සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති

Last Updated on 5 months by admin

පසුගිය 04 වෙනදාට යෙදුණු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යාපනයේ පැවැති ජාතික දින සැමරුම අමතමින් අරුණ් සිද්ධාර්තන් කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

Photo Credit: Newscutter.lk

“අද යාපනේ පවත්වන ජාතික නිදහස් දින උත්සවයේ දී මට දකුණේ ජනතාවට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක තමයි, ‘උතුරේ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු දකුණේ ජනතාව එක්ක වැඩ කරන්න, එකට ජීවත් වෙන්න කැමතියි’ කියන පණිවිඩය.

අද මෙතන ඉන්න ජනතාව ඉපදුණේ මෙතන, යුද්දේ කාලෙත් ජීවත් වුණේ මෙතන. මේ ජනතාව අතර හිටපු කොටි සාමාජික සාමාජිකාවන් ඉන්නවා. වෙල්ලාලයෝ ඒ ජනතාවගේ මොළ හෝදලා වැරදි මාර්ගවලට යොමු කළා. අපි වහල්ලු විදිහට සලකලා අවුරුදු සිය ගාණක් තියාගෙන හිටියා. අඩු කුළේ කියලා ඉගෙන ගන්න අවස්ථාව දුන්නේ නෑ.

ඉතින් නූගත් අයගේ මොළ හෝදන්න ලේසියි. මොළ හෝදලා අපේ අතට ආයුධ දීලා, “සිංහලයා අපට ගහනවා. යාපනේ පුස්තකාලේ සිංහලයා පිච්චුවා. අපි උන්ට ගහමු.” කියලා කීවා. හැබැයි අපට එහෙම කී එකා අපි අඩු කුළේ කියලා අපි ඉගෙන ගන්න එකට විරුද්ධව වෙලා අපේ ඉස්කෝල 16ක් පුච්චලා දැම්මා.

අපේ මොළ හෝදලා අපේ අතට ආයුධ දුන්න වෙල්ලාලයෝ අපට අවුරුදු 250ක් ඉඩම් අයිතිය දුන්නේ නෑ. 1956 වෙනකල් තේසවලාමේ නීතිය හරහා අපි නිත්‍යානුකූල වහල්ලු බවට පත් කරලා තිබුණා. 56 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් කුලවාදයට එරෙහිව පනත ගේන තුරු අපට නිත්‍යානුකූලව ඉගෙන ගන්න අයිතියත් තිබුණේ නෑ. ඒ විදිහට ජනතාව නූගත් කරලා ඒ ජනතාවගේ ඔළුව හෝදලා තමයි, යුද්දෙකට තල්ලු කළේ.

අද උතුරේ නිදහස සමරන්න පැමිණි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්තයා මල් මාලය දාලා පිළිගත්තේ හිටපු කොටි කාන්තාවක්. එයාගේ දරුවෝ දෙන්නෙක් අවසන් යුද්දේදී මැරුණා. එයාගේ සැමියත් හිටපු කොටි සාමාජිකයෙක්. ඔහුට වෙඩි වැදිලා ආබාධිතයි. සරත් වීරසේකර මහතා හිටපු නාවික හමුදා නිලධාරියෙක්. දැන් යුද්දේ කළ දෙපාර්ශ්වය එකට එකතු වෙලා අතට අත දීලා සමගියෙන් සහයෝගයෙන් වැඩ කරන්න ලෑස්තියි.

නමුත් පිට රටවල ඉන්න ඩයස්පෝරාවයි, කොළඹ ඉන්න නායකයොයි දෙමළ නිජබිමක් ගැන කතා කරනවා. උතුරු නැගෙනහිර එයාලගේ නිජබිම නම් ඇයි එයාලා උතුරට ඇවිත් ජීවත් වෙන්නේ නැත්තේ. “නිජබිම ගැන වෙන තැන්වල හිටං කෑ ගහන්නේ නැතිව ඉස්සෙල්ලා වරෙල්ලා උඹලාගේ නිජබිමට.” කවදාවත් එන්නේ නෑ. එයාලා පිටරට සැප ගන්න ගමන්, හැමදාම උතුරේ දකුණේ අපි දෙගොල්ලෝ කොටවනවා.

මම ජීවත් වෙන්නේ යාපනේ නම්, මට ඡන්දේ ඉල්ලන්න සුදුසුම තැන යාපනය. මොකද මගේ අවට ජීවත් වෙන මිනිස්සු තමයි, මං ගැන හොඳට ම දන්නේ. කොළඹ පදිංචි වෙලා ඉන්න අය ඡන්දේ ඉල්ලගෙන උතුරට එන්නේ එයාලගේ ගෙදර අවට ඉන්න අය ඔවුන් හොඳ නෑ කියලා දන්න නිසයි. සුමන්දිරන් ජීවත් වෙන වැල්ලවත්තෙන් ඡන්දේ ඉල්ලුවොත් ඡන්ද සීයයක් ඔහුට ගන්න බෑ. එයාලට උතුරට ඇවිත් බොරු කරන්න ලේසියි. ජනතාව රවට්ටන් ලේසියි. මේක තමයි ඇත්ත.

