ඩිජිටල් දේව පුරේ

Last Updated on 4 weeks by admin

Pic. credit: life.lk

‘කොහෙන්ද යකෝ මකුණො?’

පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි.

‘හුටා…..’

මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි දැයි කුකුසක් ඇති වූ මට ඔළුව කැහුණේ ඉබේටම. ඔළුවේ තිබුණු මොකක් හෝ අතට අහු විය.

‘මොකක්ද යකෝ ඒ? අං තට්ටුවක් වත් ඇවිල්ලද?’ යැයි සිතමින් මම හිමින් සැරේ ගලවා එය අතට ගනිමි.

‘මළ හත්තිලව්වයි… මොන කෙහෙම්මලද්ද යකෝ මේ…?’

ඔළුවේ ඔටුන්නකි. මට ඇඳගෙන සිටි සරම තිබේ දැයි බැලුනේ ඉබේටමය. මට හීන් දාඩිය දැම්මේය. සරම නැත. ඒ වෙනුවට රෙද්දකි. ‘මොන රෙද්දක්ද?’ මගේ ඇස් දෙක ඇඟපුරාම දුවන්නට තත්පර බාගයක් ගියේ නැත. මේ ඉන්නේ නම් මා නොවන බව මට සිතුණි. අත පය, බෙල්ල, කන් ආදි හැමතැනම ආබරණය. මට මතක් වූයේ ඉස්සර ටීටර්වල හිටි රජවරුන්ය.

මේ බංකුව ගෙදර තිබුණ එකක්ද නැතිනම් පිටින් ගෙනා එකක්දැයි විපරම් කරන විට එය ගල් බංකුවක් වැනි එකක් බව පෙනුණි. මගේ මීටරේ එකවරම වැඩකරන්නට ගත්තේය.

මේ පඬුපුල් අසුන බවට සැකයක් නැත. බලාපොරොත්තු නොවූ පරිදි මා ශක්‍රයා බවට පත්ව ඇත. මගේ පස්ස පැත්තේ දැවිල්ල හටගෙන ඇත්තේ පඬුපුල් අසුන උණුවීම නිසාය. කවදා හෝ මා ශක්‍ර පදවියට පත් වන බව මම දැන සිටියෙමි. කෝච්චියේ සාස්තරකාරයෙක්ද කලකට පෙර මට ඒ බව කියා තිබුණි. මට, කාර් මිල අඩුවෙලා පැට්‍රල් ලාබ වුනා වගේ ලොකු ගැම්මක් ආවේය. හොඳ හුස්මක් ගෙන පපුව පිම්බුවෙමි. එවිට බඩ ඉදිරියට නෙරා ආවේය. දෙතුන් වරක් උත්සාහ කළද පිම්බෙන්නේම බඩය. මට හිතක් පපුවක් නැතැයි ඇතැමුන් කියන්නේ නිකම්ම නොවන බව වැටහුණේ එවිටය.

ඉදිරියේදී කෙළවරක් නැතිව ඡායාරූපවලට පෙනී සිටින්නට සිදු වන නිසා, මම නළුවකු මෙන් නිකටට අත තබා පොටෝ ඉරියව්වක් පෑවෙමි. හුටා, මුහුණ පුරා රැවුලය. කලින් සිටි ශක්‍රයින්ට කවදාවත් මූණ පුරා රැවුල් තිබී නැති නිසා පොඩි අවුලක් දැයි සිතුණි. නැත. මුහුණ පුරා රැවුල තිබුණ පළවෙනි ශක්‍රයා වෙමින් මම ගිනස් වාර්තාවක් තැබූ බවට වසුරු පොතේ පොඩි සෙල්ලමක් පෙන්නන්නට මීඩියා සෙට්ටෙකට අණ කළ යුතුය.

ඒත් මේ ශක්‍ර ඇඳුම මා නරලොවට හඳුන්වා දෙන්නට යන ඩිජිටල් යුගයට ගැලපෙන්නේ නැති බැවින් අල්මාරියේ තිබුණු එක එක මෝස්තරයේ, බ්‍රෑන්ඩ් එකේ කමිස කලිසම්, සපත්තු, ටයි කෝට් මාරු කර කර බැලුවෙමි. ජාතිකත්වයට මා කොහොමටත් අකමැති නිසා ඒ ඇඳුම ඇල්ලුවේ වත් නැත. අවසානයේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ටයි කෝට් සූට්ටෙකක් ඇඳගත්තෙමි. පටි තදකරගැනීම නුවණට හුරු හෙයින් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම පටියක්ද දාගත්තෙමි.

