මහිලා සමිතියේ අවුරුදු උත්සවය!

Last Updated on 6 months by admin

ගමේ මහිලා සමිතිය පැවැත්වෙන දවසට ඊට සහභාගි වන එක ම පිරිමි නියෝජිතයා මහතුන්ය. මහිලාවන් මහතුවා ඊට සහභාගි කරවාගන්නේ ඌ ලවා සමිති ශාලාව සකස් කරවා ගැනීම වැනි විවිධ පක්කාලි වැඩ කරවා ගැනීම සඳහා හෙවත් කප්පම් ලබා ගැනීම සඳහාය. ඒ ගැන මෙලෝ දැනීමක්, ඉවක් නැති මහතුවා මහිලා සමිතිය දවසට ඊට සහභාගි වන්නේ මන්ත්‍රීතුමා ස්මාරකයක් විවෘත කිරීමට යනවා වගේ ආඩම්බරයෙනි. ඌ මහිලා සමිතියට දින කිහිපයකට පෙර සිට ගමේ පිරිමීන් සමඟ සියලු කතා බහ නවත්වා ඊට පේවීමක් කරයි. සුදු වස්ත්‍ර අඳියි.

ඇත්තටම මහතුන් නමැති ගොන් වස්සා, තමන් එදින ශාලා අතුපතුගෑම් ආදිය කර කාන්තාවන් හෙවත් මහිලාවන් අතින් අනේක වාරයක් දූෂණය වෙන බව, හිරිඔතොප් නැති කරගන්නා බව, කෙළෙසෙන බව නොදනියි. ගමේ කොල්ලෝ මහතුවාට පොල්කටු දෙකක් අනිවාර්යයෙන් ම එදින ලැබීමට සලස්වයි. ඌට ඒත් ලැජ්ජාවක් නැත. ඡන්ද කාලෙට ලොකු ලොක්කන්ගේ ලැජ්ජාව නැති නොවෙනවා හා සමානය. අවුරුදු උත්සවයට ලැජ්ජා නැති එකා තේරුවොත් මහතුවා දිනන බව ඡන්දේ ගත්තාට පසු මන්ත්‍රිතුමා ආගිය අතක් නැති වෙනවා සේ ස්ථිරය.

කොහොම නමුත් මෙවර මහිලා සමිතියේ දී කතා බහ වී ඇත්තේ අවුරුදු උත්සවයක් පැවැත්වීම පිළිබඳ වය. පිටරටක මහා රාජ සභාව පැවැත්වූ දිනයක මෙන් එදින මහිලා සමිතිය ඊශ්‍රායලයට අහු වූ පලස්තීනය වගේ වී තිබේ. මහතුවා සෙන්කෝලයත් අරගෙන දූවගෙන ආපු නිසා ජාමේ බේරී එක කාන්තාවක්වත් රෝහල්ගත වීමකින් තොර ව ප්‍රශ්නය සමතයකට පත් ව තිබේ.

අවුරුදු උත්සව තරග පිළිබඳ ව මහිලා සමිතියේ පක්ෂෙත් විපක්ෂෙත් සෑහෙන්න සණ්ඩු සරුවල් කරගෙන ඇත්තේ වටේ පිටේ උන්ගේත් සරුවාල ගැල වී වැටෙන ලෙසය. “ග්‍රීස් ගසේ නැගීමේ තරගය” මෙවර ඇතුළත් නොකරගත යුතු යි විපක්ෂයේ ‘වියත් පාර’ කණ්ඩායම යෝජනා කර තිබේ. “ආර්ථිකයත්” ග්‍රීස් ගහේ නැගීමක යෙදී සිටින නිසා එම ග්‍රීස් ගස් තරගය පැවැත්වුව හොත් එය එල්ලුම් ගස් යෑමක් වගේ වැඩක් කියා ඔවුන්ගේ තර්කය වී තිබේ.

අවුරුදු රතිඤ්ඤා පත්තු වීම ආරම්භ වී ඇත්තේ එතැන් සිටය. “අලියාට ඇහැ තබන තරගයට” පක්ෂයේ ම සමහරු විරුද්ධ වී තිබේ. ඒ නිසා ආස්මියක් දෙකට කැඩුවා සේ පක්ෂයත් දෙකට කැඩී තිබේ. “තොපි ඔය හදන්නේ ආයෙත් පාරක් අනිල් මහත්තයා රජා කරවන්න නේදැයි” දේවි අක්කා රෙද්ද කඩාගෙන තිබේ. “ආසන කිහිපයක් ලැබිලා අලියට පේන්ට පටන්ගත්තොත් පක්ෂෙත් පිටරටකට විකුණාවි බොල්ව්” යනුවෙන් දේවි අක්කා ශමිති ශාලාවේ උළුකැට හතක් පුපුරන තරමට කෑගසා තිබේ. ඒ සද්දෙට මහිලා සමිතියේ දී මහතුවාගේ මයිලුත් කෙළින් වී තිබේ.

උන්හිටි ගමං නැගිට්ට චම්පිකා කියා ඇත්තේ ඇට ගණන් කරන එක සදාචාරයට හරි නෑ වගේ දැනෙන ගතියක් තියෙන නිසා පැපොලේ ඇට ගණන් කරන තරගෙ වෙනුවට පොහොට්ටුවක පෙති ගණන් කරනවා වගේ අලුත් ම ගේමක් දාමු කියාය. “කොහෙද ඕයි පොහොට්ටුවේ පෙති! ඒවා එක එක ගැලවෙනවා පේන්නේ නැද්ද?” කියා වේදිකාවට ම නැග ඊට විරුද්ධ ව ප්‍රකාශ නිකුත් කර ඇත්තේ විමලාවතීය.

