බටහිර සංස්කෘතියට යට වන ලෝකය

Last Updated on 2 months by admin

ඉරානය බවට පත් වූ පර්සියාව, අතීතයේ බෞද්ධ රටකි. එහි බෞද්ධ ඉතිහාසය ගැන සිංහලෙන් ලියවුනු පොත පත ඇත්තේ අල්පයක් වුවද, ඉංග‍්‍රීසියෙන් ප‍්‍රකාශිත පොත පත සෑහෙන සංඛ්‍යාවක් ඇත. ‘ෂා’ පාලනය අවසන් වන තෙක්, ඉරානයට ගොස් එහි ඉතිහාසය සෙවීමේ හැකියාව විදේශිකයින්ට තිබුණි. වර්තමානයේ එවැන්නකට ඉඩක් නැත. එය බෞද්ධයන් වඳ වූ රටකි. ඉස්ලාමිකයන් හැරුන කොට, යුදෙව්, ක‍්‍රිස්තියානි හා සොරෙස්ත‍්‍රියානු ආගම් අදහන සුළු කණ්ඩායම් සිටිති. ඉරානය හා ඊට සමීප අසර්බයිජානය, තුර්කිය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වැනි රටවල මහජනයා සිතන්නේ බුදු දහම ඔවුන් නොදියුණු කාලයේ පැවති නොදියුණු ආගමක් බවයි. ඉස්ලාම් ආගමික සංස්කෘතිය විසින් පොවා ඇති ඒ අදහස ඔවුන්ගේ ශරීර ගතව තිබේ.

ඉතිහාසය පවසන පරිදි, තුර්කියේ සිට පැමිණි සුන්නි ඉස්ලාම් සේනාවෝ ඉරානයේ බුදුසසුන අතුගා දැමූහ. දේශය සුන්නි ඉස්ලාම් රටක් බවට පත්කිරීමට ඔවුන්ට හැකිවිය. ෂා ඉස්මයිල් සෙනවියා, කඩුවේ බලයෙන් සුන්නි රට ‘ෂියා’ ඉස්ලාම් රටක් බවට පත් කළේය. අසර්බයිජානයත් ෂියා ඉස්ලාම් රටක් කළේත් ඔහුමය. ඉරාන ජනාධිපති රයිසි මියගියේ අසර්බයිජානයේ සිට ආපසු රටට එන අතරතුර සිදු වූ හෙලිකොප්ටර් අනතුරකිනි. මැයි 23 ඔහුගේ ආදාහන උත්සවය පැවැත්විණි. රයිසිගේ මරණය ගැන ලංකාවේ ආණ්ඩුව තරමට ලංකාවේ ඉස්ලාමිකයන් උනන්දු වූයේ නැත. ඔවුන් ‘සුන්නි’ ඉස්ලාමිකයන් වීම ඊට හේතුවයි.

හැම ඉස්ලාම් රටකම ඉස්ලාම් නීතිය ක‍්‍රියාත්මක වේ. ඉස්ලාම් ආගම විසින් හඳුන්වා දෙන සදාචාරය රැකීම මේ හැම රටකම ප‍්‍රධාන අරමුණයි. ඉරානය පලනය කළ ෂා රජතුමාගේ කාලයේ ඉරාන සංස්කෘතියේ වෙනසක් සිදු වීමේ ලකුණු පහල විය. ඉරාන වැසියෝ බටහිර ක‍්‍රිස්තියානි සංස්කෘතිය කෙරෙහි උනන්දුවක් දක්වන්ට වූහ. ඊට විරුද්ධව දේශපාලන විප්ලවයක් සිදු විය. ෂා රජ, ඇමරිකාවට පලාගියේය. අයතුල්ලා කුමේනි ප‍්‍රංශයේ සිට පැමිණ ඉරානය භාර ගත්තේය.

