කුමන්ත්රණ මැද කතානායක භූමිකාව

Last Updated on 4 months by admin

මහින්ද යාපා අබේවර්ධන 1983 පාර්ලිමේන්තුවට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාතර, හක්මන ආසනය නියෝජනය කරමින්. ඔහු 1987 ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ලබා දුන් එවක ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙකා මාතර, කඹුරුපිටිය ආසනය නියෝජනය කළ චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත වන මහින්ද යාපා දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු, මහ ඇමැතිවරයෙකු ලෙස ද අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකි, ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ අතර වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කරනවා.

පසුගිය අරගල සමයේ ගෝඨාභය රාජපක්ෂ පළවා හැර රට අරාජික දෙස් විදෙස් බලවේග කතානායක මහින්ද යාපාට ව්‍යවස්ථාව උල්ලංඝනය කොට හෝ රටේ වැඩ බලන ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස බලපෑම් කළ බව අද වන විට ප්‍රසිද්ධ කාරණයක්. එය පසුගියදා මහින්ද යාපා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඊට පෙර විමල් වීරවංශ සිය “නවය: සැඟවුණු කතාව කෘතිය” මගින් මෙම සැලැස්ම තහවුරු කරනවා. එහි සඳහන් ආකාරයට ඇමරිකාව වගේ ම ඉන්දියාවත් රට අතහැර පළා යමින් සිටි ගෝඨාභයට තමන් ඉල්ලා අස්වීමට පෙර රනිල් අගමැති ධූරයෙන් ඉවත් කරන ලෙස බලපෑම් කරනවා. එවක ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් ඒ සඳහා ලිපි දෙකක් සකසා ගෝඨාභයට යැව්වත් ඔහු අත්සන් කළේ තමන් ඉල්ලා අස්වන ලිපියට විතරයි.

මීට සමගාමීව ඇමරිකානු තානාපතිවරිය කතානායකවරයා හමු වී ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස බලපෑම් කරන අතර මහින්ද යාපා පවසන්නේ ව්‍යවස්ථාව ජනාධිපති නැත්නම් අගමැති ජනාධිපති ධූරයේ වැඩ කළ යුතු බවයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කොට හෝ මේ අවස්ථාවේ ජනාධිපති ධූරයේ කටයුතු භාර ගන්නා ලෙස තානාපතිනිය කළ ඉල්ලීම මහින්ද යාපා ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාව ප්‍රකාශ කොට තිබුණේ කතානායකවරයා ජනාධිපති ධූරය භාර ගන්නේ නම් ආණ්ඩුවක් තැනීමට සූදානම් බවයි. කතෝලික පල්ලිය ද කතානායකවරයාගෙන් එම ඉල්ලීම කරනවා.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ මරණ වරෙන්තුව අතේ තබා ගෙන වුව ද විදෙස් බලපෑම්වලට යටත්ව රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකිරීම සහ මහින්ද යාපා බලලෝභී තක්කඩියෙකු ලෙස නොව රටේ ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා ස්ථානෝචිතව කටයුතු කළ නිසා ඒ කුමන්ත්‍රණය පරාජය වෙනවා.

අපේ රට තවත් යුක්‍රේනයක් නොවී ඉරාකයක් ලිබියාවක් නොවී ආරක්ෂා වන්නේ එදා ගෝඨා වගේ ම මහින්ද යාපා කටයුතු කළ ආකාරය නිසායි. විශේෂයෙන් මේ අවස්ථාවේ මහින්ද යාපා කටයුතු කළේ නියම දේශප්‍රේමීයෙකු ලෙස බව සඳහන් කරන්නේ ඔහුට කරන ගෞරවයක් විදිහට. රට අරාජික කළ අරගලය ආපසු හැරවීමෙහිලා ඔහුගේ දැවැන්ත දායකත්වය අපි සැමදා සිහිපත් කළ යුතුයි.

එයින් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව යොදා ගෙන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීම වළක්වා තමන් කැමති රූකඩයක් ඒ සඳහා පත්කොට රට නැවත අරාජික කරන සැලසුමක් දියත් වෙනවා. මේ කුමන්ත්‍රණය පිටුපස සුපුරුදු ලෙස තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන වගේ ම කතෝලික පල්ලියත් හිටියා.

ව්‍යවස්ථාදායක සභා ඡන්ද ප්‍රතිඵලය සැලසුම් සහගත ලෙස විකෘති කොට එමගින් අර්බුදයක් ගොඩනඟා පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම වළකන උත්සාහයත් මහින්ද යාපා එක පෑන් පහරින් පරාජය කළා.

ඒ අනුව පසුගිය සමයේ මේ රට අරාජික වෙන්න අවස්ථාව නොදී එහි ආරක්ෂාව සහ පැවැත්ම උදෙසා මහින්ද යාපා මෑත කාලයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ නායකයෙක් බව කිව යුතුයි.

එය මෑත ඉතිහාසයේ දෙවෙනි වෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කිරීමට විතරයි.

මහින්ද යාපා මේ රටේ ආරක්ෂාව උදෙසා රට අරාජික කරන දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා සිදුකළ කාර්යභාරයට මේ රට ණය ගැතියි. ඔහුට ඒ සඳහා නිසි ගෞරවය අනාගතයේ හෝ ලැබිය යුතුයි. ඇඟේ මයිල් කෙළින් කරන දේශප්‍රේමී නොකිව්වට මහින්ද යාපා ක්‍රියාවෙන් ම තමන් දේශප්‍රේමියෙකු බව තහවුරු කොට තිබෙනවා.

එක ළඟ රට අරාජික කරන දෙස් විදෙස් කුමන්ත්‍රණ දෙකක් තීරණාත්මක ලෙස පරාජය කිරීමට මහින්ද යාපා සිදුකළ කාර්යභාරය නිසා ඒ කුමන්ත්‍රණකාරයින් ඔහුට විරුද්ධව පලිගැනීමේ චේතනාවෙන් කටයුතු කරනවා. පසුගියදා ඔහු කතානායක පුටුවෙන් නෙරපීමට ගෙන ආ විශ්වාසභංගය පිටුපස ඉන්නෙත් මේ බලවේග තමයි.

කනගාටුවෙන් වුණත් කියන්න ඕන ‘නවය: සැඟවුණු කතාව’ ලිව්ව විමල් වීරවංශලත් අන්තිමට වීරයා කවුද ද්‍රේහියා කවුද කියලා හොයා ගන්න බැරිව ඒ උගුලට ම බිලි වුණා. දේශප්‍රේමීත්වය තියෙන්නේ ඕන කටේ නෙවෙයි, ක්‍රියාවේ. අර්බුදයක් වෙලාවට තීන්දු ගන්න ඕන හදවතින් නෙමෙයි, බුද්ධියෙන්.

1815 වගේ මූණේ වැරැද්දට නාහේ කපා ගන්න එකත් දේශප්‍රේමීත්වය නෙමෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link