මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

Last Updated on 5 months by admin

Photo credit: Ape Gama FB page

තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා.

මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ.

ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා.

සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ සිටම මට ඔවුන්ව පිළිකුල්ව තිබුණා.

අප එවකට පදිංචිව සිටි පානදුරේ, නල්ලුරැව, කනත්ත පාරේ. අල්ලපු ගෙදර ඩැනියල් අයියා මා සමග එජාපය ගැන බොහෝ දේ කතා කළා. පක්ෂයේ ප්‍රතිපත්ති තේරුම් ගන්න තරම් දැනුමක් ඒ වයසට නොතිබුණු නිසාත්, පක්ෂයේ පාටත් ගහ කොළ වල පාටත් එකම නිසා 52 මැතිවරණ සමයේ එජාපයේ හොඳ කියන්න මා පුරුදු වී සිටියා.

මීට කෘතඥතාවය පළ කිරීම සඳහා ඩැනියල් අයියාගේ වියදමෙන් ඔහු මට කොළ පාට සිල්ක් රෙද්දකින් කමිසයක් මසා දී, මැතිවරණ දිනයේදී නල්ලුරැව ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ගොස්, මගේ කමිසයේ සාක්කුවෙහි එජාපයේ අපේක්ෂකයා වන CWW කන්නංගර මහත්මයාගේ ඡන්ද ලකුණ වන තාරකාව එල්ලා මා කුඩා වැඩි නිසා සෙනඟට පෙනෙන්නට හැකි වන සේ මේසයක් උඩ හිඳුවා තබා තිබුණා.

SWRD බණ්ඩාරනායක මහතා එජාපයෙන් වෙන්වී 1951 සැප්තැම්බර් මස 2දා SLFP පිහිටුවීමත් සමගම මට හිතුණා ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රීලනිපය විශාල ජයග්‍රහණයක් ලබාවි කියා. එම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව පුවත්පත්වලින් දැනගත් තොරතුරු අනුව පක්ෂයේ පාටට නොව නායකයාගේ පෞරුෂත්වයටත්, ඔහුගේ ප්‍රතිපත්තිවලටත් ගරු කරන්න මා පෙළඹුණා.

1956 දී පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වී ශ්‍රීලනිපය විශාල ජයග්‍රහණයක් ලැබුවද, CIA හා ඇංග්ලිකානු පල්ලියේ කුමන්ත්‍රණයකින් 1959 සැප්තැම්බර් මස 26 වැනිදා බණ්ඩාරනායක මහතාව ඝාතනය කරනු ලැබුවා.

වයස 8 සිට මේ හැම දේශපාලන හැලහැපිල්ලක් දෙසම මා විටෙක විශාල උද්යෝගයකින් හා තවත් විටෙක දැඩි කලකිරීමකින් බලා සිටියා. දේශපාලනයේ දැවැන්තයින් වූ ආචාර්ය ඇන් ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැන්නන්ගේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා මා කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නායකයන් සමඟ ඇසුරට පැමිණුනා.

පසු කාලයක මහජන පක්ෂය පිහිටුවීමටද පුරෝගාමී වී එහි පළමු දේශපාලන මණ්ඩලයේ (Politburo) සාමාජිකයෙක් මෙන්ම කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකද වී සිටියා.

පක්ෂ අභ්‍යන්තරයේ කුළල් කා ගැනීම් නිසාත්, සිරිමා බණ්ඩාරනායකගේ පෞද්ගලික ඉල්ලීමක් නිසාත් මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස බඳවා ගනු ලැබුවා.

කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස මෙන්ම, පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙසද, අනාගත පාර්ලිමේන්තුවක ජන මාධ්‍ය ඇමති හැටියට ඡායා කැබිනට්ටුවකටද මා ඇතුළත් කර තිබුණා.

1987 දී දිගින් දිගටම එල්ලවුණු මරණ තර්ජන නිසා ජර්මනියේ සරණාගතයෙක් වී බොහෝ කටුක ජීවිතයක් ගත කිරීමට සිදුවුණා.

1989 මහ මැතිවරණයේදී ආර්. ප්‍රේමදාස රාජ්‍ය මැරබලය යොදා නීති විරෝධී අන්දමින් රටේ පාලකයා වීම නිසා, 1989දී ජනපති වීමට සිරිමා බණ්ඩාරනායකට තිබුණු අවස්ථාව මෙන්ම පක්ෂය බලාපොරොත්තු වුණු අන්දමින් එම ආණ්ඩුවේ ජන මාධ්‍ය ඇමති වීමට මා හට තිබුණු අවස්ථාවද අහිමි වුණා.

ශ්‍රී ලංකා දේශපාලනය කියන්නේ ගොහොරු මඩ වළක්.

