Last Updated on 2 hours by admin
ඩේවිඩ් ඇන්තනි

‘සීජේපී’ හෙවත් කැරපොතු ජුන්ටාව, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට විරුද්ධව අරගලය නමින් හයිබි්රඩ් යුද්ධයක් ඇරඹූ බව ඇතැමෙක් කියති. මෙය කෙරෙන්නේ ඩිජිටල් තාක්ෂණය ආධාරයෙනි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන අභිජිත් දිප්කේ සටන මෙහෙයවන්නා වශයෙන් ඉදිරියට පැමිණි අතර ඔහු රටේ කිසිම ජාතික ව්‍යාපාරයකට සම්බන්ධ වූවෙකු නොවේ. රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි වැනි සම්ප්‍රදායික දේශපාලන නායකයින්, සිනමා නළු නිළියන්, ප්‍රසිද්ධ ක්‍රීඩකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් විශාල පිරිසක් මෙවැනි දේශපාලන ආධුනිකයෙකු මෙහෙයවන මහා සටනකට සහභාගිවීම සඳහා දිල්ලියේ ජන්තා මන්තර් යුද්ධ පිටියට පැමිණීම අස්වාභාවික සිදුවීමකි.
මහාභාරතයේ සඳහන් කුරු ක්ෂෙත්ර සංග්‍රාමය සිහිගන්වමින් සටන ඇරඹූ කැරපොතු කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ධූරයෙන් ඉවත් විය යුතුය යන්නයි. කල් යන විට ඇතැමුන් මෝදිට මරණය කියා කෑ ගැසූ බව පොලිස් වාර්තාවල සඳහන් වේ. අරුන්දතී රෝයි වැනි ජාතිකත්වය නොසලකන උගත්තු, අරගලකරුවන් සාධාරණීකරණය කරමින් ලිපි ලිවීමට පෝලිමේ ආහ. සිද්ධිය වාර්තා කිරීමට ලෝකයේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් විශාල පිරිසක් ඉන්දියාවට පැමිණ සිටියහ. ඕස්ටේරලියාවේ ඒබීසී නාළිකාවේ බටහිර ආසියානු වාර්තාකාරිය අරගල භූමියේම රැඳී සිටි බව වාර්තා වේ.
ජන්තා මන්තර් වෙත සටන්කරුවන් කැඳවීම, ඔවුන් ධෛර්යවත් කිරීම සහ ඔවුන්ගේ බලය ප්‍රකාශ වන අන්දමේ නොයෙක් බොරු ප්රවෘත්ති ලෝකය පුරා ප්‍රචාරය වීම ඉතා සංවිධානාත්මකව සිදු වූයේය. මේ අතර විදේශ රටවල් ගණනාවකින් අරගලකරුවන්ගේ ප්රයෝජණය සඳහා ඉන්දියාවේ ගිණුම්වලට මුදල් බැරවී තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ, රැකියා විරහිත දිළිඳු තරුණ තරුණියන්, වීථි බසින මහා සෙනගට සිත් සේ කෑමට බීමට කෑම මේස පිළියෙළ කරන බවයි.
මේ යුද්ධය විශ්ලේෂණය කරන්නන් එහි සැඟවුනු නියමුවන් වශයෙන්, චීනය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය, තුර්කිය, යුක්රේනය ආදී රටවල් ගණනාවක බුද්ධි අංශවලට ඇඟිල්ල දිගු කරති. ගත වූ කාලයේ ඉන්දියාව වටා රටවල මීට සමාන අරගල සිදුවී ඇත. 2022 වසරේ පකිස්ථානයේ සිදුවූ අරගලයෙන් ඉම්රාන් ඛාන් සිරකරුවකු කෙරුණි. බංගාලි දේශයේ අගමැති සෛක් හසිනා පණ බේරාගත්තේ ඉන්දියාවට පැන ගැනීමෙනි. 2025 වසරේ නේපාලයේද එවැන්නක් සිදු විය. 2022 දී ශ්‍රී ලංකාවේ අරගලකරුවන්ගෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරයාගේ ජීවිතය බේරුනේ යාන්තමිනි.
