කාදිනල්තුමාගේ පීලි මාරුව

Last Updated on 3 months by admin

පාස්කු ප්‍රරහාරවලින් මාස 3කට පසුව, 2019 ජූලි මාසයේ කටුවාපිටිය සෙන්ට් සෙබස්තියන් දේවස්ථානයේ පැවති උත්සවයකදී කාදිනල්තුමා කියා සිටියා, ‘විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රරතිඵලයක් ලෙසින් බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව’. ‘සිය විදේශීය හවුල්කරුවන් හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සතුටු කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාවන් අධෛර්යමත් කර ඒවා අකර්මණ්‍ය වන තැනට ආණ්ඩුව කටයුතු කර ඇති බව’ පැවසූ කාදිනල්තුමා, බලවත්ම රටේ උපකාර ලැබූ අයිඑස්අයිඑස් සංවිධානය ඊට සම්බන්ධ බව එතුමා වක‍්‍රව කියා සිටියා. විදේශීය කුමන්ත‍්‍රණකරුවන් ‘නොමග යවන ලද තරුණයින් කීප දෙනෙකු’ බෝම්බ පිපිරවීම සඳහා පාවිච්චි කර ඇති බවයි එකල කාදිනල්තුමාගේ අදහස වුණේ.

පසු කාලයක කාදිනල්තුමා වටයක් ආපසු කැරකී, ගෝඨාභයව බලයට ගෙන ඒම සඳහා බෝම්බ පිපිරවීම් කළ බව අඟවන්නට ගත්තා.

මෙවැන්නක් සිදුවීමට කිසියම් හෝ ඉඩක් තිබිය හැකිද? ගෝඨාභයව බලයට ගෙන ඒමට විදේශයකට ඇති අවශ්‍යතාවය කුමක්ද? බෞද්ධ නායකයකු විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්ව සිට දරුණු ත‍්‍රස්තවාදයක් අතුගා දැමීමට දායක වුණු පුද්ගලයකු රාජ්‍ය නායකයා කිරීමට කිසියම් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් උදව් වනු ඇතිද? විශේෂයෙන්ම ලංකාවේ සිය අණසක පැතිරවීමට බලාපොරොත්තුවෙන් සිටින ත‍්‍රස්ත කණ්ඩායමක්? එය කිසිසේම බලාපොරොත්තු විය හැක්කක් නොවෙයි.

අනික් අතින් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන හෝ ආණ්ඩු ගෝඨාභයව බලයට ගෙන ඒමට ත‍්‍රස්ත කණ්ඩායමක් ලවා බෝම්බ පුපුරවාවිද? කොටි යුද්ධය කාලයේ බටහිර තානාපතිවරුන්ගේ මූණටම විරෝධතා එල්ල කළ පුද්ගලයකුව බලයට ගෙන ඒමට ඔවුන් මේ තරම් විශාල කුමන්ත‍්‍රණයක යෙදේවිද?

එසේම, ඉස්ලාමයේ නාමයෙන් ජිහාඞ් සටනේ යෙදෙන තරුණයින් පිරිසක්, වෙනත් ආගමිකයන්ගේ වුවමනාවකට සිය ජීවිත පූජා කරාවි යැයි සිතන්නට පුළුවන්ද? ජිහාඞ් සටන් හා ඉස්ලාමිකයන්ගේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් ගැන කිසිවක් නොදන්නා කෙනෙකුට නම් එවැනි දෙයක් හිතන්න පුළුවන්. මරාගෙන මැරෙන ප‍්‍රහාර ඉස්ලාමයට අනුමත (හලාල්) දෙයක්ද, අකැප (හරාම්) දෙයක්ද යන කාරණය ගැන විශාල සංවාදයක් ඉස්ලාමික උගතුන් අතර කලක සිට තිබෙනවා. මේ දෙපැත්තම වෙනුවෙන් කරුණු දක්වන ඉස්ලාම් උගතුන් සිටිනවා. මැදහත් මත දරන්නන්ගේ අදහස එය ඉස්ලාමයට අකැප දෙයක් බවයි. එය වෙනම කතා කළ යුතු සංකීර්ණ මාතෘකාවක්.

