ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද

Last Updated on 2 weeks by admin

ජාතිය මුහුණ දෙන අභියෝගය හමුවේ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට සහ රටේ ජාතික බලවේගයට පැවරෙන ඵෙතිහාසික යුතුකම පැහැදිලි කෙරෙන ලිපියක් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇත. ඔහු එය අවසන් කරන්නේ ‘සංස්කෘති’ ස’ගරාවට 10 වසරක් පිරීම නිමිත්තෙන් 1962 පළ කළ විශේෂ කලාපයට ’අනාගතය බාරගත යුත්තේ ගැමි පරපුරයි’ මැයෙන් තමා ලියූ ලිපිය සිහිකරමිනි. විවෘත ලිපිය කියවු අපට සිතුණේ, බුද්ධිමත්, වීර්යවන්ත නායකයින් හා උපදේශකයින් වෙනුවට පොඩි හුළඟකටත් වැනෙන පඬරැල් බඳු පුද්ගලයන් ජාතික ව්‍යාපාරය මෙහෙයවීම, ඊට සිදුවූ ලොකුම හානිය බවයි.

අමරසේකර කියන ගැමි පරපුර මනස්ගාතයකි. අනුර දිසානායක හෝ හරිනි අමරසූරිය ගැමි පරපුරකට අයත් නම් සිරිමාවෝ බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂත් ගැමි පරපුරේ අයයි. මෙවැනි විකාර කතා කියන්නෝ තවත් සිටිති. මාලිමාවට ස්වදේශික චින්තනයක් සපයා එහි විජිත හේරත්, අනුර දිසානායක, ලාල් කාන්ත වැන්නන්ට ජවය දිය යුතු යැයි කියන්නන් නිදසුනකි.

ජවිපෙ, උපන්ගෙයි විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයකි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විප්ලවය අතහැර පාර්ලිමේන්තුවාදයට යට වූ නිසා එය බිඳ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයක් ඇරඹූ ඇන්. ෂන්මුගදාසන් සහෝදරයා විප්ලවවාදියෙකු නොවේ යයි කී රෝහණ විජේවීර ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පිරිසක් ජවිපෙ බිහි කිරීමට මුල් වූහ. ජවිපෙ ඇරඹුණේ චීනයට පක්ෂ ඉන්දියා විරෝධී දේශපාලන පක්ෂයක් වශයෙනි.

මැවුම්කාර දෙවියන්ගේ නියෝජිතයා වශයෙන් කලක් ලොව පිළිගත් පාප්තුමා, කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටි කාලයක් තිබුණි. පාප්තුමා කාලයක් හිට්ලර්, මුසොලිනි වැනි නායකයන්ටත් හිතවත්කම දැක්වූවේය. 1917 රුසියානු විප්ලවයෙන් පසු සෝවියට් අධිරාජ්‍යය බිහි වූ පසු ඊට එරෙහිව ගොඩනැගුණු නැටෝවට උපකාර කිරීමට එතුමාට සිදු විය. පෝලන්තය සෝවියට් සංගමයෙන් වෙන් කිරීම පාප්තුමාගේ දක්ෂකමකි. සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටුණ පසු පාප්තුමාට කොමියුනිස්ට්වාදය ප්‍රශ්නයක් නොවීය. කතෝලික සභාව මාක්ස්වාදය අවශෝෂණය කරගත්තේය. මාධ්‍යවලින් පෙන්වන ලෙසට වර්තමානයේ පාප්තුමා වැඩිපුරම කරන්නේ කතෝලික බිෂොප්වරුන්ගේ ලිංගික ප්‍රශ්න විසඳීමයි.

ලංකාවේ ඉතා ජනප්‍රිය වූ ‘ලිබරේෂන් තියලොජි’ (විමුක්ති දේවධර්මය) එක් ක්‍රමයකි. කතෝලික පූජකවරුන් පිරිසක් ලිබරේෂන් තියලොජි මගින් යේසුස් වහන්සේ විප්ලවවාදයේ ආචාර්යවරයා බවට පත් කළේය. විජේවීර කණ්ඩායම ‘පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්’ (ජනතා විමුක්ති පෙරමුණ) පිහිටුවූහ. ඒ මගින් ක්‍රියාත්මක කළ විප්ලව දෙක නිසා සිංහල බෞද්ධයින් විශාල පිරිසක් මිය ගියහ. සිරගෙවලට ගාල් කෙරුණු බොහෝ තරුණයින් සිංහල බෞද්ධ චින්තනයෙන් ඈත් වුණි. සාමණේර පරපුරු ගණනාවක් නොමඟ ගිය අතර විශාල පිරිසත් ඝාතනයට ලක්වූහ. විවාහය මඟින් කතෝලිකයන් බවට පත් කෙරුණු බෞද්ධයන්ට වඩා අති විශාල පිරිසක් ක්‍රිස්තියානි කිරීමට ජවිපෙ විප්ලව හේතු විය.

