කඩු හරඹ සහ බලු පොර

Last Updated on 3 months by admin

ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා.

76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි.

ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා නිවැරදිව සිංහල කතා කරන අවස්ථා පාර්ලිමේන්තුවේ ඒමට තිබුණා. ඔවුන් එසේ කළේ ඔවුන්ට සිංහල පුළුවන් බව ඔප්පු කිරීමට නොව රටේ ජනතාවගෙන් බහුතරය සිංහලයින් වන නිසයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමෙරිකාවේ ඉගෙන ගත් නිසා සිංහල බසටත් වඩා හොඳට ඉංග්‍රීසි කතා කරනවා.

හරිනි අමරසූරිය නෝනත් එංගලන්තේ කේම්බ්‍ර්ජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් නිසා, ඇයත් සිංහල බසට වඩා හොඳින් ඉංග්‍රීසි බස භාවිතා කරනවා. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති නිසා මන්ත්‍රී ධූරය ලැබීමට ඡන්දයක් අවශ්‍ය නැති වුණත් චර්යාධාර්මිකව එයත් බැඳී සිටිනවා පාර්ලිමේන්තු විවාදවලදී මව් භාෂාවෙන් කතා කිරීමට.

එංගලන්ත ඉතිහාසය පුරාම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ප්‍රංශ භාෂාවෙන් හෝ ජර්මන් භාෂාවෙන් කතා කර නැහැ. ප්‍රංශ පාර්ලිමේන්තුවේ අය ඉංග්‍රීසියෙන් හෝ ජර්මන්වලින් කතා කර නැහැ. ජර්මන් පාර්ලිමේන්තු ඉතිහාසය තුළත් මන්ත්‍රීවරු යුරෝපයේ වෙනත් භාෂාවලින් කතා කර නැහැ.

තමන්ගේ මව් භාෂාවට ගරු කරන්න බැරි කිසිම පුද්ගලයෙක් රටට ගරු කරන්න ඉගෙන ගනීද යන්න සැකයට තුඩුදෙන කරුණක්.

හර්ෂ සහ හරිනි “කඩු හරඹයක්” කළේ පන්ති සතුරෙකුට විරුද්ධව නොවෙයි. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණවලදී හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස සම්මාන ලබා ගැනීමේ අභිලාෂයෙන් කරන  බලු පොර රංගනයක් ලෙසයි මෙය හඳුන්වාදිය හැක්කේ.

රට පාලනය කිරීමට ඉංග්‍රීසි අවශ්‍යමයි කියා හිතන කොටළුවන්ද පාර්ලිමේන්තුව තුළ නැතුවා නොවෙයි. යටත් විජිත පාලනයෙන් නිදහස් වුණා කියා පම්පෝරි ගැහුවත්, හර්ෂගේ සහ හරිනිගේ හැසිරීම තුළින් ඔවුන් නැවත නැවතත් ඔප්පු කර සිටියේ අපි සුද්දාට සහ සුද්දාගේ බසට දේවත්වයෙන් සලකන බවයි.

ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න මී මීගොනුන් සේ වර්ගවාදීව ඇනකොටා ගන්නේ නෑ.

ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති කාදිනල්ද වරක් පැවසුවේ සිංහලයින් සහ දෙමළ මිනිසුන් වසර 30ක් තිස්සේ මරා ගත්තා කියායි. ආගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව බෙදා වෙන් කිරීමට උඩ ගෙඩි දුන්න අය අතර කාදිනල්ද ප්‍රධාන තැනක් ගන්නවා. මෙවැනි කට කැඩිච්ච කතා කියන්න බොහෝවිට අවසර ලැබෙන්නේ පූජකයින්ට සහ දේශපාලුවන්ට වීමත් විවෘතව සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවක්.

මේ කවුරු කවුරුත් එකතු වෙලා අඹරන්නේ සිංහල බහුතරයටමයි. කම්මලේ කිණිහිරය මත වැඩියෙන්ම තැලෙන්නේ නිකම්ම නිකං යකඩ නොව ඉස්තරම්ම වානේ බව අප අමතක නොකළ යුතුයි.

මෙහි ඇති ලොකුම ඛේදවාචකය මැතිවරණවලදී කතිර ගසා මී ගොනුන් පාර්ලිමේන්තුවට එවන්නෙත් මේ ඇඹරී තැලී පොඩි වී පෑගුණු මිනිසුන් විසින්ම වීමයි.

මිනිසුන් විසින් වගා කරන දේවල් හැර වෙනත් දේ අස්වැන්න ලෙස ලැබෙන්නේ නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link