මේ නිසා මුස්ලිම්වරයකු බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරෙන තත්වය පත් කිරීම පහසු කාර්යයක් නෙවෙයි. එය අතිශයින්ම ආගමික කාරණයක්. ඒ තත්වයට කෙනෙකුගේ සිතුවිලි වෙනස් කිරීම පහසු නෑ. අන්‍යාගමිකයකු බලයට ගෙන ඒම සඳහා මුස්ලිම් තරුණ පිරිසක් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වුණා කියන එක පිළිගන්නේ මේ විෂයයන් ගැන කිසිම දෙයක් නොදන්නා, ලොකු බට්ටා රතිඤ්ඤයක් වත් පිපිරෙන තැනක නොසිටි කෙනෙකු පමණයි.

අපි දැන් බලමු කාදිනල්තුමා වටයක් කැරකී චෝදනාව ගෝඨාභයට එල්ල කරන්නට හේතුව කුමක්ද කියා.

කාදිනල්තුමා බෞද්ධ සංස්කෘතිය ගැන ලොකුවට කරපු කතා හදවතින්ම ඇත්තටම කළ ඒවා කියා පිළිගන්න තරම් අපි මෝඩ විය යුතු නැහැ. ඒ වගේම ගෝඨාභයට එතුමාගේ කැමැත්තක් තියෙනවා වගේ පෙන්නන්න කළ කතාත් අපි ගෙඩිය පිටින් පිළිගත යුතු නැහැ. ඉහළ පෙළේ පූජකයින්, භික්ෂූන් වගේ අය එහෙම තමයි කටයුතු කරන්නෙ. නිතරම බලය ලැබේවි කියා සැකයක් තියෙන අයට තමනුත් කැමති බවක් ඔවුන් පෙන්නනවා. උදාහරණයක් කියනවා නම්, යහපාලන රජය පත්වෙන්න කලින් කතෝලික සභාව සිය බැතිමතුන්ට වක‍්‍රාකාරයෙන් පණිවිඩයක් දුන්නා සිරිසේනව ජනාධිපති කරවන්න කියා. අවශ්‍ය නම් අපට ඒ පිළිබඳ සාක්කි ඉදිරිපත් කරන්න පුළුවන්. කාදිනල්තුමත් ඒ විදියට එතුමා ගෝඨාභයට කැමතියි වගේ පෙන්නන්න ගත්තා.

කාදිනල්තුමා ගෝඨාභයට කැමති බව අඟවන්න බලපෑ හේතුව අපට හිතාගන්න පුළුවන්.

මම කලින් ලිපියෙදි පෙන්නා දුන්නා බෝම්බ පිපිරීම් පිළිබඳව කාදිනල්තුමා කලින් දැන සිටිය බව හා සිය බැතිමතුන් මරණයෙන් බේරාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධ හදවතේ පසුතැවිල්ලක් එතුමාට ඇති බව. මෙන්න මේ හෘද සාක්කියෙන් බේරීම සඳහා සමාජය නොමග යැවීමේ සටන තමයි කාදිනල්තුමා සිය රංගනයෙන් කරගෙන යන්නෙ. එතුමා ගෝඨාභයට කැමැත්ත පෙන්නමින් ඒ කාලේ කළ රංගනයත් එහිම කොටසක්. ඒ තමයි තමන් බේරෙන විදිහේ අවසන් ප‍්‍රතිඵලයක් ගෝඨාභයගේ මාර්ගයෙන් ලබාගැනීම.

ඒ කියන්නේ, බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධයක් නැති කෙනෙකුව හරි සම්බන්ධයක් මවලා අත්අඩංගුවට අරන් ද`ඩුවම් කිරීම. එතකොට කාදිනල්තුමාට හිත රවටගන්න බැරි වුණත් රට රවටන්න පුළුවන්නෙ. ඇයි, ප‍්‍රශ්නය අවසන්. වැරදිකාරයින්ට ද`ඩුවම් ලැබිල. හරි අපූරුයි. කාදිනල්තුමා හිතන්න ඇති ගෝඨාභය යුද්ධය දිනවන්න කටයුතු කළා වගේ, එවැනි දෙයක් කරන්නත් පෙළඹේවි කියල. ඇයි ගෝඨාභයට විරුද්ධව යම් යම් මිනිමැරුම් චෝදනාත් තිබුණනෙ. ඒ නිසා එවැන්නක් කිරීම ගෝඨාභයට ඉතා පහසු වේවි කියා කාදිනල්තුමා හිතන්න ඇති.

