ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය

Last Updated on 4 weeks by admin

සෑම් සෙනෙවිරත්න

Pic credit: Christians for social action FB page

මාලිමාව සමුපකාර ඡන්දවලින් දිගට හරහට පරදී. පවුලේ තියා ගමේ හදිසි කටයුත්තකට හෝ නායකත්වය දෙන්නට අයෙකු නැති වීමෙන් මාලිමාවට වැඩ කළ ගමේ සහෝදර සහෝදයෝ මාරාවේශ වී හැසිරෙති. මෙතෙක් ඇනුම්පදවලට ලක්ව නොසිටි ඔවුහු දැන් හැම තැනකදීම ඇනුම්පදවලට ලක් වෙති. ‘රට වෙනුවෙන් කඩේ යමු’ යනාදි වශයෙන් පෝස්ටර් ගැසූ නාගරික පිරිස් ආගිය අතක් නැත. මුහුණු පොතේ මාලිමාව වෙනුවෙන් බැහැගෙන වැඩ කළ උගතුන් දැන් දැන් පැත්ත ගහනු පෙනේ. පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් යැයි විශ්වාස කරන කණ්ඩායමක නායකයා වන ජනාධිපතිවරයා, පළාත් පාලන මැතිවරණයට පෙර දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට යෝජනා කරයි.

මේ සියල්ලෙන් කියැවෙන්නේ, රජය වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවයි. එසේ තිබියදී, එක්තරා ආයතනයකින්, රජයේ ජනතා ප්‍රසාදය 62% දක්වා ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණ වාර්තාවක් මාධ්‍යවලට නිකුත් වීම සිහිබුද්ධිය ඇති මිනිසුන් හිතන්නට පොළඹවන සිද්ධියකි.

මේ සමීක්ෂණ වාර්තාව නිකුත් කර ඇත්තේ ‘වෙරිටේ රීසර්ච්’ නම් ආයතනයක් මගිනි. ‘වෙරිටේ රීසර්ච්’ ආයතනය 2010 දී, නිෂාන් ද මෙල් විසින් ආරම්භ කරන ලද්දකි. නිෂාන් ද මෙල්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධරයෙකි. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ ඔහු රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. ඒ සියල්ලට වඩා වැදගත් කාරණය, වන්නේ ඔහු චිකාගෝහි ‘ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන්’ සංවිධානයේ සමීපතම ක්‍රියාකාරිකයෙකු වීමයි. මෙය ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ, පාමර් සෙමනේරියට අනුබද්ධ සංවිධානයකි. ඔහු තම ලින්ක්එඩින් LinkedIn ගිණුමේ මේ සම්බන්ධතාව පිළිබඳ සඳහනක් නොකිරීමද කුකුසට කරුණකි.

2024 ජුනි 11 වැනිදා ‘ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන්’ සංවිධානයෙන් වොෂින්ටන් (ඩීසී)හිදී නිෂාන්ගේ දේශනයක් පැවැත්විණි. දේශනයේ මාතෘකාව ‘අපගේ දේශපාලනය යහපත් කරන ඇදහිල්ල’ (‘ද ෆේත් දැට් මේක්ස් අවර් පොලිටික්ස් බෙටර්’). මේ පිළිබඳව ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන් සංවිධානය සිය වෙබ් අඩවියේ පළ කළ දැන්වීමෙහි සඳහන් වන්නේ, ‘ජාතික (හා ජාත්‍යන්තර) මට්ටමින් ආණ්ඩුවක් ‘යහබල ගැන්වීම’ (Healthier) ට ක්‍රිස්තියානි ඇදහිල්ලට ඇති හැකියාව සජීවීව දැකබලා ගැනීම සඳහා දේශනයට සහභාගි වන ලෙස ආරාධනා කරන බවයි. (මෙය එක්තරා ආකාරයකින් යාච්ඤාවෙන් ලෙඩ සුව කිරීමට සමාන ක්‍රියාවකි.)

“Join the Center for Christian Civics and Christians for Social Action for a live look at how the Christian faith can equip us to make government healthier at the national (and international!) level.”

තම ක්‍රිස්තියානි ඇදහිල්ලෙන් හැඩගැසුණු, එහි තදින් එල්බ ගත් නිෂාන් ද මෙල් (ශ්‍රී ලංකාවේ) රජයත්, ණය දෙන්නන් හා බැඳුම්කර හිමියනුත් සමග ක්‍රියාකරමින් රාජ්‍ය ණය සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අයකු බවද එම නිවේදනයේ දේශකයා පිළිබඳ හැඳින්වීමෙහි සඳහන් වේ.

“Shaped and convicted by his Christian faith, Nishan de Mel has implemented a first-of-its-kind approach to government debt. Working with lenders, bondholders and the Sri Lankan government, Nishan and his team created a solution that incentivizes both the government and the lenders to fight corruption and increase government transparency.”