“කණා මුට්ටි තරගය” පැවත්වීම අනුමත කළ නොහැකි බව රතු ගෙදර අනුලා ලොකු අම්මා ප්‍රකාශ කොට තිබේ. ඊට හේතුව වශයෙන් ඇය පවසා ඇත්තේ, “ඇයි මල්ලියේ, අවුරුදු හැත්තෑ ගාණක් ම ඡන්දේ දිලා තියෙන්නේ කණා මුට්ටිය බිඳින විදිහටමනේ. එහෙව් එකේ මොන ෆයිල් එකක් අරින්ඩ ද ආයෙත් අමුතුවෙන් එහෙව් තරගයක්?” කියාය. ඒ කතාව අහපු සුජිතා අක්කා කකුලේ මාපට ඇඟිලි දෙකෙන් හිටගෙන ඊට විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබේ. (සමිතියෙන් පසු ව සුජිතා අක්කා මහතුවාගෙන් අසා තියෙන්නේ, “ඇයි මල්ලි මං ඒ වෙලාවේ ඒ අදහසට විරුද්ද වෙන්න ඇත්තේ?” කියාය. මහතුවා ඊට පිළිතුරු දී ඇත්තේ, “පුරුද්දට වෙන්න ඇති” කියාය)

විපක්ෂයේ කිහිප දෙනෙක් “බනිස් කෑමේ තරගයට” එරෙහි ව මිරිස් කුඩු ඇරං තිබුණේ, “බඩු බනිස් වෙච්ච කාලෙක මොන බනිස් කෑම් ද යකුනේ!” කියාය. බේකරි ගෙදර චන්දිමා ආච්චි ඒ කතාව කීව උන්ට පැන පැන පයින් සහ හැරමිටියෙන් ගසා තිබේ.

“කඹ අදින තරගය” ගැන නම් මොකුත් ම කියන්න එපා ය කියමින් පක්ෂෙත් විපක්ෂෙත් එකතු වෙමින් විස්වාස භංගයක් ගෙනත් තිබේ. ඒත් ඡන්දෙ වෙලාවෙදි යෝජනාව පැරදී තිබේ. “එහෙම කොහොමද වුණේ?”යි මහිලාවන් එක මිටියට ලේන්සුවලින් ගසාගෙන තිබෙන්නේ, “දිවට දිව ගාගෙන පක්ෂ ව හිටි එකෙක්වත් ඡන්දෙ දීලා නෑනේ!” යනුවෙන් තවදුරටත් උන් උන්ට ම චෝදනා කරගනිමිනි!

“කොට්ට පොර තරගය” පැවැත්විය යුත්තේ මේ කාලයේ නෙවේ ය, එය පැවැත් විය යුත්තේ මොකක් හෝ ඡන්දයක් ළං වුණා ම ය කියා චීන පටස් පත්තු කර ඇත්තේ පක්ෂයේත් නැති විපක්ෂයේත් නැති අලුතෙන් ගමට පැමිණි වනිතාවකි. ඊට කිපුණු ඩල්සි, බඹර චක්‍රයක් වගේ කැරකී ඒ වනිතාවගේ කන පළා ඇත්තේ, “අලුතින් ඇවිත් තොගේ කට වැඩියි” කියාය. සැබෑ ම මල් වෙඩි සංදර්ශනය ආරම්භ වී ඇත්තේ ඒ අහස්කූරෙන් පසුය!

කට පියාගෙන ඉන්න බැරි ම තැන පොල්කටු මහතුවා කියා ඇත්තේ, “අපි එහෙනම් ‘සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය’ තියමු” කියාය. “උඹ කාන්තාවක් ද සෙවලයා, අපේ සමිතියේ වැඩවලට ඇඟිලි ගහන්නේ? මේ දැනුත් සැඟවුණු අමුත්තා තරගය පැවැත්වෙන්නේ නැද්ද කියලා ඇස් කන් ඇරලා බලාපිය! තෝ දන්නවද ඊළඟ මහා රජා තෝරන තරගෙට කවුරු කවුරු ද ඉදිරිපත් වෙන්නේ කියලා… උන් සැඟවිලා නෙවෙයි ද ඉන්නේ?” යනුවෙන් හිරෝසිමාවට බෝම්බ දමා ඇත්තේ සීතා නංගීය. මහතුවාත් කරබාගෙන සිට නැත. සියලු කාන්තා ධෛර්යය හිතට ගත්ත මහතුවා, “එහෙනම් තොපි කියන්නේ අවුරුදු උත්සවයක් නෑ කියල ද?” අසා ඇත.

“ඩොලර් නැති ව මොන අවුරුද්දක් ද යකෝ! අවුරුද්දක් නැති ව මොන අවුරුදු උත්සව ද යකෝ!” කියා මහතුවාට සැර වී ඇත්තේ කන්‍යාවක් ද නැද්ද කියා හරියට ම කියන්න බැරි නව පරපුරේ ස්ත්‍රියකි. ඒ ප්‍රකාශයත් සමඟ මහතුවාට සසර කළකිරී තිබේ. “මේහෙම සමිතිවලට වඩා හොදයි ඔක්කොම නැකත් මහ රෑට දලා විකාරයක් කරා නම්” යැයි කියූ මහතුවා සෙන්කෝලයත් උස්සාගෙන දුවගෙන ඇවිත් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link