ඊබ‍්‍රාහිම් රයිසි ඒ ඉරාන ඉස්ලාම් ආගමික විප්ලවයට සම්බන්ධ වූ තරුණයෙකි. ඔහු විප්ලවයෙන් පසුව ඉරාන ව්‍යවස්ථාව හා ආගමික නීති සැදීමට මූලික වූයේය. ඉස්ලාම් රටවල් බොහෝමයක පොලීසිය ආගමික නීති ආරක්ෂා කරයි. ඉරානයේ ආගමික සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහාම වෙන් වූ ආගමික සංස්කෘතික පොලිසියක් පිහිටුවා තිබේ.

ලංකාවේ ඉස්ලාම් තරුණයෝ නම් මාරු කරගෙන ව්‍යාජ නම්වලින් බෞද්ධ තරුණ තරුණයින්ගේ රැඩිකල් සංවිධාන හදන්ඩ මූලික වෙති. ‘එක්ස්’ කණ්ඩායම එවැන්නකි. ඉස්ලාම් රටවලින් ගලා එන මුදල් යොදවා ගම් ගානේ ගොස් බුද්ධාගමට විරුද්ධ බෞද්ධයන් සැදීමට ඔවුන් සමත් වේ. ඇතැම් භික්ෂූන් තමාව නඩත්තු කරන බුදුන්ටත් අපහාස කරන්නේ ඒ මුදලේ බලයෙනි. කොපමණ මුදල් ඇතත් රැඩිකල් වීමට ඉරානයේ තරුණ තරුණියන්ට නුපුළුවන. හිජාබයට නැතිව පාරට බසින ඉරාන කාන්තාවන්ට ද`ඩුවම් ලැබේ.

ඉස්ලාම් රටවල් ඉස්ලාම් ආගම රැුකගෙන සිටින්නේ ඉස්ලාම් සංස්කෘතියේ ආධාරයෙනි. එය කැඞීමට බටහිර ක‍්‍රිස්තියානි රටවල් දැඩි උත්සාහයක් දරති. ඔවුන් සාර්ථක වී ඇති හැටි මැද පෙරදිග රටවල් ගැන විමසිලිමත් වීමේදී පැහැදිලි වේ. හොඳම නිදසුන අනම්‍ය ඉස්ලාම් ආගමික නීති ඇති රටක් සේ සැලකුන සවුදි අරාබියේ සිදු වන පරිවර්තනයයි. එහි ඔටුන්න හිමිකරුවා වශයෙන් සැලකෙන මොහොමද් බින් ෂල්මාන් කුමරා දැඩි ආගමික නීතිකාරයෙකු වශයෙන් ප‍්‍රචාරය වූ නමුත් දැන් ඔහු ප‍්‍රජතන්ත‍්‍රවාදියක් බව ලොවට පැහැදිලි කිරීමට සවුදියේ සංස්කෘතික විප්ලවයක් අරඹා තිබේ. කාන්තාවන්ට මෝටර් රථ පැදවිමට අවසර ලැබී ඇත. පිරිමි හා ගැහුණු ළමයින්ට එකට ඉගෙනීමට හැකි පාසල් ආරම්භ වී තිබේ. රාත‍්‍රි සමාජ ශාලා සඳහා අවසර දී ඇත.

සිංහල සංස්කෘතිය තරම් නිදහස් සංස්කෘතියක් පැවති රටක් ලෝකයේ නොපැවති බව ඉස්ලාම් ලෝකය ගැන සැලකිලිමත් වීමේදී වැටහේ. එය බටහිර හා ඉස්ලාම් සංස්කෘතික ආක‍්‍රමණයට හසුවී ක‍්‍රමයෙන් නැතිවෙමින් පවතී. උරුමය නැති කළ රටක පුරවැසියන්ට ඒ උරුමය නැති කළ අපරාධකරුවන්ට ශාප කිරීමේ දැනුම පවා නැති වී යයි. ඉරාන ඩයස්පෝරාව රයිසිව හඳුන්වන්නේ ‘ටෙහෙරානයේ මස්කඩකාරයා’ යනුවෙනි. (බුචර් ඔෆ් ටෙහෙරාන්) ඉරානය වෙනස් කිරීම රයිසිගේ පෞද්ගලික ක‍්‍රියාවක් නොවේ. ඊට එදා විප්ලවයට සහභාගි වූ සියල්ලන් වගකිව යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link