පඬුපුල් අසුන උණුවන්නේ කාට හෝ විපතක් සිදුවී ඇති විට බව මම දැන සිටි නිසා වහාම ශක්‍ර බැල්ලම යොමා බැලුවෙමි. ඒත් මීටරේ හරියට වැඩ කරන්නේ නැත. ‘ආවතේවකරු කැඳවීමට’ යනුවෙන් සඳහන් පුවරුවක් අසල විදුලි බොත්තමක් මගේ ඇස ගැටුණි. ඕනෑ මගුලක් වේවායි සිතාගෙන එය එබූ විට ආවතේවකරු පැමිණියේය.

‘මොකක් හරි අවුලක් බං. මං ශක්‍ර බැල්ම දාන්ඩ හැදුවාට මොකුත් මීටරේට එන්නෙ නෑ.’

‘අවසර දෙවියනි, දැන් ඒක ඩිජිටල් කරලා. පඬුපුල් ආසනේ හයිකරලා තියෙන්නෙ ඩිස්ප්ලේ එක. එබිලා බැලුවා නම් පෙනේවි. අර අතන තියෙන ස්විච්චෙක එබුවාම දේව මණ්ඩලේ කැඳවන්න පුළුවන්.’ ඔහු තවත් බොත්තමක් පෙන්නුවේය. මම ඒකත් එබුවෙමි. පැත්තක තිබුණු fදාරක් ඇරගෙන දෙවිවරු කුටියට ආවෝය. බැලින්නම් ඒ එන්නේ මාත් එක්ක බෝක්කු කැට උඩ ඉඳගෙන රට දෙවනත් කළ ගොබිලන් සෙට්එක ය.

‘අප්පද බොල? යකඩෝ සේරම ටික ඉන්නවනෙ?’

‘ඇයි අපිට බෑ කියලද හිතුවෙ?’

‘අපිත් කෝම හරි දේවපුරේ ආවා.’

‘නෑ නෑ. වරෙල්ලකො. වරෙල්ලකො. මේ දැන් ටිකකට කලින් පඬුපුල් අසුන උණුවෙලා මගෙ පස්ස පැත්ත දන්ඩ ගත්තා. ඒ කියන්නෙ නරලෝකෙ කාට හරි ප්‍රශ්නයක්.

‘ඉතිං බැල්ම දාලා බලල දෙමුකෝ ගේම. අපි මේ ඇවිල්ලා ඉන්නෙ ඒකටනෙ’

‘නෑ යකෝ, බැල්ම දාන්න බැලුවට මට මොකවත්ම පේන්නෙ නෑ. සේරම ඩිජිටල් කරල. දැන් නර ප්‍රශ්න වැටෙන්නෙ පඬුපුල් ආසනේ තියෙන ඩිජිටල් ඩිස්ප්ලේ එකේලු.’

‘හරි හරි අපි කිව්වනෙ පාලනේ හම්බවුනොත් සුටුස් ගාලා නරලෝකෙ ඩිජිටල් කරනවා කියල. බලපල්ලකො, කිව්වා වගේ වැඩේ කෙරිලා තියෙන හැටි ඔටෝම.’

‘කයිවාරු නවත්තලා එබිලා බලමු කාටද, මොකක්ද ප්‍රශ්නෙ කියල.’

‘හරි විසඳමු සුටුස් ගාලා.’

ඩිජිටල් පුවරුවට එබුන මට හීන් දාඩිය දැම්මේය.

පොල් දෙනු. හාල් දෙනු. ඒවයේ මිල අඩු කරනු. ගොවියන්ගේ වීවලට සාධාරණ පාලන මිලක් දෙනු. බිත්තර මිල අඩු කරනු. විදුලි බිල දැනෙන්නම අඩු කරනු. ඉන්ධන මිලත් අඩු කරනු. ලක්ෂ 14ට ජපන් කාර් දෙනු. ගෑස් ඕනෑ. පාස්පෝට් ඕනෑ. බෙහෙත් ඕනෑ. විදුලිය නොකපනු… ලැයිස්තුව දිග නමුත් ඇස් දෙක නිලංකාර වී අනික් හරිය නොපෙනී ගියේය.

‘මේ මේ සේරම අපි විසඳන්න ඕනැද?’

‘ඕවා මකලා දාන්ඩ බැයිද?

‘පිස්සුද යකෝ?’