හැම මැවුම්වාදී ආගමකටම ව්‍යවස්ථාවක් තිබේ. බයිබලය ක්‍රිස්තියානි ආගමේ ව්‍යවස්ථාවයි. රෙපරමාදු ප්‍රතිසංස්කරණයෙන් පසුව රෙපරමාදු සභා සිය ගණනක් ලොව බිහි වී ඇතත් ඒ සියල්ලම, ලෝක නිර්මාණය විස්තර කෙරෙන බයිබලය නමැති ව්‍යවස්ථාව පිළිගනිති.

කාල් මාක්ස් ක්‍රිස්තු භක්තිකයෙකි. ලෝකයේ කොයි රටක වුව, කොමියුනිස්ට් පක්ෂයක් සංවිධාන කර ඇත්තේ ක්‍රිස්තියානි ආගම ප්‍රකාර ව්‍යවස්ථාවක් මුල් කරගෙනය. මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය ඒ ව්‍යවස්ථාවයි.

ජවිපෙ කොමියුනිස්ට් ව්‍යවස්ථාව අනුව බිහි කරන ලද දේශපාලන පක්ෂයකි. ඊට අනුව පංති සටනට මිස සිංහල ජාතියට හෝ බුදුදහමට විශේෂත්වයක් දැක්වීමට ජවිපෙට නොපුළුවන. අනුර කුමාර ජනාධිපති වී පිරිත් නූල් බන්දවා ගැනීම හෝ හරිනි අමරසූරිය අගමැති වී දළදා වඳින්නට යාම සිංහල බෞද්ධයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට කරන දේ මිස ජවිපෙ ව්‍යවස්ථාවට අනුකූල දේ නොවේ. ජවිපෙ මාක්ස්වාදී ව්‍යවස්ථාව ක්‍රියාවට නගන්නේ පාර්ලිමේන්තුවේ බලය ලැබුනොත් පමණි.

සිංහල ඡන්දදායකයන් අතරමං වී සිටින බව ඇත්තකි. දෙමළ ඡන්දදායකයෝ ද අතරමං වී සිටිති. මුස්ලිම් ඡන්දදායකයන් එවැනි අතරමංවීමකට ලක්ව නැත. සිංහල දෙමළ ඡන්දදායකයින් වැඩි පිරිසක් අතරමං වීමට එක් හේතුවක් නම්, පොහොට්ටුවේ දේශපාලන නායකයින් බහුතරයක් රනිල් පස්සේ යාමයි. ජනතාව ඔවුන් පාර්ලිමේන්තු යැව්වේ මහින්ද රාජපක්ෂට දැක්වූ ආදරය මුල් කරගෙනය. ඔවුන් රනිල් වික්‍රමසිංහ පස්සේ ගිය නමුදු, රනිල් හැමදාමත් ජාතිකත්වයක් නැති දේශපාලනඥයෙකි.

රනිල්ගෙන් වෙන් වූ සජිත් ප්‍රේමදාස මන්ද බුද්ධියකින් දේශපාලනය කරන්නෙකි. ඒ බව දන්නා මුස්ලිම් හා දෙමළ දේශපාලකයෝ ඔහු බලයට ගෙන ඒමට වෙහෙස දරති. සජිත්, සමගි ජන බලවේගයේ සභාපති සහ මහලේකම් තනතුරු දෙක පසුගිය දිනක මුසල්මානුවන් දෙදෙනෙකුට පිරිනැමුවේය.

නාමල්, දිලිත් වැන්නෝ වෙන් වෙන්ව සටන්කර බලයට එන්නට හිතති. ඔවුන් සමගි වන්නට සිතන බවක් පෙනෙන්නට නැත. මෙය දේශපාලන කුණාටුවකි. ඊට හසුවුන බොහෝ ඡන්දදායකයෝ තමන් ගිලෙතැයි බියෙන් පිදුරු ගහක හෝ එල්ලෙන්නට සිතති. ගුණදාස අමරසේකරගේ ලිපිය ඊට සාක්කියකි. මෙවැනි ළදරු උපක්‍රම මගින් කොමියුනිස්ට් පක්ෂයක හරය වෙනස් කිරීමට නොපුළුවන.

අපේ ඉතිහාසය පුරා ජාතික ව්‍යාපාර දක්නා ලැබේ. ඒවා ජයගත්තේ ශක්තිමත් නායකත්වයක් සහ ගැඹුරු දැනුමක් යටතේ පමණි. සිංහල ජාතික ව්‍යපාරයේ නායකයින් ආත්මාර්ථය නොව රට ජාතිය ආගම ගැන සිතන්නෝ වූහ. පතෝල වැල් නොවූ ඔවුන් නැගී සිටියේ මැහි ආධාරයෙන් නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link