මේ රටේ පිරිසක් සිවිල් සංවිධාන හදා ගෙන සාමය, සංහිඳියාව කියාගෙන අවුරුදු 30-40ක් උතුරේ වැඩ කළා. නමුත් හැදූ සාමයක් නෑ. හිමාලයාන් ප්‍රකාශය කියලා එකක් හදා ගෙන අපේ ප්‍රශ්න ගැන කතා කරන්න තව පිරිසක් යනවා නේපාලයට. අපේ ප්‍රශ්න නොදන්න පිරිසක් එහේ සුපිරි හෝටල් එකක සැප ගන්න ගමන් තමයි, අපට සාමට හදන්නේ. අවුරුදු 30ක් ආයුධ අරන් යුද්ද කළ මිනිහගේ ගෙදරට ගිහින් ප්ලේන්ටියක් බොන ගමන් එයාලට ඒ සාමය හදන්න බැරි ඇයි? එතකොට නෙමෙයි ද නියම සංහිඳියාව හැදෙන්නේ?

ඇත්තට ම සිද්ධ වෙන්නේ සුළු පිරිසක් මේ ජනතාවගේ ප්‍රශ්න විකුණං කාලා ජීවත් වෙන එක. රජය පත් කරලා තියෙන සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමට (Truth and Reconciliation Committee) මේ යුද්ධයට ඍජුව සම්බන්ධ වුණු මිනිස්සු ගන්න කියලා මම ජනාධිපතිතුමා ඇතුළු රජයට කියනවා.

මේ ප්‍රශ්නයට නියම පිළිතුරු තියෙන්නේ ඒ මිනිස්සු අතර. එහෙම නැතිව ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ඉඳලා ආවා කියන උගත්තු බුද්ධිමත්තු අතර නෙමෙයි. බුද්ධිමත්තු කියන පිරිසට මහ පොළොව එක්ක භූමියේ ජනතාව එක්ක බද්ද වෙන්න බෑ. මේ පොළොවේ පය ගහලා ජීවත් වන මිනිස්සු විදිහට අපි ලෑස්තියි, සාකච්ඡා කරන්න. අපි කැමතියි, විසංවාදයෙන් සංවාදයට එන්න.

යාපනේ ජාතික දින උළෙල සංවිධානය කරද්දී ජාතික ගීය ගායනා කරන භාෂාව ගැන අපට ප්‍රශ්නයක් ආවා. ආචාර්ය නලින් ද සිල්වා මට කතා කරලා කීවා ඔයාලා වෙනදා විදිහට ම ජාතික ගීයේ මියුසික් එක දාන්න කියලා. 1948 අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් මහත්තයාට ලියලා දුන්නේ ඔහුගේ ගුරුවරයා වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමා.

1950 නල්ලතම්බි කියලා දෙමළ කවියෙක් ලවා අපේ ජාතික ගීය දෙමළට පරිවර්තනය කළා. අපට අවුරුදු 70ක් තිස්සේ ඉගැන්නුවේ ‘නමෝ නමෝ මාතා’ කියලා නෙමෙයි, ‘නමෝ නමෝ තායේ’ කියලා. අපේ පාසල් පොත්වල දෙවන පිටුවේ තියෙන්නේ එහෙමයි. ‘තායේ’ කියන්නේ දෙමළෙන් අම්මාට. මේ රට මගේ අම්මා කියන හැඟීම මට එන්නේ මගේ භාෂාවෙන් ඒක කියන කොට. අවුරුදු 70ක් තිස්සේ මට කියලා දුන්නේ එහෙමයි ඔයාලා. මමත් කැමතියි එකම භාෂාවෙන් ජාතික ගීය තිබුණා නම්. නමුත් එහෙම වුණේ නෑ.

සමහරු කියනවා ඉන්දියාවේ මොන තරම් භාෂා තිබුණත් බෙංගාලි භාෂාවෙන් විතරයි ජාතික ගීය ගායනා කරන්නේ කියලා. ඒක ඇත්ත. ඒ රටේ නායකයෝ දුර දැකලා එකම භාෂාවෙන් සියලු දෙනාට ජාතික ගීය ඉගැන්නුවා. නමුත් අපේ දේශපාලකයෝ අපි බෙදා වෙන් කරන්න මේ වැඩේ කළා. ඒ වගේ ම භාෂා කිහිපයකින් ජාතික ගීය ගායනා කරන රටවලුත් තියෙනවා. ස්විට්සර්ලන්තයේ නිල භාෂා 04න් ම ජාතික ගීය ගායනා කරනවා.

