පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි?

Last Updated on 5 months by admin

පර්වත මත්තෙහි ස්තූප තැනීම සහ නටබුන් වී ගිය පුරාණ ස්තූප ප‍්‍රතිසංස්කරණය නොඉවසන පිරිසක් සිටින බව ඉතා පැහැදිලි කරුණකි. නටබුන් වී ගිය පෞරාණික පුදබිම් ආක‍්‍රමණය කරන්නේ විදේශිකයන් නොවේ. වඩුන්නාගල පුරාණ විහාර භූමිය හාරා ශිව ලිංගයක් තැබීම පසුගිය සති අන්තයේ සිදු කෙරිණි. ඉහත කී බොදු බිම් පිළිසකර කිරීම නොඉවසන්නන් වැඩි දෙනෙකු ජීවත් වන්නේ විදේශයන්හිය. මොවුන් අදහස් ඉදිරිපත් කරන්නේ මැටාවේ පළ කෙරෙන කෙටි ලිපි මගිනි.

පර්වත මුදුනේ ස්තූප තැනීම පරිසර දූෂණයක් බව අයෙක් කියති. ස්තූප තැනීමට කොන්ක‍්‍රිට් භාවිත කිරීමෙන් කඳු පර්වතයන්හි ස්වභාවික ගුණය වෙනස්වේය යන්න තවත් කාන්තාවකගේ අදහසකි. ඒ අතර අයෙක් ස්තූප නැතිව ආගම අදහන්න බැරි දැයි ප‍්‍රශ්න කරති. පොදුවේ මේ හැමගේ උත්සාහය බෞද්ධයාගේ සිත ව්‍යාකූල කිරීමයි.

‘මණිමේඛලයි තුරව්’ දෙමළ බෞද්ධ කාව්‍යයේ, ස්තූප නිර්මාණය පිළිබඳ වටිනා පුවතක් සඳහන් වේ. ඊට අනුව, මණිමේඛලයි නලඟනගේ පියා කෝවලන්, චෝල රටේ අගනුවර පුහාර්හි විසූ සුප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මී මුත්තා මාසාත්තුවන් වූයේය. මේ දෙමළ බසට හරවාගත් මාගධී නමකි. කෝවලන්ගේ මී මුත්තා විශාල ගැල් හමුදාවක හිමිකරුවෙකු (මහාසාත්තුවාහක) බව එයින් කියැවේ.

රට රටවල වෙළෙඳාමේ ගිය මෙම වෙළෙඳුන් (සෙට්ඨින්) බෞද්ධයෝ වූහ. ලංකාවේ ගිරිහඩුසෑය (කේශධාතු චෛත්‍යය) සාදා ඇත්තේ විදේශීය සංචාරක වෙළෙඳ කණ්ඩායමක් විසිනි. මාසාත්තුවන් ඔහුගේ රටට යාබද චේර රාජධානියේ වඤ්ජි නුවර විශාල ස්තූපයක් තැනවූයේය. එය ඉහළින් ගමන් කරන දෙවි දේවතාවියන්ට දර්ශනය වන සේ ඉදිවුන අහස සිපගන්නා අලංකාර කොත් කැරැල්ලකින් යුක්ත වූවකි. ඒ සුන්දර දර්ශනය දකින අහසේ යන දෙවි දේවතාවියෝ බිමට බැස බුදුන් වන්දනා කළහ.

මණිමේඛලයි කාව්‍යයේ අහසින් ගමන් කරන දෙවි දේවතාවියන් පිළිබඳ පුවත් ගණනාවක් ඇත. බෞද්ධයන් පර්වත මස්තකයෙහි ස්තූප තැනීමට ප‍්‍රධාන හේතුව වටහා ගැනීමට එය ප‍්‍රමාණවත් සාක්කියකි. මහින්ද තෙරුන් වහන්සේ සිංහල දේශයට වැඩම කිරීමට පිටත් වූ සාංචි ස්තූපය පර්වතයක් මත්තෙහි ඉදිකරන ලද්දකි. මෙහි වැඩි උන්වහන්සේ තිස්ස රජතුමන් හමු වූයේ මිස්සක පර්වතය මුදුනේදීය. එහි අතීතයේ තැනවූ ස්තූපයක් තිබේ.

තලිබාන්වරු බමියාන් ප‍්‍රතිමාව පුපුරුවා හැරියේ ඔවුන්ගේ මුතුන් මිත්තන් බුද්ධි හීනයන් යයි හිතමිනි. බෞද්ධ උරුමයට ගරහන සිංහලයා සිය මුතුන් මිත්තන්ට ගරහන්නෙකි. අශෝක මහරජු තැනවූ 84000ක් වෙහෙර විහාරවලින් වැඩිම සංඛ්‍යාවක් විනාශකර ඇත්තේ බුදු සසුනේ කෙරෙහි වෛර කළවුන්ය. ලංකාවේ වුවත් සමහර අබෞද්ධයින්ට ස්තූපය ගඩොල් ගොඩකි.

කොන්ක‍්‍රිට් වනාන්තරවල වෙසෙමින් ස්තූප ප‍්‍රතිසංස්කරණයට නිග‍්‍රහ කරන මෙවැනි උගත්තු ඇමරිකානු ඩොලර්වලට ලොබින් එහි ලියැවුන ‘අප අදහන මැවුම්කරු’ God We Trust ට ගරු කරති. කැනඩා කොඩිය සාදාගෙන ඇත්තේ ක‍්‍රිස්තියානි මැවුම්කරුගේ ලාංඡුනයෙනි. ග‍්‍රීසිය, ජර්මනිය, ඉතාලිය, සයිප‍්‍රස් මේ හැම රටවලම ඉන්නේ එක මැවුම්කරුවෙකි. මේ හැම තැනම සිටින්නේ යුදෙව් බයිබලයේ සඳහන් වන ලෝකය මැවූ බව කියන සර්ව බලධාරියාය.

කුබ්ලායි ඛාන් චීන අධිරාජයා ඇසුර කළ ඉතාලි ජාතික මාකෝ පෝලෝ, ‘අපේ දෙවියෝ’ යැයි කී විට සිනාසුන අධිරාජයා, ‘උඹලට ඉන්නෙ එක දෙවි කෙනෙක්ද? අපිට තිස්තුන් කෝටියක් ඉන්නවා කීවේය’ යන්න ජනප‍්‍රිය කතාවකි. බුදු දහම පැතිර පැවති හැම රටකම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවියන් ගැන විශ්වාසය පැවතුණි. ඒ හැම රටකම බෞද්ධයෝ දේවත්වය තාවකාලික උත්පත්තියක් වශයෙන් සැලකූහ. තමා දේවතාවියක වී සිටියත්, මධුරාව ගිනි තැබීමෙන් කළ අපරාධයට විපාක අත් විඳීමට සිදු වන බව කන්නගි දේවතාවිය මණිමේඛලයි දියණියට පැවසුවාය.

මේ තොරතුරුවලින් කියැවෙන්නේ අප‍්‍රමාණ සංඛ්‍යාවක් දෙවි දේවතාවියන් අහසින් ගමන් කරන බවයි. ඒ දෙවිවරුන් පොළොවට බසින්නේ ස්තූප දැකීමෙනි. සිංහලයන් පර්වත මස්තකයෙහි ස්තූප තනවන්නට එක් හේතුවක් වූයේ, දෙවි දේවතාවියන්ට වන්දනා කිරීමට උපකාර කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link