ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම්

Last Updated on 3 months by admin

2024 මාර්තු 18 ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පළ කළ අදහස් කීපයක් මෙසේය:

පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. පහුගිය කාලෙදී අපේ තේ නිෂ්පාදනය සියයට 50 කින් කඩාවැටිලා තියෙන්නෙ. ඒකට හේතුව පොහොර නැතිකම. ඒ නිසා අපේ විදේශ විනිමය ආදායම් සියයට 50 කින් අඩු වෙනවා. ඒ නිසා නිසි පරිදි පොහොර ලබා දිය යුතුයි. ඒවට යම් සහනයක් ආණ්ඩුව දෙන කොට විදේශ විනිමය ඉබේම එනවා. නිෂ්පාදන පැත්තෙන් හිතුවොත් ලෝකයේ අපටම අනන්‍ය වෙච්ච වෙළෙඳපොළවල් තියෙනවා. කුරුඳු තැඹිලි වගේ දේවල් අපටම අනන්‍ය වූ දේවල්. ඒ නිසා ඒවා ආශ්‍රිත වෙළෙදපොළ විධිමත් විදියට අපේ ආණ්ඩුවක් යටතේ හදා ගන්නවා. මැදපෙරදිග රටවල රැකියාවලට යන අයගෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. දැනුම හා හැකියාව මත විදේශ රැකියාවලට වැඩි වශයෙන් යවන්නෙ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕන. මෘදුකාංග තාක්ෂණයෙන් වසරකට ඩොලර් බිලියන 5 කට වැඩි ආදායමක් ඉපැයිය හැකි වෙළෙඳපොළක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගැන දැනුම තියෙන පිරිස පිළිවෙළකට ලෝකෙට ඉදිරිපත් කළහම ඇති. මෙවැනි ක්‍රම ගොඩක් අපි අධ්‍යයනය කරලා තියෙනවා.”

තේ නිෂ්පාදනය 50%කින් කඩා වැටීම නිසා විදේශ විනිමය ආදායම් 50%කින් අඩුවෙනවා යැයි හඳුන්නෙත්ති කියයි. මෙය විහිළුවකි. තේ කර්මාන්තය 50%කින් කඩාවැටුණු බවට සාක්කි නැත. 2017 සිට 2023 දක්වා නිෂ්පාදිත තේ මෙටි‍්‍රක් ටොන් ප‍්‍රමාණය මෙසේය:
2017: 288,984
2018: 282,363
2019: 292,657
2020: 265,569
2021: 286,016
2022: 250,191
2023: 241,912. (https://teasrilanka.org/statistics)

මේ අනුව තේ නිෂ්පාදනය කඩාවැටීම පිළිබඳ හඳුන්නෙත්තිගේ දත්ත වැරදිය. තේ ආදායම 50%කින් කඩාවැටීම නිසා විදේශ විනිමය ආදායම් 50%කින් අඩුවන බව කීමද සාවද්‍යය. තේවලින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රතිශතය මුළු විදේශ විනිමය ආදායමෙන් 11%කි. දල දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් තේ අපනයනයෙන් ලැබේ. මේ වන විට තේ නිෂ්පාදනය ක‍්‍රමයෙන් සුළු වශයෙන් වැඩිවෙමින් පවතී. නමුත් රටේ විදේශ ආදායම 50%කින් වැඩි කිරීමට තරම් තේ නිෂ්පාදනය වැඩිකිරීම නම් සිහිනයක්ම පමණි. 2024 -2028 අතර ආදායම වසරකට 4.36% කින් පමණ වැඩි කරගැනීමට අපේකෂිත බව ‘ස්ටැටිස්ටා’ වෙබ් අඩවිය පවසයි.

statista.com වෙබ් අඩවියේ දත්තවලට අනුව 2012 සිට 2022 වන තෙක් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන අංශවල සිදුව ඇත්තේ සුළු වෙනසක් පමණි. (වගුව බලන්න) ඒ අනුව මේ අංශයන්හි විශාල වැඩිවීමක් සිදුකිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එය දීර්ඝ කාලීන සැලසුම් යටතේ ඉතා සැලකිල්ලෙන් කළ යුතු කාර්යයකි.

