‘ගෙට් අප් ස්ටෑන්ඞ් අප්, ‘ස්ලේව් ඩ්රයිවර්,’ ‘කොන්ක්රීට් ජන්ගල්’, ‘රෙවලූෂන්’ වැනි ගීත විචාරකයන්ගේ දැඩි කතාබහට ලක් වුණි. තුන්වැනි ලෝකය යැයි හැඳින්වෙන රටකින් කලඑළි බැස ලෝපතල සුපිරි තරුවක් වූ පළමු පුද්ගලයා ලෙස බොබ් ඉතිහාසයට එක් විය. ඔහුගේ ගී තැටි මිලියන 20ක් පමණ අලෙවි වී ඇත.

නමුත් ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාවල කොතරම් සමාන දේ තිබේද?

1945 ජැමෙයිකාවේ ඉපදුන බොබ් තම දුප්පත් රට ලොවටම හඳුන්වා දෙමින් රටේත් ලෝකයේත් දිදුළන තරුවක් බවට පත්විය. ‘රෙගේ’ ආරයේ ගීත ගායනයෙන් ලොවම වශී කෙළේය. කකුලේ ඇතිවූ පිළිකා අසාදනයකින් ලොවම හඬවා වයස 36 දී එනම් 1981 දී දිවියෙන් සමුගෙන ගියේය.

1943 හපුතලේ ඉපදී පසුව රත්නපුරයට ආ ක්ලැරන්ස් 1960 දශකය වනවිට ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පොප් සංගීත ආරයේ පියා වෙමින් සංගීත කණ්ඩායම් කිහිපයක්, ගීත 1000ක් පමණ, (මින් 40% ක් එළිදක්වා ගත නොහැකි වූ බව පැවසේ) චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය,  ගීත ලිවීම ආදියෙන් තරුවක් වෙමින් දියවැඩියාව රෝගය නොසලකා හැරීම ආදී කරුණු මත 1996 දී එනම්, වයස 53 දී, රටේ තරුණ පරපුර හඬවා අවසන් ගමන් ගියේය.

බොබ් සහ ක්ලැරන්ස් සිය කෙටි ජීවිත කාල වලදී  තව පරම්පරා ගණනාවකට ඉතිරි කොට ගිය දෙය විස්මිතය. දෙදෙනාගේ විශේෂම සමානතාව ගිටාරය වයමින් ගීත ගැයීමය. (ජෝති, මිල්ටන්, කපුගේ එසේ නොකළෝය.) ගිටාර වැයීමට අමතරව දෙදෙනාම ගීත ලිවීම සහ ගැයීම කළෝය. බොබ් ගංජා බීමට තදින් ඇබ්බැහිව සිටි අතර ක්ලැරන්ස් ඇබ්බැහිව සිටියේ මධු පානයටය. එහෙත් මේ දෙදෙනාම මියගියේ ඒවායින් නොවේ. ඔවුන්ගේ බිරින්දන්ගේ කෙටි නම් පවා තරමක් සමානය. ඒ “රීටා සහ ශීලා” ය.

ජීවත්ව සිටියදී ඔහුගේ වටිනාකම හඳුනා නොගැනීම ක්ලැරන්ස්ට පමණක් නොව අන් සමහර කලාකරුවන්ටද සිදුවූ පොදු ඛේදවාචකයක් හෙවත් ලංකාවේ ගතියකි.

මින් වසර කිහිපයකට පෙර අපේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා, ක්ලැරන්ස් ගැන අගනා වටිනා පොතක් පළ කළේය. එය කියවීමේ වාසනාව මටද ලැබුණි. ක්ලැරන්ස් වෙනුවෙන් තැනෙන සිනමා පටයකට තිරනාටකය ලිවීමට ඒ තරම් හොඳ පොතක්, පරාක්‍රම වැනි කෙනෙකු නැතැයි මට සිතෙයි. ඔහු ගැන ඕනෑ තරම් මතක අවදි කරන්නට ක්ලැරන්ස්ගේ ගජ මිතුරු ඇනස්ලි මාලේවන නිරෝගීව වෙසෙයි. බිරිඳ ශීලා සහ දුව සිටිති.

1950 ගණන්වල ඉපදී 60 දශකයේ තරුණයන් වූ මා වැන්නෝ වාසනාවන්තයෝ යයි මට සිතෙයි. එවිට තරුණ ක්ලැරන්ස්ටත් වඩා වයස වූ මහා ගායක පරපුරක්, අපිට රස විඳීමට ලස්සනම සුන්දරම ගීත විශාල ප්‍රමාණයක් අපිට තිළිණ කළෝය. ඔවුන්ට නැවත නැවත පින් සිදුවේවායි පතන අතර ක්ලැරන්ස් කෙරෙහි වූ නොසිඳෙන ආදරය, අපේ තරුණ ජීවිතවලට ලස්සන කාලයක් උදාකර දී අප රසවත් කිරීම ගැනය.

මේ සටහන ඇසුරෙන් අදහසක් පහළව ක්ලැරන්ස් ගැන චිත්‍රපටයක් හැදේවායි මගේ ප්‍රාර්ථනයයි. ඔව්!  ‘විතාන කුරුප්පු ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන’ ගැන හදන සිනමා පටය සුන්දරම සිනමා සිතුවමක් වනු නොඅනුමානය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link