‘ඉතිං යකෝ මේ අපි ඒ දවස්වල බෝක්කු කැට උඩ ඉඳන් කෑගහපුවානෙ. කොහොමද මේවා නොකර ඉන්නෙ.’

‘මළ කෙලියයි.’

විවිධ අදහස් පළ වනු ඇසේ.

‘ඇත්තටම මේවා මකලා දාන්න බැරිද’? මම ආවතේවකාරයාගෙන් ඇසුවෙමි.

‘බෑ ශක්‍ර දෙවියනි.’

‘ඇයි බැරි? අපේ රෙද්දක් ගලවලා ඕක වැහෙන්ඩ දාමු.’ කවුදෝ කියනු ඇසුණි.

‘රෙද්දෙන් ඕක වහලා හෙළුවෙන් ඉන්ඩ?’

‘මේවා නොකෙරුවොත් කොහොමත් රෙදි ගැලවෙනව.’

‘මේ ඕවා වැහෙන්න උඩින් තින්ත ගාමු.’

‘අන්න අයිඩියා…. එල එල එල…’

‘බෑ දෙවියනි. ඒවා සිස්ටම් එකේ තියෙන්නෙ. මකන්ඩ බෑ.’

‘එහෙනං සිස්ටම් චේන්ජ් කරමු.’

‘සිස්ටම් චේන්ජ්? ඒ මොකක්ද ඒ? අපි එහෙම එකක් අහලාවත් නෑනෙ. උඹට කියන්ඩ බං, අපි නිකං අර කලින් හිටපු දෙවිවරුන්ටයි ශක්‍රයාටත් බැණලා පොඩි ආතල් එකක් ගන්ඩයි හැදුවේ. මේ මරාලෙ අපේ ඔළුවට කඩාවැටෙයි කියලා අපි හීනෙන්වත් හිතුවෙ නෑ. උඹම කල්පනා කරලා බලාපංකො මේවා කරන්ඩ පුළුවන් දේවල්ද කියල. අනික එකක් දෙකක්ද? ඕං මතක් වෙද්දිත් නිකං චූ යන්ඩ වාගෙ බං.’

‘ඔව් ඔව් ඇත්තමයි අපි හිතුවෙත් නෑ. මචං මේ නැද්ද මොකක්වත් ක්‍රමයක් මේක විසඳගන්ඩ. ඕං මටත් නිකං චූ යන්ඩ වාගෙ..’

‘මචං, අපි හිමින් සැරේ මාරුවෙලා පවුල් පිටින් ඕස්ට්‍රේලියා යමුද?’

‘මේ අපි ඉස්සර කට කැඩෙනකල් බෝක්කු කැට උඩට වෙලා කෑගැහුවේ ආපු ගමන් දාලා යන්ඩ නෙමෙයි. රටකජු ටිකක් වත් කකා නිදහසේ සාකච්ඡා කරලා හොයමු මේ ප්‍රශ්නවලට විසඳුම්. ගනිල්ලාකො පළවෙනි එක.’ මම පෙරමුණ ගත්තෙමි.

‘පොල් නෑ.’

‘ඉතිං එලොව පොල් කන්ඩ කියමුකො. අපි දැනටමත් ටික ටික මොලාව එලොව කරලනෙ තියෙන්නෙ.’ එලොව මෙලොව නැති එකෙක් කීය.

‘අනං මනං දොඩවන්ඩ එපා. උත්තර හොයපල්ල.’ මම සැර දැම්මෙමි. ‘ඒයි පොල්කිරි මල්ලි, උඹ පොල් ත්‍රිකෝණ රවුමේ එකානෙ. කියපං මේක විසඳන්ඩ ක්‍රමයක්.’

විනාඩි දෙකක පමණ නිහඬතාවකි.

‘හරි අයිඩියා එකක් ආවා.’ බ්‍රේක් කෑලි ගලවා ක්ලීන් කරපු වීල් ශාන්තයා උගුර පෑදුවේය.

‘මොකද්ද?’

‘මතකද ඉස්සර හිටපු දෙයියෙක් රිළවුන්ව නරලෝකෙ වෙන පැත්තකට යවන්ඩ හැදුව. රිළවු වැඩියි කියල. ඒ වැඩේ කෙරුණෙ නෑනෙ. අපිත් බකට් එක ඇද්දනෙ..’

‘ඔව්.’

‘අපි කියමු ඕකට හේතුව රිළව් මිලියන ගණනක් වැඩිවෙලා, උන් පොල් ඇට්ටි කෑම කියල.’

