පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා

Last Updated on 17 hours by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවාද සභා පැවැත්වූයේ සිංහල චින්තන මාර්ගය නිරවුල් කර ගැනීමටයි. මුදියන්සේ තෙන්නකෝන්, (තෙන්කෝන් අයියා හෙවත් අගමැති අයියා) මේ සභා සංවිධානය කළේය. විවිධ තරාතිරම්වල දැනුමැත්තෝ ඒවාට සහභාගිවීමට පැමිණියහ. නලින් ද සිල්වා හා සූරිය ගුණසේකර ආචාර්යවරුන් චින්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කළේ බිංගිරියේ සංවාද සභාවලට සහභාගි වීමෙන් පසුවය.

මුදියන්සේ තෙන්නකෝන් කී ලෙසට ඔහුගේ පියා වී ගොවිතැන අප්‍රිය කළ පාරම්පරික ගොවියෙකි. ‘පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා’ කියමින් ඔහු උපදෙස් දුන් හැටි තෙන්නකෝන් සිහි කළේය. කාශ්මීර රාජ්‍යය වැව් තැනීම සඳහා සිංහලයන් කැඳවීම, චෝලයන් කාවේරි ගංගාශ්‍රිත ප්‍රදේශය සංවර්ධනයට සිංහලයන් ගෙන යාම, පර්සියානු හා අරාබි සාහිත්‍යයේ සිංහල හාල් ගැන සඳහන් වීම, සිංහලයන් ගොවිතැනින් ‘යෝධ බලය‘ (හාඩ් පවර්) ලැබ සිටි බව පෙන්වන සාක්කි කිහිපයකි.

ගොවියන් විපතට වැටෙන්නේ, ගොවිතැන මුල් කර ගොඩනැගුනු ‘යෝධ බලය’ නැති වීමෙනි. සුද්දාගේ පාලන සමයේ උඩරට රාජ්‍යය විනාශකළ පසුව සිංහලයන්ගේ අර්ථක්‍රමයේ ‘මෘදු බලයත්’ බිඳවැටුණි. මාක්ස්වාදියකු වූ පිලිප් ගුණවර්ධන, රුසියානු සාමූහික ගොවිපල ක්‍රමය පදනම් කරගෙන හැදූ කුඹුරු පනත ක්‍රියාත්මක වූ පසු සිංහල ගොවිතැන අභාවයට පත් විය.

ඇමරිකාවේ යෝධ බලය, ධනය, විද්‍යාව හා තාක්ෂණයයි. ඊට සමාන ධනයක් ශක්තියක් හා බලයක් සෝවියට් දේශයට තිබුණි. එය වැටහෙන්නේ කස්ත්‍රෝගේ කියුබාවට පහරදීමට ඇමරිකාව ගත් තීරණය වෙනස් කිරීමෙනි. දැන් පවතින්නේ පැරණි තත්වය නොවේ. ඇමරිකාව, වෙනිසියුලාවේ අගමැති මදුරෝ ජීවග්‍රහයෙන් අල්ලා ඇමරිකාවට ගෙනාවේය. ඉරානය බේරාගැනීමට රුසියාව හෝ චීනය ඉදිරිපත් නොවේ. ඇමරිකාවට ලෝකය පුරා යුද්ධ කඳවුරු සිය ගණනක් ඇත. චීනයට ඇත්තේ දෙකකි.

කොණ්ඩය කොටට කැපූ රැවුල බූ ගෑ මිනිහෙක් හේන දෙස ඕනෑකමින් බලමින් ගමන් කරන බව දුටු අප්පච්චි, ‘බලාපන් පුතේ පාත්තයෙක් වගෙයි. හරක් හොයනව වෙන්ඩ ඇති’ කී හැටි තෙන්කෝන් සිහි කළේය. ඉස්සර කුරුණෑගල පළාතේ වැසියෝ පහත රැටියන් හැඳින්වීමට පාත්තයින් යන වචනය භාවිත කළහ. ඒ කාලයේ එම කලාපයේ ගැමියන් කොණ්ඩය කැපුවේ නැත. කොණ්ඩය කැපූවෙකු ගමකට ඇතුළු වූ සැණින් ඔහු පහත රැටියෙකු බව ගැමියන්ට වැටහේ.