https://www.statista.com/statistics/728539/share-of-economic-sectors-in-the-gdp-in-sri-lanka/#statisticContainer

තැඹිලි ව්දේශයනට යවන්නට ජවිපෙ ආණ්ඩුවක් යටතේ අලූතින් වැඩසටහන් සම්පාදනය කළ යුතු නැත. ඇසුරුම් කළ තැඹිලි (හෙළ කොකෝ) සහ තවත් පළතුරු පානයන් විදේශයනට යවන ව්‍යාපාරිකයෙක් ලංකාවේ සිටී. ඒ පානදුරේ හරේන්ද්‍ර මහකුමාරය. ඔහු පවසන පරිදි ටින් කළ තැඹිලි සඳහා ලොව හොඳ ඉල්ලූමක් ඇතත්, ඒ ඉල්ලූමට සරිලන පරිදි නිෂ්පාදනය කිරීමට තරම් තැඹිලි සොයාගැනීමට නොහැකිය. https://www.ft.lk/Business/Hela-Coco-inventor-A-success-story-of-200-failed-attempts/34-713470 https://www.facebook.com/Helacocoenergy/videos/hela-coco-king-coconut-water-is-the-original-bottled-king-coconut-water-availabl/161709046102307/

කුරුඳු ගැන කියන්නට ඇත්තේද එයයි. ලෝකයේ පිරිසිදු කුරුඳුවලින් 90% ශ‍්‍රී ලංකාවෙන් සැපයෙන බව හඳුන්නෙත්ති නොදන්නවාට ලෝකය දනී. https://www.businessinsider.com/sri-lanka-produces-90-percent-worlds-true-ceylon-cinnamon-2024-2

මැද පෙරදිගින් සැලකිය යුතු ආදායමක් ලැබෙන බව ඇත්තකි. එහෙත් ‘ගැහැණු එක මිටියට’ බඳින්නට සුදානම් වන ජවිපෙ මැදපෙරදිග යන කාන්තාවන් එයින් මුදවාගැනීමට වැඩපිළිවෙළක් ගැන අවධානය යොමු කළේ නම් ඊට වඩා වැදගත්ය. ඒ ආර්ථිකයට එහා යන සමාජ සංස්කෘතික කරැණු ගණනාවක් ඊට සම්බන්ධ බැවිනි. දැනුම හා හැකියාවන් මත විදේශ රැකියාවලට යැවීම ගැන අපි හිතන්න ඕනැ යයි හඳුන්නෙත්ති කියයි. ජවිපෙ වැනි වයසක දේශපාලන පක්ෂයක් මැතිවරණයක් කටේ තියාගෙන ඒ ගැන තවමත් හිතා නැත්නම් ඉතිරි හරිය කරන හැටි හිතාගන්නට අපට පුළුවන.

හඳුන්නෙත්ති, මෘදුකාංග තාක්ෂණයෙන් වසරකට ඩොලර් බිලියන 5ක් ඉපයිය හැකි වෙළඳපොලක් නිර්මාණය කළ හැකි යැයි කීම හාස්‍ය්‍යට කාරණයකි. ඊට පළමු හේතුව එය වත්මන් ආණ්ඩුවේ විදේශ විනිමය ඉපැයීමේ මූලෝපායක් වශයෙන් ඉදිරිපත් කර ඇති කරුණක් විනා හඳුන්නෙත්තිලාගේ ඉලක්කයක් නොවේ. http://www.trade.gov වෙබ් අඩවියට 2022.12.13 දින ඇතුළත් කර ඇති ශ‍්‍රී ලංකාවේ විදුලිසන්දේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය පිළිබඳ හඳුන්වාදීමේ ලිපියේ සඳහන් පරිදි, 2021 දී, ශ‍්‍රී ලංකාව, විදුලිසන්දේශ, පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවා මඟින් ඇ.ඩො. බිලියන 1ක් උපයා තිබේ. 2025 වන විට බිලියන 5ක් ඉපැයීම ලංකාවේ ජාතික අපනයන මූලෝපායයන් අතර වේ. https://www.trade.gov/country-commercial-guides/sri-lanka-telecommunications-and-information-technology

