දඹදිව කිව්වෙත් ලංකාවටමද?

Last Updated on 4 months by admin

‘‘ඉංග‍්‍රීසිකාරයෝ ලංකාවේ සම්පත් මෙන්ම අප ඉතිහාසය ඇතුළු සියලූ උරුමයන් ද කොල්ල කෑහ. සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මේ ගැන වඩාත් කම්පාවට පත් තැනැත්තියයි’’ යනුවෙන් ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කර ඇත්තෙන් මේ කාන්තාව ගැන තොරතුරු බිඳක් සෙවීමට අපි පෙළඹුනෙමු. ඇය, ‘‘බුදුන් උපන් රට ලංකාවයි, දඹදිව කියන්නෙත් ලංකාවටමයි’’ වැනි කතාන්දර කියන කණ්ඩායමේ නායිකාවක බව එහිදී අපට වැටුහුණි.

මේ කෙටි ලිපිය, ඇය සිය අදහස් ඔප්පු කිරීම සඳහා සාක්ෂ්‍ය ලෙස ඉදිරිපත් කරන සැළලිහිණි සන්දේශයේ 99 වැනි කවිය ගැන පැහැදිලි කිරීමකි.

ඕ මෙසේ ලියන්නීය:
‘‘ජනයාගේ නෙත්වල ගාන ලද රස අඳුනක් වැනි රූප සිරියෙන් හෙබි මිනිස් ලොවට පැමිණියාවූ ශක‍්‍රයාගේ සිරියාව මේ යයි හඳුන්වන්නා වූ වික‍්‍රමය කරණකොටගෙන මේ ජම්බුද්වීපයෙහි රජවරුන්ට ප‍්‍රධානියා වූ අපේ පරාක‍්‍රමබාහු රජුගේ දියණිය වන’ මෙහි පරාක‍්‍රමබාහු රජු මේ දඹදිවට ප‍්‍රධාන රජු ලෙස දැක්වේ. ඒ අනුව දඹදිව යනු හෙළදිව බව පැහැදිලි ය.’’ (සිව්හෙළය, සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය, 442 පිටුව)

සැළලිහිණි සන්දේශයේ 99 වැනි කවිය මෙසේය:
”සත නෙත දුන් රූසිරි රස අඳුන්වන
පත නර ලොවැ පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් එ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන” (රු. තෙන්නකෝන් සංස්කරණය)

සැළලිහිණි සන්දේශය කාලයක්ම උසස් පෙළ විභාගයට නියමිත ව තිබූ පොතකි. එනිසා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් පැරණි සංස්කරණයන්හි වචන කිහිපයක් වෙනස් කර සැකසූ සංස්කරණ ගණනාවක්ම තිබේ. මහාචාර්ය නන්දසේන රත්නපාල සංස්කරණය නිදසුනකි. ඔහු සංස්කරණයේ වචන වෙනස් කිරීමට යෑමෙන් මුල් පොතට හානි කළ තැන් ගණනාවකි. 99 පද්‍යයේ, ‘විකුමෙන් එ දඹදිව’ යන තැන ‘විකුමෙන් මෙ දඹදිව’ යැයි සඳහන් කර තිබීම නිදසුනකි. කිඳෙල්පිටිය, ‘ලංකාව දඹදිව යැ’යි සිතන්නට මෙවැනි හඩු සංස්කරණ භාවිතය හේතු වූවා විය හැකිය.

සැළලිහිණියේ 98 වැනි කවිය, 99 වැනි කවියට සම්බන්ධය. කතුවරිය ඒ කවිය නොදැක්කේ නම්, සැළලිහිණි සන්දේශයේ කිසිදු සංස්කරණයක් කියවා නැතැයි සිතිය හැකිය. නොඑසේ නම්, ‘දඹදිව ලංකාව යැ’යි කියන පුද්ගලයෙකු ඇයට ලණුවක් ගිල්ලවා තිබේ. 98 වෙනි පද්‍ය මෙසේය:

‘‘හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
කෙ පත් සියල් අවි සිප් කව් නළු සතණ
ඔල මොළ රුපුන් දප මැඩැ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක සේ සත් සෙවණ’’ (රු. තෙන්නකෝන් සංස්කරණය)

‘‘පරාක‍්‍රමබාහු නිරිඳා ත‍්‍රිපිටකයේ අඩංගු බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන දුසිරිත්වලින් මිදුණු රජෙකි. සියලූ යුද්ධ ශිල්ප කාව්‍ය නාටක ශාස්ත‍්‍රයන්හි කෙළ පැමිණියෙකි. එතුමාණෝ උපාය ඥානයෙන් හා ශූරවීර බවින් සතුරන්ගේ බලය බිඳ මුළු ලංකාවම එක සේසතක් යටතට ගෙනාහ.’’

99 කවියෙන් කියවෙන්නේ, වික‍්‍රමය නමැති ගුණයෙන් එතුමා දඹදිව සියලූ රජවරුන්ටත් උසස් වූ බව’යි.

පරාක‍්‍රම රජතුමාගේ යුද ව්‍යාපාරය වටහාගත් විට මේ කතාව අවබෝධ කරගත හැකිය. ‘පැරකුම්බා සිරිත’ කියවීම රජු ගැන වැඩි දුරටත් තොරතුරු දැන ගැනීමට ඇති මඟයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link