ළමා වයසේදීත් අපට සිහිනයක්ව තිබුණු ප්‍රබල වාමාංශික රජයක් යන්න සදාකාලික සිහිනයක් බවට පත් වූයේ වාමාංශික නායකයින් බොහෝ දෙනෙක් අනුගමනය කළ අර්ධ වාමාංශික පූර්ණ ධනේෂ්වර දෙබිඩි ප්‍රතිපත්තිය නිසයි.

ශ්‍රී ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරයට අනාගතයක් නැති බව මා තීරණය කළේ 1968 වසරේදී.

1970 දී මා විශ්වවිද්‍යාල ආචාර්ය පෙරමුණේ සාමාජිකයෙකු හැටියට උතුර හා නැගෙනහිර හැර ශ්‍රී ලංකාවේ සෑම ඡන්ද කොට්ඨාසයකම පාහේ පැවති ප්‍රචාරක රැළි අමතා කථා කළා. ශ්‍රීලනිප, සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ ත්‍රිත්වය ඓතිහාසික ජයග්‍රහණයක් ලබද්දී විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු හිඟන්නන් මෙන් මැතිණිය පසුපස යමින්, අමාත්‍ය ලේකම් ධූර, සංස්ථා සභාපති ධුර, විදේශ රටවල තානාපති ධූර ආදි තනතුරු ලබා දුක් විඳින පොඩි මිනිහා ලැබූ ජයග්‍රහණය ඔවුන්ගෙන් පැහැරගත්තා.

අඟේ ඉඳන් කන කන්නා සේ, ශ්‍රීලනිපය විනාශ මුඛයට යන අන්දමට මෙම ඊනියා වාමාංශික නායකයින් කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය අකාමකා දමා ශ්‍රී ලංකාව තුළ ද්‍රව්‍යවාදී හා වර්ගවාදී සමාජයක් බිහිකිරීමයි. ඊට පල්ලියේද නොමසුරු සහයෝගය ලැබුණා.

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය නමින් කරළියට අවුත් අද රංගනයක යෙදෙන්නේ බංකොලොත් පැරණි වාමාංශය විසින් ඔවුන්ට උරුම කරන ලද ජඩ දේශපාලනය දිගටම පවත්වාගෙන යාමටයි. සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග මේ දේශපාලන ප්‍රවණතාව පිටුපස සැඟවී සිටිමින්, හැමදාමත් කළ පරිදි නැවත වතාවක් ජනතාව මුළා කර අනාථ කිරීමට පිඹුරු පත් සකස් කර අවසානයි.

1970දී සිදු වුණාක් මෙන් ඉතිහාසය පුනරුච්ඡාරණය වීමට පූර්ව කොන්දේසි සපුරාලමින් සිටින බවක් පෙනෙනවා. දූෂිත ආණ්ඩුවල අමාත්‍යාංශ ලේකම් තනතුරු දැරූ පුද්ගලයින් මෙන්ම හමුදාවල දෙවන නායක පෙළ හොබවා විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ද “අරගලයට” උර දෙන්න “හමුදා පුහුණුවක්” ලබමින් සිටිනවා.

මේ නිලධාරීන්ගේ කලින් පරම්පරාව 71දී හා 88-89දී මාක්ස්වාදීන් දඩයම් කිරීමේ මුවාවෙන් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක පණපිටින් ඇස් උගුල්ලමින්, ශරීරයේ වටිනා අවයව ගළවා ගනිමින්, ඉන්පසුව ඝාතනය කොට පුළුස්සා දැමුවේ විනෝදාංශයක් ලෙස නොව විවිධ පාර්ශ්ව ඔවුන්ට ඒ සඳහා හොඳට ගෙවූ නිසයි.

හරකා හැරෙනකොට හැරෙන්නේ පොල් පැලය දෙසට බව අප මනාව අවබෝධ කරගෙන ඉන්නවා.

ප්‍රබල හමුදා නායකයින් සහ වෘත්තිකයින් NPP සාමාජිකත්වය ලබා ගන්නේ කුසගින්නේ සිටින ජනතාවට බඩ කට පිරෙන්න කන්න දීමට යයි සිතන්න හා විශ්වාස කරන්න ඕනෑම කෙනෙකුට නිදහස තිබෙනවා. නමුත් ඒ සඳහා අයිතියක් ඉල්ලා සිටීම සදාචාරය අමු අමුවේම උල්ලංඝණය කිරීමක්. අපි ඊළඟ වසරේ පෙබරවාරි 4 වෙනිදාත් අලුත් නළු නිළියන් පිරිසක් යොදා “වල්බූරු නිදහස” වේදිකා ගත කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link