ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය

Last Updated on 3 months by admin

ජ්‍යොතිෂය සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත‍්‍රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයෝ පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි පිහිට පැතීමට යොමු වෙති. ජ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන ඇතැමුන්ට පවා එබඳු අවස්ථාවලදී අන්‍යයන්ගේ බලපෑම මත ජ්‍යොතිෂය මත පිහිටා තීරණ තීන්දු ගැනීමට සිදු වේ.

ජ්‍යොතිෂය සත්‍යයක් බව ඇතැමෙක් කියති. ජ්‍යොතිෂය පිළිගත නොහැකි බව තවත් සමහරු කියති. ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි එකහෙලාම කියන බොහෝ දෙනා ඊට පදනම සකසා ගන්නේ බටහිර විද්‍යාව පමණක් සත්‍යය යැයි ලෝකයට ඒත්තු ගැන්වීමේ වැඩපිළිවෙළේ ප‍්‍රතිපලයක් වශයෙනි. Astronomy විද්‍යාවක් බවත් Astrology කිසියම් පිළිගැනීමක් බවක් බටහිර විද්වතුන්ගේ මතයයි. ඇස්ට්‍රොනොමි – ඇස්ට්‍රොලොජි පිළිබඳ වාදය අල් බිරුනිගේ යුගය දක්වා ඈතට දිවෙන්නකි. එසේ වුවත් අදටත් ගොවිතැන සඳහා නැකැත් භාවිත කිරීම ඇමරිකාව වැනි රටවල පවා තිබේ. ඉතිහාසය පුරා ඇමරිකාවේ ලිත්කරුවන්ගේ කාලගුණ අනාවැකි 80%ක් නිවැරදි බව ‘සයන්ටිෆික්ඇමරිකන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ජ්‍යොතිෂය ඇත්තක්ද බොරුවක්ද යන්න තීරණය කිරීමට තරම් මේ දෙපිරිසටම සුදුසුකම් නැත යන්න අපගේ විශ්වාසයයි. වෛද්‍ය විද්‍යාව හදාරා නැති ජ්‍යොතිෂය දන්නා අයකු වෛද්‍ය විද්‍යාව බොරුවක් යැයි කීමේ හා ජ්‍යොතිෂය හදරා නැති වෛද්‍යවරයකු ජ්‍යොතිෂය බොරුවක් යැයි කීමේ වෙනසක් නැත. ජ්‍යොතිෂය යනු ශ්ලෝක ලක්ෂ හතරකින් (400000) යුතු ඉතා පැරණි ශාස්ත‍්‍රයකි. මේ ශ්ලෝක ලක්ෂ හතර තබා එයින් අලූක්කාලක් වත් දන්නා අයකු මේ වකවානුවේ සොයාගැනීමට සිටිතැයි සිතිය නොහැකිය. ලංකාවේ මෑත විසූ ප‍්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් පවා පර්යේෂණ මට්ටමින් එය භාවිතා කළවුන් විනා ඔවුන් ජ්‍යොතිෂය විෂය සම්බන්ධ ප‍්‍රාමාණිකයන් යයි කිව නොහැකිය. එහෙයින් අප කිසිවකුට මේ ශාස්ත‍්‍රයේ සතයාසත්‍යභාවය පිළිබඳව කතාකිරීමට දැනුමක් ඇතැයි නොසිතමි.