හැබැයි එහෙමයි කියලා අපි ඒක කරන්න ඕන නෑ. අපි සාකච්ඡා කරලා අපේ පොළොවෙන් අපේ ම විසඳුමක් ලබා ගනිමු. ජාතික ගීය ද ජාතික කොඩිය ද ඒ සියල්ල අපි සාකච්ඡා කරමු. අපට ගැටුම් කෝලාහල ඇති කර නොගෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. අපි ඒක අත්දැකීමෙන් දන්නවා. ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න විසඳන්න බෑ කියලා අවුරුදු 30ක යුද්දේ කාලේ අපි දැක්කා.

අපි නිදහස් අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නවා. මම ඔබේ අදහසට එකඟ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අදහස ඔබට දැරීමට ඇති අයිතිය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ වෙනුවෙන් මම මැරෙන්න වුණත් ලැහැස්තියි. අවුරුදු 30ක් අපට ඒ අයිතිය තිබුණේ නෑ. අද ඒ අයිතිය නිදහස අපට තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

අපි අද ඔබට ලබා දෙනවා, Jaffna Discours කියන නිබන්ධනය. අපි එතන දී ෆෙඩරල්, බලය බෙදීම, බලය විමධ්‍යගත කිරීම වගේ වචන භාවිත කළේ නෑ. ඒ වචනවලටත් මිනිස්සු බයයි. අපි ඒ වෙනුවට බලය පැවරීම (Delegation Of Power) කියන වචනය ගෙනාවා. අපි ඒ ගැන ඉදිරියේ දී ගැඹුරින් සාකච්ඡා කරමු.

දේශපාලනය කියන්නේ ම මිනිස්සු ටිකක් එකතු වෙලා සාකච්ඡා කරන එක තමයි. අපට ඒකවත් හරියට කරන්න බැරි නම් අපට ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ. අපට හැමදේම පරණ විදිහට කරලා අලුත් ප්‍රතිඵලයක් කවදාවත් ගන්න බෑ. ඒ නිසා අපි අලුත් විදිහට හිතලා අලුත් විදිහට වැඩ කරමු.

මේ සමුළුව විශේෂ සංවිධානයක් නැතිව ඉතා ම ස්වභාවික විදිහට සංවිධානය වුණේ. ඒ වගේ ම තමයි, සාමය සංහිඳියාවත් ඉතා ම ස්වභාවිකව ගොඩනැඟෙනවා. කවුරුවත් ඒකට බාධා නොකර හිටියා නම් හොඳටම ඇති.

අපේ දෙමළ දේශපාලනඥයින් දකුණේ දේශපාලනඥයින්ට වඩා දරුණු විදිහට අපි වෙන් කරන්න වැඩ කරනවා. එයාලා අවුරුදු 75ක් තිස්සේ ජාතික දිනයට උතුරේ කළු කොඩි ඉස්සුවා. ජාතික කොඩිය ඉස්සූ මිනිහාට ගැහුවා, බය කළා, මැරුවා. ඒ විදිහට සමගියට එරෙහිව භීතිය සමාජගත කළා.

ඒක කවුරු හරි කඩන්න ඕන. දැන් අපි මේ කරන්නේ ඒක. දැන් මිනිස්සු එළියට ඇවිත් තමන්ගේ අදහස් බය නැතිව ප්‍රකාශ කරනවා. තමන් කැමැති දේශපානලනයක් කරනවා. මේ තත්ත්වය ඉදිරියටත් අපි වර්ධනය කරන්න ඕන. අපි කොළඹ ඇවිල්ලා සාකච්ඡා සංවාද කරන්න සූදානම්.

අතුරුදන් වූවන්ගේ ප්‍රශ්න ද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න ද මේ සියල්ල විසඳගෙන අපි ඉදිරියට යමු. ඇත්තට ම මේ වා ප්‍රශ්න නෙමෙයි, මේවා දඩමීමා කරගෙන අපිව බෙදන වැඩ තමයි, හැමදාම කළේ. අපි ඒ උගුලේ නොවැටී ඉදිරියට යමු. මෙතන ඉන්න බහුතරයක් ජාතිකවාදීන්. මමත් ජාතිකවාදියෙක්. ජාතිකවාදය සහ ජාතිවාදය අතර වෙනසක් තියෙනවා. අපි ජාතිවාදීන් නොවී ජාතිකවාදීන් වෙමු. ‍

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link