අනෙක් අතින් ආණ්ඩුව හා ආණ්ඩුවෙන් සොරකම්කර හඳුන්නෙත්ති පවසන මේ ඉලක්කය ඉතා අසීරු එකකි. ඊට හේතුව නිසි මෘදුකාංග දැනුමින් යුතු මානව සම්පතේ හිඟයයි. ලංකාවේ විශ්වවිද්‍යාලවලින් සහතික ලබන මෘදුකාංග උගතුන්ගෙන් බහුතරයක් දෙනා විදේශ ගතවෙති. ඒ නිසා රටේ පරිගණක ආයතන මානව සම්පත් හිඟයකට මුහුණපා සිටී. පොල්පිතිවලින් ගොනුන් කපන්නා සේ, කෙටි කලක් තුළ මෘදුකාංග උගතුන් බිහි කිරීම අසීරු කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය පදනම් අතින් අප රට දුර්වල බැවිනි. මේ බව තහවුරු කරගැනීමට අප, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විදයාලය University of Colombo School Of Computing (UCSC) මගින් පිහිටුවන ලද ‘තීක්ෂණ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ’ https://www.theekshana.lk/#!/up ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන ඒකකයේ හිටපු ප‍්‍රධානී, හර්ෂ විජේවර්ධනගෙන් ඒ පිළිබඳව විමසුවෙමු.

‘‘ඇත්තටම අපේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉතාම දක්ෂයි. නමුත් සංඛ්‍යාවෙන් අඩුයි. අපේ විශ්වවිද්‍යාලවලින් බිහිකරන පිරිසෙන් බාගයක් විතර විදේශගත වෙනව. ඒ නිසා අපේ කටයුතුවලට අවශ්‍ය පිරිස සොයාගන්න එකත් ප‍්‍රශ්නයක්. මමත් මුලින් හිතුවා අපට වැඩිවැඩියෙන් මෘදුකාංග ඉංජිනේරුවන් බිහිකරන්න හැකි වෙයි කියල. නමුත් ඒක කරන්න බැහැ. අපේ පදනම දුර්වලයි.’’

ජවිපෙ අධ්‍යයනය කර ඇති වෙනත් ක‍්‍රම මොනවාදැයි සාකච්ඡාවේ දී කිය යුතුව තිබුණි. නොකියන්නට හේතුව එවැනි කිසිවක් නැති නිසා යැයි අපට සැක හිතෙන්නේ, ජවිපෙ අලූතින් සැලසුම් කළ කිසිවක් එහිදී ඉදිරිපත් කර නැති බැවිනි. අවාසනාවට ලංකාදීප සාකච්ඡාකරුටද මේ ගැන අවබෝධයක් නැත. හරස් ප‍්‍රශ්න කීපයක් ඇසුවේ නම් පළ කරන්නට ලිපියක් නැති වනු නියතය. අනුන් විවේචනය කරනු විනා, රට හදන සැලසුමක් ජවිපෙට නැති බවට මෙය හොඳ සාක්කියකි.

මෙවැනි සිල්ලර බොරුවලින් ජනතාව මුළා කළ හැකි යැයි ජවිපෙ සිතන්නේ නම් අනුවණකමකි. හුරේ දමමින් ජවිපෙ කටවලින් එළියට පනින ඕනෑම දෙයක් දේවභාෂිත මෙන් පිළිගන්නා රැලේ යන්නන් හැර සිහිබුද්ධයක් ඇති ජනතාව නම් මෙවැනි බොරුවලින් මුළා කළ නොහැකි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link