ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා

Last Updated on 3 weeks by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමයින් ඉදිරියට පැමිණීමේ හේතුව කුමක්ද යන්න මේ වන තුරුත් විශ්ලේෂණය නොවී තිබීම කණගාටුවට කරුණක්.

ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශයන්හි මහාචාර්ය ධූර වැස්සකට වත් සමාජ විද්‍යා අධ්‍යයන අංශයකට ගොඩ නොවුණ අපතයින් අතට පත් වීම නිසා, අනාගත සමාජ විද්‍යා සිසුන් සඳහා නිකුත් වූ ග්‍රන්ථවල කිසිම පර්යේෂණාත්මක වටිනාකමක් තිබුණේ නෑ.

පැවති ආණ්ඩුවකට හේත්තු වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යකම ලබාගත් නන්දසේන රත්නපාල උදාහරණයක්. සිංහල විෂයයෙන් සුදුසුකම් ලැබූ ඔහු තම පිළුණු වූ රසඥතාවට සරිලන පරිද්දෙන්, ගණිකාවන්, හිඟන්නන් හා බල්ලන් ගැන “ජනප්‍රිය සමාජ විද්‍යාව” නමැති ලේබලය යටතේ සිංහල පුවත්පත්වලට කුණුහරුප කතා ලිව්වා.

ප්‍රකට සිංහල පුවත්පතක ප්‍රධාන කර්තෘ ධූරය දැරූ රත්නපාලගේ ගෝලයෙක් රත්නපාලගේ කුණුහරුපවලට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා.

කුණු රසය ප්‍රිය කළ පාඨකයින්ද, ඒ සමාජ විද්‍යාව යැයි සිතා, ගණිකාවන්, හිඟන්නන් හා බල්ලන් පසුපස යන්න පුරුදු වූණා.

මෙයින් බංකොළොත් වූයේ රට පමණක් නොවෙයි. දේශයේ සදාචාරයද ගණිකාවන් හා බල්ලන් අතට පත්වීම නොවැළැක්විය හැකි වුණා.

80 දශකයේ සිදුවුණු මේ නස්පැත්තිය නිසා ලංකාවේ උසස් අධ්‍යාපනයට මෙන්ම විශේෂඥ හා වෘත්තීය අධ්‍යාපනයට සහ ඊට අදාළ පුහුණුව ලැබීමට පසුගිය දශක 5ක පමණ කාලයේදී වැඩි වශයෙන් කාන්තාවන් ඉදිරිපත් වීම පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට හෝ විශ්ලේෂණය කිරීමට කිසි කෙනෙකු පෙළඹුණේ නෑ.

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විවාහයේදී දෑවැදි ප්‍රශ්නය මතුවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබුණා.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාවේ තරුණයින්ට උසස් අධ්‍යාපනයෙන් පසු සුදුසු රැකියාවන් නොලැබීම හා ආදායම් මාර්ග ඇහිරීම නිසා දෑවැද්දක් ලබා ගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාගත නොහැකි වුණා.

මේ තුළින් අනාරක්ෂිත වූයේ තරුණයින් පමණක් නොවෙයි. තරුණියන්ගේ දෙමව්පියන්ටද තම දූවරුන්ට සුදුසු සහකරුවන් සොයා ගැනීම බලවත් ප්‍රශ්නයක් වුණා.

මේ බාධාවෙන් නිදහස් වුණු බටහිර තරුණියන් විමුක්තිය වශයෙන් සැලකුවේ, පිරිමින්ට සීමා වී තිබුණු ලිංගික නිදහස, තනිව සංචාරය කිරීමේ හා ජීවත්වීමේ නිදහසයි.

ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ කාන්තාවන් ඉදිරියට ඒමේ ප්‍රවණතාවට තත්කාලීන සමාජ ආර්ථික සාධකවලට අමතරව බොහෝ දුරට ඓතිහාසික සාධකද බලපා ඇති බව පිළිගත හැකියි.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී විහාර මහා දේවිය ඉටු කළ භූමිකාව සුළුපටු එකක් නොවෙයි.

දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙකු වූ එළාර ඉදිරියේ කාවන්තිස්ස රජතුමා අනාරක්ෂිත බවින් පෙළුණද, ඔහුගේ බිසව වූ විහාර මහා දේවිය දුටුගැමුණු කුමාරයාගේ මව ලෙසින් රට මුදා ගැනීමේ ඓතිහාසික ක්‍රියාදාමයේ වීර සෙන්පතිනියක සේ ඉටු කළ භූමිකාව අදටත් වලංගු බව සනාථ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙය ජාන පරම්පරාවට නෑකම් කියන ඓතිහාසික කතාවක්.

අවාසනාවකට මෙන් බටහිර කාර්මික රටවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අපේ ඇතැම් කාන්තාවන් ඊනියා කාන්තා විමුක්තියක් වෙනුවෙන් සටනට එළඹී දුටුගැමුණු කුමාරයාගේ කඩුවෙන් මුළුතැන් ගෙයි කොස් ගෙඩි දෙපලු කරමින් ඉන්නවා.

අපගේ කාන්තාවන් සතු ජාන ශක්තියට සමාජ දේශපාලන හා ආර්ථික බලයක් ලබාදිය හැකි දේශපාලන බලවේගයක් තවමත් ලංකාවේ බිහිවී නෑ.

ඒ වෙනුවට අද ඇත්තේ කාන්තා විමුක්තිය පිළිබඳ බටහිර ආකෘතිය අන්ධානුකරණයෙන් හිස මත තබාගෙන ඇවිදින, නායකත්වයට කෙල හලන කාන්තාවන් කීප දෙනෙක්.

අද අපට අවශ්‍ය කාඩ්බෝඩ් විහාර මහා දේවිලා නොව පිරිමින්ටත් නායකත්වය දිය හැකි, විහාර මහා දේවි පරපුරේ සැබෑ වීර කතුන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලැබීමෙන් පමණක් කාන්තා විමුක්තියක් උදාවෙන බව විශ්වාස කරන ඇතැම් කාන්තාවන් ඒ විමුක්තිය ලබාගත හැකි එකම ස්ථානය දියවන්නාවේ ගරා වැටෙමින් පවතින අම්බලම යැයි සිතනවා.

අනාගත රත්නපාලලාට, ඔවුන්ගේ “පර්යේෂණ” සඳහා බල්ලන්, ගණිකාවන් හා හිඟන්නන් ඕනෑ තරම් මෙම අම්බලමෙන් සොයා ගත හැකි වේවි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link