නමුත් ගෝඨාභය එවැන්නක් කළේ නැහැ. ඒ නිසා කාදිනල්තුමා හිමිහිට වටයක් ආපසු කැරකී ගෝඨාභයට චෝදනාව එල්ල කරන්න ගත්තා. මේ වැඬේ යට එදා පටන්ම ජවිපෙත් හිටියා වෙන්න පුළුවන්. ජවිපෙටත් පක්ෂය හා ඊබ‍්‍රාහිම් බේරා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා ගෝඨාභයව බලයට ගේන්න සහරාන්ලා බෝම්බ පුපුරවාගෙන මැරුණා කියන මෝඩ තර්කය ඉදිරිපත් කරමින් සමාජය රවටන්න මේ දෙපාර්ශ්වයම උත්සාහ කරනවා.

කාදිනල්තුමා අවංක නැහැ කියන කාරණය තහවුරු කරන තවත් සාක්කි කීපයක් ටිරාන් අලස් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කළා. කාදිනල්තුමා ලියපු ලිපිවලට හිටපු ජනාධිපතිවරුන්ගෙන් උත්තර ලැබුණේ නැහැයි කියා එතුමා චෝදනා කළත්, ඇමති ධුරය භාරගත්තාට පස්සේ තමන් යැවූ ලිපියට උත්තර එවන්න කාදිනල්තුමා අවුරුද්දක් ගත කළාය කියන එක කාරණයක්.

ඒ වගේම සිය හිතමිතුරන්ට විරුද්ධව පියවර ගන්න බෑ කියා කොමිසමේ වාර්තාව කියවූ ගෝඨාභය කාදිනල්තුමාට කිව්වා නම්, ඒ බව සමාජයට කියන්න අවුරුදු 3ක් ගත කළේ කියා ඇමතිවරයා ප‍්‍රශ්න කළා. එය සාධාරණ ප‍්‍රශ්නයක්.

නමුත් ඇමතිවරයා ඉතාම භයානක දෙයක් කරලා තියෙනවා. ජනාධිපතිත් දැනුවත්ව. ඒ තමයි කොමිසමේ නිර්දේශ නොතකා සම්පූර්ණ වාර්තාව කාදිනල්තුමාට භාරදීම. කොමිසම යමක් සමාජයට දෙන්න එපා කියන්නේ අතිශයින් වැදගත් හේතු මත. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් විය යුතුයි. වාර්තාව පිටතට ගියාම එය කොතනින් නතර වෙනවා දැයි කිසිවකුට කියන්න බැහැ. දැන් එය අයිඑස්අයිඑස් එකටත් ගිහින් නම් පුදුම වෙන්න දෙයක් නෑ. කතෝලික සභාව කියන්නේ ශුද්ධ ආයතනයක් නෙවෙයි. විශේෂයෙන්ම අර, ‘පරිගණකයෙන් විවෘත කරගන්න බෑ කිව්ව’ තැටියේ තියෙන්නේ මොනවාදැයි ඇමතිවරයාගේ අවධානය යොමු වීම වටිනවා.

දැන්, කාදිනල්තුමා පාස්කු බෝම්බ සිද්ධියට විසඳුමක් ලැබෙන කල් තමන්ට දිගටම තනතුරේ ඉන්න දෙන්න කියා වතිකානුවෙන් ඉල්ලීමක් කරලා. ඇයි ඒ? කාදිනල්තුමා තනතුරේ හිටියා කියා මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්ද? බෑ. අය ආරක්ෂක අංශවල කාර්යයක්. එතුමා ආරක්ෂක අංශයේවත් බුද්ධි අංශයේවත් කෙනෙකු නෙවෙයි. එතුමාට  ඕන කල් ගන්න. සිය ජීවිතය අවසන් වන තෙක් හරි තනතුරේ හිඳිමින් චෝදනාවෙන් බේරෙන්න උත්සාහ ගන්න. වෙනත් කෙනෙකු තනතුරට පත්වීම තමන් අනතුරේ වැටෙන්නට ඉඩ ඇති කාරණයක් බව එතුමා දන්නවා. අලූත් ප‍්‍රධානියකු පත්වී කතෝලික ජනතාවට ඇත්ත පහදා දෙන්න යම් ඉඩක් නැතිවා නෙවෙයි.

දැන් කතෝලික ජනතාව කාදිනල්තුමාගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. ඇයි, ඔබතුමාලා පණ බේරගෙන අපේ මිනිස්සුන්ව මැරෙන්න ඇරලා බලා හිටියේ කියා. මිය ගිය ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ එයින් පමණයි. ඇත්ත සමාජගත කිරීමෙන් පමණයි.

කාදිනල්තුමාගේ පීලි මාරුවට තවත් හේතුවක් තියෙනව. ඒක ඉදිරියෙදි පැහැදිලි කරන්නම්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link