ජ්‍යොතිෂවේදීන්ගෙන් වැඩි පිරිසක් ජ්‍යොතිෂය භාවිතා කරන්නේ කිසිදු වගවිභාගයකින් හෝ ප‍්‍රමාණවත් දැනුමකින් තොරවය. නිදසුනක් ලෙස රේඩියෝ හා රූපවාහිනී ඉදිරියේ පෙනීසිටිමින් රසිකයන්ගේ කේන්දර සටහන් උඩින් පල්ලෙන් බලා නැතිනම් ඒ ගැන ඇසූ පමණින් පලාපල කියන පිරිස් දැක්විය හැකිය. ජ්‍යොතිෂ පලාපල කීම ඔය තරම් පහසු කටයුත්තක් විය හැකිද? සාමාන්‍යයෙන් දළ කේන්දරය යනුවෙන් හඳුන්වන මූලික කේන්දරය පමණක් බලා පලාපල කීමට නොහැකි බව ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ මූල ග‍්‍රන්ථ කියයි. ඒ සඳහා සුදුසු ක‍්‍රමය වන්නේ භාව කේන්දරය පරීක්ෂා කිරීමයි. එසේම, ද්‍රෙෂ්කාණ, නවාංශක, ත‍්‍රිංශාංශක, ශෂ්ට්‍යාංශක ආදි වශයෙන් ‘අවස්ථාව’ තෙක් විස්තර, ග‍්‍රහයින්ගේ උච්ච-නීචබව, සතුරු-මිතුරු බව, ඒඒ ග‍්‍රහයින්ගේ දෘෂ්ටි, ග‍්‍රහයෝග ආදි වශයෙන් දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු කරුණු ගණනාවක් වෙයි. මෙය පහසු කටයුත්තක් නොවේ. ඉතා බරපතල පරීක්ෂණ ක‍්‍රමවේදයකි. පොරොන්දම් ගැලපීමේදී සාමාන්‍යයෙන් පරීක්ෂා කරනුයේ චන්ද්‍රයාගේ බලපෑම මත කෙරෙන විග‍්‍රහයන් පමණි. විවාහයකදී ඊට වඩා බලපෑම් කෙරෙන ග‍්‍රහ පිහිටීම් ගණනාවක් පිළිබඳව ජ්‍යොතිෂ සිද්ධාන්තවල සඳහන් වේ. මේ කිසිවක් පරීක්ෂා නොකර පලාපල කියන්නේ කෙසේද?

තවත් සමහරු තමන්ගේ කේන්ද‍්‍රය තමාටම පරීක්ෂා කරගැනීමට උපදෙස් දෙමින් පොත් පළ කරති. මෙය නම් පුදුම විජ්ජාවකි. විහිළුවකි. ජ්‍යොතිෂයේ මූලිකාංගවත් නොදන්නා කෙනෙකු කේන්දරයක් පරීක්ෂා කරන්නේ කෙසේද? පුවත්පත් ආදියෙන් ඒ ඒ ග‍්‍රහපිහිටීම් පිළිබඳව පළ කරන ලිපි කියවා තම කේන්දරයේ පලපල විග‍්‍රහ කරගන්නට ගොස් වැඩ වරදාගන්නා අහිංසකයන් ගණනද සුළුපටු නොවේ.

භාව කේන්දරයක් යනු යම් තැනැත්තකු උපදින විට උදාවී ඇති ලග්නය අංශක කීයක් ගෙවා ඇත්ද යන්න මත පිහිටා සාදනු ලබන කේන්දර සටහනයි. දල කේන්දරයේ හෙවත් කොටු දොළහේ කේන්දර සටහනේ ඇත්තේ අංශක 360 රාශි දොළහට බෙදාදැක්වීමයි. ඒ අනුව එක් කොටුවක් යනු අංශක 30කි. අංක 1 කොටුව යනු කෙනෙකු උපදින විට ක්ෂිතිජයෙන් උදාවී ඇති ලග්නයයි. එම ලග්නය පුද්ගලයා උපදින විට ගෙවා ඇති අංශක ගණන සොයාබලා එම අංශකයේ සිට අංශක 30ක් පළමු රාශිය ලෙස ලකුණු කෙරේ. ඉතිරි අංශක 330 අනෙක් රාශි 11අතර බෙදීයයි. දල කේන්දර සටහනේදී ක්ෂිතිජයෙන් උදාවී තිබුණු අංශක ගණන සැලකිල්ලට ගැනීමක් නැත. ඒ නිසා එහි මුල් රාශියේ ආරම්භය අංශක 0 ලෙස උපකල්පනය කෙරේ. මෙයින් සිදුවන වරද නම් ග‍්‍රහයන්ගේ පිහිටීම් වෙනස්වීමයි.