‘ක්‍රිස්ටිනයන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන්’ සංවිධානය, ලෝක දේශපාලනය ක්‍රිස්තියානිකරණය කිරීමේ නිරත සංවිධානයක් බව ඔවුන් තමන් පිළිබඳව කර ඇති හැඳින්වීම්වලින් පැහැදිලි වේ. එය විවිධ රටවලින් සංක්‍රමණිත පරපුරුවලට අයත් කිතුණු උගතුන්ගෙන් සමන්විත සංවිධානයකි. නිදසුනක් දෙකක් දක්වන්නේ නම්, එහි විධායක අධ්‍යක්ෂ ජපන් ඇමරිකානු ජාතික නිකී ටොයාමා සෙටෝය. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී කොරියානු ඇමරිකානු ජාතික කැතී කැංග්ය. ඔවුන් උක්ත දේශනය සංවිධාන කරන්නේද පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කරමිනි.

මෙම සංවිධානයේ මෙහෙයවීමෙන් 2024 ජුලි මාසයේ නිෂාන් තවත් දේශනයක් පවත්වයි. ඒ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පාලනය හා දූෂණය පිළිබඳවයි. එය ඉකුත් ශ්‍රී ලංකා ජනාධිපතිවරණයත් ඉලක්ක කර පවත්වන ලද්දක් බව පැහැදිලිය.

org අගට ඇති වෙබ් අඩවි පාවිච්චි කරනුයේ ලාබ නොලබන ස්වේච්ඡා සංවිධාන විසිනි. ස්වකීය සේවාවන් සඳහා ආධාර එකතු කිරීම මෙවැනි ආයතනවල කාර්යයකි. ඒ සඳහා ඔවුන්, ‘ආධාර’ එකතු කිරීමේ දැන්වීම් පළ කරති. ‘ඩොනේට් අස්’, ‘සපෝර්ට් අස්’ වැනි වෙබ් යොමු ඇතුළත් කර ඇත්තේ මේ සඳහාය.

‘වෙරිටේ රීසර්ච්’ ආයතනය veriteresearch.org නමින් වෙබ් අඩවියක් පවත්වා ගෙන යන අතර ‘ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන්’ සංවිධානයද org වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එයින් පැහැදිලි වන්නේ, ඔවුන් මුදල් එකතු කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවයි. මේ ආකාරයෙන්, ව්‍යාපාරයකින් ලබන ලාභයට වැඩි මුදලක් හම්බ කරන ‘ස්වේච්ඡා සංවිධාන ව්‍යාපාරිකයෝ’ ලෝකයේ සිටිති.

2024 දෙසැම්බරයේ ‘ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ෂන්’ සංවිධානයට, කතෝලික ආගම ප්‍රචාරය සඳහා ඩොලර් මිලියන 4කට අධික මුදලක්, ‘ලිලි එන්ඩෝමන්ට් ඉන්කෝපරේෂන්’ ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත. මේ මුදල් කාට කෙසේ බෙදී යන්නේ දැයි සෙවීම පහසු නැත.

‘වෙරිටේ රීසර්ච්’ ආයතනයට එසේ මුදල් ලැබී තිබේද යන්න නිශ්චිතව කීමට තවම නොහැකි නමුත්, මෙවැනි ආයතන නඩත්තු කෙරෙන්නේ කෙසේද, ඔවුන්ට විදේශ ආධාර ලැබේද, එසේ නම් ඒ කාගෙන්ද? කුමන අරමුණකින්ද ආදිය පිළිබඳව දැනගැනීමේ අයිතිය ජනතාවට තිබේ.

නිෂාන් ද මෙල්, කතෝලික ආගම පැතිරවීමට වෙහෙසෙන, රාජ්‍ය පාලනය සඳහා කිතුණු ආගම යොදාගැනීමෙන් වඩාත් යහපත් පාලනයක් ගෙන ගිය හැකි බව විශ්වාස කරන අයකු බව ඔහු පිළිබඳ විස්තරවලින් පැහැදිලි වේ. ඔහු ලෝක දේශපාලනය ක්‍රිස්තියානිකරණය කිරීමට වෙහෙසෙන ආයතන සමග සමීප සම්බන්ධතා පවත්වයි. එම නිසා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කතෝලික ආගමට නතු කරගැනීමේ අපේක්ෂාවක් ඔහු තුළ තිබීම ස්වාභාවිකය. එහෙත්, ඒ සඳහා තවමත් පසුබිමක් රට තුළ නැත. බුදු දහම ආරක්ෂා කිරීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටින නිසා එය වඩාත් දුෂ්කර කාර්යයකි.

කාදිනල්තුමාට ද මේ අරමුණ තිබේ. එතුමා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය පොළඹවන්නේ ඊට පදනම සකස් කරගැනීමටය. නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රට දෙකඩ කිරීමට අවශ්‍ය 13 සංශෝධනය බලාත්මක කිරීම හා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවටත් එය ආරක්ෂා කරන බවටත් ඇති වගන්ති ඉවත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ අනාගත අරමුණ වෙනුවෙනි.

