Last Updated on 6 months by admin
18 වෙනි සියවසේ එංගලන්තයේ කර්මාන්තශාලා පිහිටි නගර කිහිපයක සංවිධානාත්මක කම්කරු සමිති ඇති විය. මේවා ගැන දැනුම ලබාගත් එහි ඉගෙනීම ලැබූ ලාංකික තරුණයින් කණ්ඩායමක් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය සහ කම්කරු වෘත්තිය සමිති ආරම්භ කළහ. ගුරුවරයාද කම්කරුවෙකැයි ඒ සමහරෙකුට සිතුණි. ගුරු වෘත්තීය සමිති ආරම්භ කිරීමට මූලික හේතුව ඔවුන්ගේ ඒ සිතුවිල්ලයි.
ගුරු වෘත්තීය සමිති නිසා ගුරුවරුන්ට විශාල සේවයක් සිදු වුණි. ඒ හා සමානව ගුරුවරයාගේ සමාජීය වටිනාකම හෑල්ලූ වූයේය. ගුරුවරුන් අභිභවා යන ටියුෂන් ගුරවරුන් බිහිවීමට එක හේතුවක් වූයේ ගුරුවරයාගේ වටිනාකම පිරිහීමයි. ඇතැම් ප‍්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන් ආණ්ඩුවේ විභාගයට පෙර ඊට ලැබෙන ප‍්‍රශ්න පත‍්‍රය ඉගැන්වූ නිසා පාසල් සිසුන්ට විභාගයෙන් ඉහළින් සමත් වීමට නම් ටියුෂන් පංතිවලට යා යුතුම විය.
වර්තමානයේ ගුරු වෘත්තීය සමිති නායකයින් මහා බලගතු චරිත ඇත්තෝ වෙති. ඇතැම් මාධ්‍යකරුවන් ඔවුන් පස්සෙන් යන්නේ මැස්සන් ලෙසිනි. ගුරු වෘත්තීය සමිති නායකයින්ට, බැටළුවන් මෙන් ගුරුවරුන් දැක්කීමට පුළුවන. බැටළුවාට අඩුම තරමින් නාස් ලණුවක් වත් අවශ්‍ය නැත. ගුරු භික්ෂුන් වහන්සේලා පවා වෘත්තීය නායකයින්ගේ නියමයන් පිළිපදිමින් රැලේ යන්නේ කලාතුරකින් නොවේ. මෙම ක‍්‍රියාවට ආකර්ශණය වූ වැඩබලන විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදී ඉගැන්වීමේ යෙදෙන හැමෝම වෘත්තිය සමිති පිහිටුවාගෙන සිටිති.
‘ගුරු පරපුරේ වීරයෝ’ ගුරු වෘත්තීය සමිති බිහිවීමට පෙර ගුරු සේවයේ යෙදුන ගුරුවරුන් පිළිබඳ කතා සංග‍්‍රහයක කොටසකි. මීට අඩ සියවසක පමණ පෙර මුද්‍රණය වූ එයට එස්. එච්. සරත් චිත‍්‍ර ශිල්පියා කවර චිත‍්‍රය නිර්මාණය කර දුන්නේ මුදලට නොවේ. මේ එම පොතෙන් උපුටාගත් කතාවකි.
කුරක්කන් කිරි
එදා ඉස්කෝලෙට පාඩම් මහත්තය එන දවස. ළමයි ඔක්කෝම උදෙන්ම ඇවිත්. කොණ්ඩෙ කපල හොඳට ඔළු පීරල. පෙලක් ළමයින්ගේ ඔළුවල තෙල් නළලට බේරිලා. ඒ ගොල්ලන්ගෙ ඇසුත් එක්ක රතුවෙලා. ගෑණු ළමයි සුදු ගවුම් ඇඳල. පෙලක් ළමයි සපත්තුත් දාල. පෙලකගෙ සපත්තු කකුල් මාරුවෙලා.
ඉස්කෝලෙත් එදා හොඳටම ලස්සනයි. යටලී දිගටම කොහු ඉදල්… ලණුමුඩි හේම එල්ලල.
ඉස්කෝල හාමිනේත් ලස්සන සාරියක් ඇඳල. මාලයක් හේමත් බැඳල. අඩි උස සපත්තු දෙකකුත් දාගෙන. නුහුරට අඩිය තිය තියා යන්නෙ…. ලොකුමහත්තයත් ටුවිඞ් රෙද්දකුයි කළු කෝට් එකයි ඇඳගෙන හොඳට ඔළුව පීරල කොණ්ඩෙ කාරිය හිරවෙන්ඩ බැඳගෙන… එදා වේවැල නම් පේන තෙක් මානයක වත් නෑ.
පාඩම් මහත්තය ආවෙ කරත්තෙන්. උන්නාන්සෙ උසයි මහතයි. සුදු කලිසමයි කෝට් එකයි ඇඳල කළු සපත්තුදාල ඉරි ඉරි ටයි එකකුත් බැඳල… තොප්පිය අතට අරන්.
ලොකු මහත්තය උන්නාන්සේ කරත්තෙන් බහිනකොටම ඉස්සරහට ගිහිල්ල වැඳල කතා කළා. කතා කරල පොත් ටිකත් උස්සගෙන පාඩම් මහත්තය පස්සෙන් ආව.
කරත්තකාරය ගොනා ලිහල කන්න බැන්ද. ළමයි මීයට පිම්බ වගේ සද්ද නැතුව උන්න. පාඩම් මහත්තය ඉස්කෝලෙට ඇතුල්වෙන කොටම ළමයි ඔක්කොම නැගිටලා හයියෙන් ‘ආ…. යි.. බෝවන්’ කියල වැඳල හිටගෙනම උන්න. පාඩම් මහත්තයා ළමයි දිහා බලල ’ඉඳගනියව්’ කිව්ව. ළමයි ඉඳ ගත්තෙ ඊට පස්සෙ.
පාඩම් මහත්තය පන්ති ගානෙ ගිහින් පාඩම් බැලූව. අකුරු ලියෙව්ව. කවි කියෙව්ව. ගණන් හැදෙව්ව.
දවල් වෙනකොට උන්නාන්සේ ලොකුමහත්තයට කිව්ව, ‘‘ගුරුන්නාන්සේ මට කිරි ටිකක් හොයල තියපන්’’ කියල.
හොඳමයි කියල ලොකු මහත්තයත් ලොකු පිරිමි ළමයෙක් ඇරල අඩු කෝපයකට කිරි ගෙන්නුව.
පාඩම් මහත්තය කිරි බොන්ට ගිහින් බැලින්නම් තියෙන්නෙ බොහොම ඇබිත්තයි.
‘‘ඈ… ගුරුන්නාන්සෙ මොකද මෙච්චර ටික?’’ කියල ඇහුව.
‘‘මේ ගමේ ගොඬේ කුරක්කන් පිට්ටු මයියොක්කා කන ගෑණුන්ට කිරි නෑ…. ගෙවල් හත අටකට ගිහිල්ල ඔය ඇබිත්තත් දොවා ගත්තෙ’’ කියල ලොකු මහත්තය කියපි.
එතකොටයි පාඩම් මහත්තයට තේරුණේ ගෙනත් තියෙන්නෙ මොනවද කියල.