මෙය අවබෝධ කරගැනීම පහසු වනු පිණිස සරල උදාහරණයක් දක්වමි. කිසියම් තැනැත්තකු උපදින විට ක්ෂිතිජයේ ධනු ලග්නය අංශක 20ක් පසු කර තිබුණා යයි සිතමු. එවිට සැබෑ කේන්දරයේ 1 කොටුවේ ආරම්භය යනු ධනු ලග්නයේ අංශක 20යි. අංශක 0 නොවේ. අංශක 0 සිට අංශක 19 දක්වා කොටස සත්‍ය වශයෙන් ඇත්තේ 12 කොටුවේය. නමුත් බොහෝ දල කේන්ද‍්‍ර දෙස බැලූ පමණින් මේ බව වටහාගත නොහැකිය. ඒවායේ ඇත්තේ 1 කොටුව ධනු ලග්නය බවයි. (ඇතැම් ජ්‍යොතිෂකරුවෝ නම් අංශක ගණන දක්වති.) දැන් කුජ ග‍්‍රහයා මිථුන රාශියේ අංශක 4ක් ගෙවා ඇතැයි සිතමු. ඒ අනුව දල කේන්දර සටහනක නම් කුජ ග‍්‍රහයා 7 වැනි කොටුවේ ලකුණු තිබෙනු දැකිය හැකිවේ. දැන් මිථුනයේ අංශක 4 සත්‍ය වශයෙන්ම පිහිටා ඇත්තේ කොහේ දැයි සිතන්න. එය ඇත්තේ 7 වැනි කොටුවේ නොව 6 වැනි කොටුවේය. මක්නිසාද? මිථුන ලග්නයේ මුල් අංශක 19ක් ඇත්තේ 6 වැනි කොටුවේ බැවිනි. භාව කේන්ද‍්‍රයකින් මෙය තහවුරු කරනොගතහොත් අර අසරණයාට ලේසියකට කසාදයක් බැඳගන්නට නොහැකි වෙයි. ‘කුජ 7 දෝෂය’ බලපාන බැවිනි. (ඇත්තටම කුජ 7 කොටුවේ පිහිටීම දෝෂයක් නොවේ.)

ග‍්‍රහයෝග හෙවත් ග‍්‍රහයින් කීපදෙනකු එක රාශියේ සිටින විට ඒ ඒ ග‍්‍රහයින් එම ග‍්‍රහයින්ගේ රශ්මි මණ්ඩලවලට අසුවන පරිදි ළංව පිහිටා තිබේ දැයි බැලිය යුතුය. නිකම්ම එක් කොටුවක ග‍්‍රහයින් කීපදෙනකු ලකුණු කර තිබුණු පමණින් එය යෝගයක් නොවේ. රවිගේ රශ්මි මණ්ඩලය අංශක17කි. ඉදිරියෙන් හා පසුපසින් අංශක 8.5 බැගින් වන සේය. චන්ද්‍රයාගේ අංශක 12කි. අනෙක් ග‍්‍රහයින්ගේ අංශක 8කි.

ග‍්‍රහයෙකුගේ නියම ස්වභාවය හෙවත් ‘අවස්ථාව’ නොදැන පලාපල කීම කෙසේ වත් නොකළ යුත්තක් බව ජ්‍යොතිෂ මූලග‍්‍රන්ථ පෙන්වා දෙයි. ග‍්‍රහයකුට අවස්ථා 12ක් තිබේ. ඒ ශයන, උපවේශන, නේත‍්‍රපාණි, ගමන, ආගමන, ආගම, ප‍්‍රකාශ, සභා, භෝජන, නේත‍්‍රපාණි, නිද්‍රා, කෞතුක යනුවෙනි. ග‍්‍රහයා කිසියම් රාශියක් තුළ මෙයින් කුමන අවස්ථාවේ පසුවන්නේ දැයි සොයාබැලිය යුතුමය. ඒ ඒ අවස්ථාවට අනුව ග‍්‍රහයාගේ ස්වභාවය වෙනස්වේ. කේන්දරයක ග‍්‍රහයින්ගේ ‘අවස්ථා’ සොයාගැනීමට විශාල ලෙස ගණනය කිරීම් කළ යුතුය. උදාහරණයක් දැක්වීම පවා අසීරුවන්නේ ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුමවත් නැති කෙනෙකුට මෙය අවබෝධ කරගත නොහැකි බැවිනි. උපමාවක් කියන්නේ නම් මෙය චණ්ඩියා කොතැන කෙබඳු තත්වයකු පසුවන්නේ දැයි සොයාගත හැකි ක‍්‍රමයකි. තුවක්කුවක් අතැති හොරකු තමන් යන පාරේ සිටිනවාද, නැතිනම් පොලිස් කූඩුවක සිටිනවාද යන්න දැනගන්නවාට සමාන දෙයකි. හොරා කූඩුවේ නම් බයවෙන්නට දෙයක් නැත.

හේදිරික් සිල්වා හෙට්ටිගොඩ මහතා මෑත ඉතිහාසයේ ලංකාවේ සිටි ඉහළම ජ්‍යොතිෂ දැනුමක් සහිත පුද්ගලයෙකි. මා අසා ඇති පරිදි ඔහු තමන් මිය යන වේලාව සාදා මිනී පෙට්ටියක් ගෙනැවිත් වෙලාව අල්ලා එහි සැතපුණේය. එහෙත් ඔහු මිය ගියේ ඊට කලකට පසුවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link