‘අප්පට සිරි ඇත්ත නේන්නම්. ඇට්ටි හැලෙනවා මේ ටෝක්ස්වලට’

‘ඉතිං ඇත්තටම ඒක නෙමෙයිනෙ හේතුව. අනික හේතුව කියලා වැඩක් නෑනෙ විසඳුමක්නෙ ඕන.’

‘මේ උඹ කටවහගෙන හිටහං. හරි ඒක හරි. තීන්දුයි. ගනිල්ලා ඊළඟ ප්‍රශ්නෙ.’

‘හාල් නැත.’

‘රිළව්.’ වීල් ශාන්ත තිරසර හඬින් කීවේය.

‘ඒ කොහොමද යකෝ ඒ? ඕක නං පිළිගන්නෙ නෑ කවුරුවත්’ ඇට්ටර සුනිල් මැද්දට පැන්නේය.

‘පොල් ඇට්ටි කාලා කාලා ඒවා ඉවර නිසා දැන් රිළවු ගොයම් කන්ඩ පටන් අරන් කිව්වාම හරි.’

‘හරි ස්ථිරයි. ලියාගනිල්ලා….’ ඊළඟ ප්‍රශ්නෙට යං.’

එවිටම විදුලිය නැතිව ගියේය. මොහොතකින් ඊතල වර්ෂාවක් සබාව මැදට වැටුණි. අපි ඔළුව හැරුණු අත දුවගොස් පුළුවන් තැන්වල හැංගුණෙමු.

‘කෝ මේ සවියයි සානියයි?’

‘හැටපස් අවුරුද්දක් සටන් කරලා පිහිටුවා ගත්ත විප්ලවීය දේව සබාව විනාශ කරන කුමන්ත්‍රණය පරදවමු.’ කවුදෝ කියනවා ඇසුණි.

‘ඔව්, මිය යන තෙක් සටන් කරමු. සතුරා පරදවමු. දෙපයින් හිටගෙන ජීවත් වෙනවාට වඩා දණින් වැටී මිය යෑම සැපක් යකෝ….’ මේසයක් යටට රිංගාගෙන සිටි තනමල්විල මල් රත්නේ චන්ඩි පාට් එකක් දැම්මේය.

‘උඹ ඒක පටලවලානෙ කිව්වෙ බං…’

‘කලබල වෙන්ඩ එපා දෙවිවරුනි..’ ආවතේවකාරයා දුවගෙන ආවේය. ‘සියලු ලෝකවල විදුලිය විසංධි වෙලා. එහෙම වෙලාවකට දේව මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම් කරලා තිබුණු දුනු ඊතල පණිඩිඩ සේවයෙන් එවපු පණිවිඩ ටිකක් ඒ ආවෙ. ප්‍රහාරයක් නෙවෙයි.’

‘අප්පා…. ඇති යාන්තං. එහෙනං මරු. ටික වෙලාවක් කරන්ට් එක නොතිබුන හින්දා දැන් අර පඬුපුල් ආසනේ තිබ්ච්චත් ඩිලීට්වෙලා ඇති ඔටෝම නේද? කවුදෝ හිනාවෙමින් කීවේය.

අපි දුවගොස් අසුනට එබී පුවරුව බැලුවෙමු. තිබුණු ප්‍රශ්න ගොඩට අලුත් පේළියක් එක් වී තිබුණි.

‘හැම තැනම විදුලිය විසංධි වීමට හේතුව කුමක්ද?’

‘මළා… ඒකට බැටරි බැකප් එකක් තියෙනවා වගේ’

‘මේ, කරන් කුමාර, උඹ විදුලි ඉංජිනේරු උපාධියක් තියෙන එකානෙ. උඹ කියාපං මේකට හේතුවක් විදියට ඉදිරිපත් කරන්ඩ පුළුවන් එකක් ගැන.’

‘මට ඇති උපාධියක් නෑ. මං එහෙම කොහෙවත් කියලත් නෑ.’

‘එහෙනං උඹ මේ මටම දවසක් පෙන්නුවෙ සහතිකේ?’ මම ශක්‍ර තගය දමමින් මැද්දට පැන්නෙමි.

‘ආ… ඒකද? ඒක මට දුන්නෙ පිංවලයාට සහතිකේ දුන්න එකාමයි. පොඩි ගාණකට ගත්තෙ.’

‘උඹලෑ තාත්තා කරන්ට් බාස් කෙනෙක් හින්දා උඹත් ඕවා ටිකක් හරි දන්නවා ඇතිනෙ. කියපංකො බලන්න මේකෙන් ගැලවෙන්ඩ ක්‍රමයක්.’