ජනශෘතියේ හැටියට උඩරට රාජ්‍යයේ සිරකරුවකු වශයෙන් රොබට් නොක්ස් වාරියපොළට නොදුරු බණ්ඩාර කොස්වත්තේ විසුවේය. ඔහු එංගලන්තයට ගොස් ‘සිලෝන් ජීවිතය ගැන ලියූ පොතපතේ උඩරැටියන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප ගැන තොරතුරු තිබේ. ඒවා ගැන විමසිලිමත් වන විට පැහැදිලි වන්නේ උඩරැටියන්ගේ ජාතිකත්වයයි. නොක්ස්ගේ පොතේ මෙම සටහන නිදසුනකි.

“The inhabitants of the high-Lands are the most High-minded, and stand most upon their Honour and Gentility. In so much that it is a usual saying among them, that if they want a King, they may take any man, of either of these two Counties (Uda-nuwara and Yati-nuwara), from the Plow, and wash the dirt off him, and he by reason of his quality and descent is fit to be a king. And they have this high conceit of themselves, because they are of the best and highest Cast and Lineage in the Land, and moreover have more civility and Subtilty than the Low-landers.”

දෝන කතරිනාගෙන් රජ උරුමය ලැබූ විමලධර්මසූරිය රජ ලේ ඇති කෙනෙකු නොවන්නේය’ යනු උඩුනුවර හා යටිනුවර පළාත්හි විසූවන් අතර පැවති ආකල්පයකි. පෘතුගීසින් උඩරට අල්ලන්නට යන හමුදාව සමග දෝන කතිරිනා (කුසුමාසන කුමාරිය) ගෙන යන්නේ ඒ ගැන අවබෝධයෙනි. උඩරට දී සිදු වූයේ පෘතුගීසින් සමග සිටි දොන් ජෝන් හෙවත් කොනප්පු බණ්ඩාර සිංහල නායකයා පෘතුගීසි හමුදාවට පහර දී කුසුමාසන කුමරිය පැහැරගෙන විමලධර්මසූරිය නමින් රජවීමයි. උඩුනුවර යටිනුවර වාසීන්ගේ කතාවේ සැඟවුණු අර්ථය තමන් අතර නියම රාජකීය උරුමය ඇත්තන් සිටින බවයි.

ජවිපෙ කොමියුනිස්ට් පක්ෂයක් මිස කුලවාදීන්ගේ පක්ෂයක් නොවේ. එහෙත් විජේවීර පාවා දුන් වික්ටර් අයිවන්, මෙම අදහස පැතිරවීමට වෙහෙසුනේය. ක්‍රිස්තියානි පූජකයකු වන්නට අධ්‍යාපනය ලබමින් සිටියදී ජවිපෙට සම්බන්ධ වූ මොහු කැරැල්ල ව්‍යවර්ථ වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු වූයේය. අයිවන් ගොඩ ආවේ ජර්මනියේ ෆෙඩ්රිච් නවුමාන් පදනමේ ලංකා සංවිධායකයා වශයෙන් කටයුතු කළ කන්ටෝව්ස්කිගේ සහායෙන් ගොඩනැගුණු ‘සර්වෝදය ව්‍යාපාරයේ’ නායක ඒ. ටී. ආරියරත්නගේ ආධාරයෙනි. ආරියරත්න රටේ දේශපාලන නායකයා වන්නට සැලසුම් හැදූවෙකි. 71 අප්‍රියෙල් කැරැල්ල කුල කැරැල්ලක් බව ලෝකයට දැන්වීමට අයිවන් පොත පත ප්‍රසිද්ධ කරන්නේ ඔහුට ආධාර පිණිසය.

‘මඩ සෝදාගත් ගොවියා රජකමට සුදුසු යැ’යි උඩුනුවර, යටිනුවර වාසීන් කී කතාවේ ලොකු අර්ථයක් තිබේ. උඩරට රාජ්‍යයේ ගොවියන්ගේ සංස්කෘතිය හා සිරිත් විරිත් අධ්‍යයනය කිරීම එය වටහා ගත හැකි එක් මඟකි. ගෙරිමස් කෑම පිළිකුල් කිරීම, අරක්කු පානය නොකිරීම, නොක්ස් සඳහන් කර ඇති සිංහලයින්ගේ ගුණාංග අතර වේ. මේවා තේරුම් ගැනීමට පෙර මාලිමාව සිංහල බෞද්ධ සංස්කෘතිය නොසලකන ආණ්ඩුවක් බව තේරුම් ගත යුතුය. රට මෙහෙයවන්නේ විජාතිකත්වයයි. සංස්කෘතික ඇමතිවරයා සහ නියෝජ්‍ය සංස්කෘතික ඇමතිවරයා එය පැහැදිලි කරන සාක්කි දෙකකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top