ඉන්දියාව අති විශාල රටකි. ලංකාවේ නැතිනම් නේපාලයේ පරිදි එහි අරගලයක් ජයග්‍රණය දක්වා මෙහෙයවීම පහසු නැත. අරගලයට සහභාගිවූවන් පාලනය අරාජික කිරීමට නොයෙක් අපරාධ කර ඇත. මංකොල්ලකෑම්, දේපොළ විනාශ කිරීම් ඒ අතර ප්‍රධානය. එසේ නම් ඉන්දියාව ලෝක බලවතෙකු වී සිටින නමුදු, එහි කාර්යය ධනවත් රටවලට වුවමනා දක්ෂ විද්‍යාඥයින්, තාක්ෂණික ශිල්පීන් හා ඉංජිනේරුවන් වැනි උගතුන් සම්පාදනය කිරීම පමණක්ද? ඒ අදහස දරන්නන් චීනය උදාහරණයට පෙන්වති. චීනයේ අධ්‍යාපන ක්‍රමයෙන් චීනයට හැර වෙනත් කිසිම රටකට සේවය කරන චීන ජාතිකයන් බිහිවන්නේ නැත.
ඩිජිටල් යුද්ධයට මුල, බීජේපීය රාජ්‍ය පාලනයේදී ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. හින්දූන් හා බෞද්ධයන් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්වලට හැරවීම වැළැක්වීමට ඔවුහු නීති හඳුන්වා දුන්හ. එය අනාගත ඉන්දියාව ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ රටක් වීම වැළැක්වීමකි. ඒ සඳහා ලෝකයේ රට රටවල ක්‍රිස්තියානි හා ඉස්ලාම් සංවිධානවලින් රටට මුදල් ගලා ඒම, මෝදි පාලනයෙන් වළක්වන ලදී. හින්දුන්ට අහිමි වෙමින් පැවති බටහිර බෙංගාලය යළි ඔවුන්ට ලබාදීමට මෝදිට හැකි විය.
අරගලකරුවන්ට ජවය සැපයූ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ඉන්දියානු අධ්‍යාපන ක්රමයේ දුර්වලකම පැහැදිලි කරයි. මෝදි රජය එහි වරද පිළිගෙන ඇත. අතීත ඉන්දියාවේ පැවතියේ ඉන්දියානු අධ්‍යාපන ක්රමයකි. වර්තමාන ක්‍රමය හදන්නේ එය නැසීමෙනි.
මේ ලිපිය ලියන අතර ‘දළදා සිරිත විකෘති කළ වමේ කඳුළු කලාව’ මැයෙන් සාරථි රත්නායක Sarathi Ratnayake විසින් මුහුණු පොතට ඉදිරිපත් කරන ලද ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු විය. එය ලංකාවේ කුල ක්‍රමය පිළිබඳ සංවාදයට ඉඩ සලසන්නකි. සිංහල ග්‍රාමිණී ක්‍රමය වෙනුවට කුල ක්‍රමය ඇති වූයේ අනුරාධපුර රාජධානි සමයේ ඇති වූ විදේශ ආක්‍රමණ සමගිනි. ඉන්දියාවේ බුදුසසුන හින්දු බ්‍රාහ්මණයන්ට හසු වීමත් ඒ කාලයේ සිදුවූවකි.
අරගලය අවස්ථාවේ මට කතා කළ ඉන්දියානු මිතුරෙක්, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය විසින් ක්ෂත්රීයයන් විනාශ කිරීම ඉන්දියාවේ පරිහානියට ප්‍රධාන හේතුව යයි කීවේය. ක්ෂත්රිය සමාජයක් පැවතුණේ නම් මෙවැනි කැරපොතු ව්‍යාපාර ඉන්දියාවේ ඇති නොවේ යන්න ඔහුට සීමා වූ අදහසක් නොවේ. ක්ෂත්රියන් යනු රට රැකගත් ගාමක බලයයි. මෙවැන්නක් ලංකාවේද තිබුණි. ලංකාවේ කුල ක්‍රමය ගැන කතා කරන විට ග්රාමිණීවරුන්ගේ නායකත්වයෙන් හැදුණු ගම්සභා ක්‍රමය ගැනත් සෙවිය යුතුය. වර්තමාන මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් කරන්නේ, උගතුන් පිරිසක් යොදවා නැවත ජාතික හැඟීම් ඇති නොවන ආකාරයේ කැරපොතු සමාජයක් බිහි කිරීමට පදනම දැමීමයි.