‘ම් ම් ම්….. මෙහෙමයි, මේක නරලෝකෙ රිළවුන්ට විරුද්ධව ලොකු හඬක් තියෙනා වෙලාවක් නිසා, අපි කියමු රිළවෙක් විදුලි ට්‍රාන්ස්පෝමරයක් උඩට වැටිලා ඇති වුන සිද්ධියකින් සියලු ලෝකවලටම විදුලිය විසන්ධි වෙලා කියල.’

‘ඉතිං බං ඕක නරයො විශ්වාස කරයිද?’

‘අපි බෝක්කු කැට උඩ ඉඳන් ගහපු කෙබරවලට ඕකුන් අහුවෙච්ච අහුවිල්ලෙ හැටියට, අපි මොනවා කිව්වත් ඕකුන් විශ්වාස කරන බව ෂුවර්..’

‘අම්මපා ඇත්ත නේන්නං… එහෙනං තීන්දුයි. ලියාගනිල්ල.’

‘ශක්‍ර දේවයිනි, ශක්‍ර දේවයිනී….’ මරහඬ තලමින් ආවතේවකාරයා දුවගෙන ආවේය.

‘මොකද බොල? දේව මණ්ඩලේ රහස් සාකච්ඡාවලට කඩාපනින්ඩ හොඳ නැති බව දන්නෙ නැද්ද? ඡන්දෙ දුන්නෙ අපරාදේය කියලා හිතුන එකෙක් වගේ දණගහලා සමාව ගනිං.’

‘අවසර පස්වාන් දහසකට බුදුවන්ඩ, කවුරු හරි දෙවි කෙනෙක් ලයිව් කැමරා සිස්ටම් එක ඕන් කරලා. අන්න අරහෙ සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක, නර ලෝකවල ලයිව් යනව දේව මණ්ඩලේ සාකච්ඡාව. මේ දැන් මේ මේ මේ ටිකත් යනව ඇති….’

‘මළ මගුලයි… කවුද යකෝ ඒක ඕන් කළේ? කෝ කොහෙද ඒ සුවිච්චෙක තියෙන්නෙ? දැන් මේවා ආලෝක වර්ෂ ගණනාවක වේගෙන් ගිහින් ඇති සක්වල වටේටම’ මම ගිගිරුවෙමි.

‘අර අර තියෙන්නෙ රතු පාට බලුප් එක ළඟ.’

‘ආ… මේකද? අපේ පක්ෂෙ පාට රතුනෙ. ඉතිං සුවිච්චෙක දැම්මා බලුප්පකෙ පත්තු කරලා පක්ෂෙ බබළවන්ඩ හිතාගෙන.’

කීප දෙනෙක් හිනා වෙන්නට වූහ. මට නම් මලම පැන්නේය. දැන් ඉතිං සකල සක්වලටම අපේ කැරැට්ටුව ගොස් හමාරය. හොඳවායින් දෙකක් කියන්නට වචන එකතු කරන විට අපේ එවුන් ටික මා දෙසට හැරී මූණෙන් මූණ බලමින් විචි විචි ගාමින් හිනා වෙන්නට වූහ.

‘මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මොකද බොලව් තොපි හිනාවෙන්නෙ?’

‘උඹ කෝට් එකේ බොත්තම් ටික වැරදියටනෙ බං දාගෙන ඉන්නෙ. හරියට චාලි චැප්ලින් වගේ’ කී උන් ටික මහ හඬින් හිනා වෙන්නට පටන් ගත්හ.

මගේ සරුවාංගයම සට සට ගා වෙව්ලන්නට පටන් ගත්තේය. කොටින්ම වැලි හලන සැල්අඩියක් මෙන් මාව පැද්දෙන්නට විය.

‘මොකද අනේ මේ මහ දවාලෙ බූරු පුටුව කඩන්ඩ හදන්නෙ? බුදි මත නම් කාමරේට ගිහින් බුදියගන්ඩ එපායැ. දැන් ඉතිං මූණ හෝදගෙන මඤ්ඤොක්ක කෑල්ලක් කාලා කඩේ හාල් පෝළිමට ගිහින් ලොකු එකාව ගෙදර එවන්ඩ. ඌටත් මඤ්ඤොක්ක කෑල්ලක් වත් කන්ඩ දෙන්ඩ එපායැ.’

අපේ මායියා කුස්සියේ දොරෙන් එබී මිහිරි හඬින් අයවැය පොරොන්දු වීණාව වැයුවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link