නිෂාන් ද මෙල්, මේ රජය සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු බව ඔහු පිළිබඳ ‘ක්‍රිස්ටියන්ස් ෆෝ සෝෂල් ඇක්ටිවිටි’ සංවිධානයේ හැඳින්වීමෙන් පැහැදිලිය. එවැනි පුද්ගලයකු ප්‍රධානත්වය දරන ආයතනයකින්, ආණ්ඩුව පිළිබඳ ජනමත සමීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම විෂමාචාර ක්‍රියාවකි. එවැනි වාර්තාවක් විශ්වසනීය නොවේ. සදාචාරසම්පන්නද නොවේ.

මෙවැනි සමීක්ෂණ වාර්තා මගින් කොලේ වසා ගසා රටක ජනතාව ගොනාට අන්දවන ආකාරය ගැන අන්තර්ජාල විද්වත් සාකච්ඡා මණ්ඩපවල අදහස් පළ කෙරෙන අවස්ථා එමටය. මේ ඒ පිළිබඳ විස්තර කිරීමට අවස්තාවක් නොවේ. කෙටියෙන් පවසන්නේ නම් තමන්ට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබාගැනීම සඳහා භාෂා භාවිතාව, ප්‍රශ්න සැකසෙන ආකාරය, තොරතුරු එකතු කිරීමේ හා ප්‍රචාරය කිරීමේ ක්‍රමවේද ආදිය ඇතුළත් උපක්‍රම ගණනාවක් මේ සඳහා පාවිච්චි කරනු ලැබේ.

නිෂාන් ද මෙල් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ හුදු ආර්ථිකය දියුණු කිරීමට හෝ දූෂණ නතර කිරීමට හෝ යැයි කෙනෙකු සිතන්නේ නම් එය බරපතල වැරදීමකටත් වඩා තකතීරුකමකි. මොහු අන්තර් ජාතික ක්‍රිස්තියානි සංවිධාන සමග කටයුතු කරන, ක්‍රිස්තියානි ආගම දේශපාලනයට බද්ධ කිරීමට වෙහෙසෙන පුද්ගලයෙකි. මොහු ආණ්ඩුව සමග කටයුතු කරන්නේ සිය ආගමික අදහස් ඉවත දමා යැයි සිතීම මුළාවකි.

මාලිමා ආණ්ඩුව බලයට පත්වන්නේ, බෙදුම්වාදීන්ගේ හා ආගමික අන්තවාදීන්ගේ අවශ්‍යතාවක් අනුවය. මේ දෙපාර්ශ්වයටම මාලිමා ආණ්ඩුවේ සහාය අවශ්‍යය. ඒ රට දෙකඩ කිරීමට හා බුදු සසුන දුර්වල කිරීමටය. එම නිසා මාලිමා ආණ්ඩුවේ දුර්වලකම් වසාගෙන එය ඉදිරියට ගෙන යෑම සඳහා හැකි හැම සහයෝගයක්ම දීමට ඔවුන් සූදානම්ය.

මේ අවස්ථාවේ ආණ්ඩුව හමුවේ ඇති ලොකුම අභියෝගය ඉදිරි මැතිවරණ ජයගැනීමයි. එය ඉතා සැකසහිත ඉලක්කයකි. එම නිසා, ජනතාව රැවටීමේ ප්‍රයෝග ගණනාවක් මේ අවස්ථාවේ ක්‍රියාත්මකය. පසුගියදා ඉදිරිපත් වූ අයවැය පවා ඒ අතරින් එකකි. දළදා ප්‍රදර්ශනය තනිකරම සිංහල බෞද්ධයන් රැවටීමේ ප්‍රයෝගයකි.

ආණ්ඩුවට 62%ක ජනවරමක් ඇතැයි සමීක්ෂණ වාර්තාවක් හිටි හැටියේ එළියට ඒමද ඒ සඳහා යොදන ලද උප්පරවැට්ටයකි. ආණ්ඩුවට තිබුණු ජනප්‍රසාදය මේ වන විට බරපතල ලෙස අඩුවී ඇති බව සමාජයේ ජීවත් වන කාටත් තේරෙන කාරණයකි. එහෙත්, එකවරම සියලු ජනමාධ්‍යවලින් ආණ්ඩුවට 62%ක ජන ප්‍රසාදයක් ඇතැයි ප්‍රචාරය වන විට ජනතාවගේ සිත් තුළ වෙනසක් ඇති වීමේ යම් සම්භාවිතාවක් තිබේ. ‘මම ආණ්ඩුවට අකමැති වුනාට කැමති මිනිස්සු වැඩියි වගේනෙ’ යැයි සිතා යම් පිරිසක් මුළා විය හැකිය. එම නිසා ජනතාව මේ බොරු සමීක්ෂණ වාර්තා විශ්වාස කිරීමෙන් වැළකිය යුතුය. බුදු සසුන විනාශ කිරීමටත් රට දෙකඩ කිරීමටත් තමන් සිතනවාට වඩා විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක බව ජනතාව අවබෝධ කර ගත යුතුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top