බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ

Last Updated on 2 months by admin

ජවිපෙ, මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ හා සම්බන්ධ වීමෙන් හමුදාවේ සහ පැරා මිලිටරි හමුදාවල උදහසට ලක් වූ භික්ෂුන් වහන්සේ අති විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි කරගැනීමට සිදු වූයේ අතිශයින් දරුණු වධ හිංසනයන්ට ලක්වෙමිනි. මරණයෙන් ගැලවුන පිරිසක් සිටියේ නම් සිවුරු හැර උපැවිදි වූහ. ඒ ඉතිහාසය නොසලකා, විශ්වවිද්‍යාලවලට පැමිණ මාක්ස්වාදයට හසු වූ තරුණ භික්ෂු පිරිසක් සිටින බව රූපවාහිනී නාළිකා මඟින් ලෝකයට දන්වා තිබේ.

පූජ්‍ය නාරාවිල ධම්මරතන හිමියෝ, මාක්ස්වාදීන්ට වුවමනා ලෙස, භික්ෂු ජීවිතයට නොගැලපෙන අයුරින් හැසිරුන භික්ෂුවක නොවෙති. අපවත් වන තුරුම භික්ෂු ජීවිතය අපවිත‍්‍ර නොකරගත් උන්වහන්සේ, සිංහල බෞද්ධයන්ට මාක්ස්වාදය උගන්වන්නට ගොස් අමාරුවේ වැටුණ භික්ෂුවකි. ඊට හොඳම නිදසුන විද්‍යාලංකාරයෙන් කොන්වී යාමයි.

නාරාවිල ධම්මරතන හිමියෝ සිංහල, පාලි, සංස්කෘත ඉංග‍්‍රීසි ඇතුළු භාරතීය භාෂා කිහිපයකින්ම බුදුදහම පැහැදිලි කරමින් ලිවීමේ හා ධර්ම දේශනා පැවැත්වීමේ හැකියාව තිබූ මහා ප`ඩිවරයෙක් වූහ. උන්වහන්සේ අනගාරික ධර්මපාලතුමා, ජවහර්ලාල් නේරු බඳු ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කළහ. ‘භාරතීය දර්ශන’ මැයෙන් දර්ශනය පිළිබඳ පොතක් පළමු වරට සිංහලෙන් ප‍්‍රකාශයට පත්කළහ.

පූජ්‍ය උඩකැන්දවල ශ‍්‍රී සරණංකර හිමියෝ ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීමට දඹදිව වැඩියහ. නාරාවිල ධම්මරතන හිමියන් දඹදිව වැඩියේ ද ධර්මපාලතුමාගේ උපකාරයෙන් යයි අනුමාන කිරීමට කරුණු ඇත. නමුත් උන්වහන්සේ ඒ ගැන කිසිවක් නොලියති. උඩකැන්දවල හිමියෝ දඹදිව දී මාක්ස්වාදීන්ට හසු වී ධර්මපාලතුමාගෙන් ඉවත් වූහ. ධමම්මරතන හිමියන්ද එතුමාගෙන් ඈත් වූයේ ඒ අයුරින් යයි අනුමාන කිරීමට සිදු වේ.

ඉන්දියාවේ දී මාක්ස්වාදීන් සමග එක් වූ ධම්මරතන හිමියෝ, ‘ලංකාපුත‍්‍ර’ නමින් සිංහල පුවත්පත්වලට ලිපි සැපයූහ. ලංකාවට වැඩිය පසු, එංගලන්තයේ සිට පැමිණ මාක්ස්වාදය පතුරුවන තරුණයින් පිරිස සමග එකතු වූහ. ඔවුන්ට නොකළ හැකි වූ හපන්කමක් කිරීමට උන්වහන්සේට හැකි විය. ඒ සිංහලයන්ට මාක්ස්වාදය පිළිබඳව සිංහල භාෂාවෙන් කියවීමට පොතක් ලිවීමයි. එය බුදුසසුන, මාක්ස්වාදය සමඟ පෑහෙන හැටි විස්තර කෙරෙන ‘බුදුසසුන හා මාක්ස්වාදය’ නමැති ග‍්‍රන්ථයයි.

පූජ්‍ය හැඩිපන්නල පඤ්ඤාලෝක හිමියන් පෙන්වන ලෙසට, විද්‍යාංකාර පිරිවෙන සමඟ සබඳකම් පැවැත්වූ ධනවතුන් පිරිසක් සිටියහ. ඔවුන් සමඟ එක් වූ විද්‍යාලංකාරයේ නායකත්වය ධම්මරතන හිමියන් සමඟ විරසක වූහ. එහි උප පරිවෙනාධිපතිවරයාව සිටි හැඩිපන්නල පඤ්ඤාලෝක හිමියෝ උන්වහන්සේ සමඟ එක්ව කටයුතු කළහ.

හැඩිපන්නල හිමියන් අපවත් වීම, ධම්මරතන හිමියන් දකින්නේ ‘අපවත් කරවීමක්’ වශයෙනි. ඉන්පසු විද්‍යාලංකාරයෙන් ඈත් වූ ධම්මරතන හිමියෝ නාරවිල ගමට වැඩියහ.

‘නාරවිල ක‍්‍රම සංවිධානය’ නමින් ආයතනයක් ඇරඹූ උන්වහන්සේ එහි සිට පොත පත ප‍්‍රකාශයට පත් කළහ. සිංහල ගම වනසා සෝවියට් ක‍්‍රමයේ සාමූහික ගොවිපළ සැදීමට මගපාදන ‘කුඹුරු පනත’ රටට අහිතකර දෙයකැ යි කීහ. එවිට වමේ ක‍්‍රියාකාරීන් වැඩි පිරිසක් උන්වහන්සේ සමඟ අමනාප වූහ. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව වමේ නායකයින්ගේ උපදෙස් අසා ‘ලේක් හවුස්’ පුවත්පත් ආයතනය රජයට පවරා ගත්තාය. නාරවිල හිමියන් එය දුටුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කිරීමක් හැටියටයි. ඒ බව මහජනයාට කියන්නට ගිය උන්වහන්සේ, ඒ කාලයේ රටේ අතිශයින් ජනප‍්‍රියව පැවති ‘ඇත්ත’ පත‍්‍රයේ උදහසට ලක් වූහ.

නාරාවිල ධම්මරතන හිමියන් පවසන ලෙසට හැඩිපන්නල පඤ්ඤාලෝක හිමියෝ, චීනය හා ලංකාව අතර මිත‍්‍ර සබඳතා ඇති කිරීමට මූලික වූහ. ආසියාවේ බෞද්ධ රටවල් එකතු කිරීමට ‘පීකිං බෞද්ධ සමුළුව’ පැවැත්වීමට උන්වහන්සේ මූලික වූහ. ඊට සහභාගි වී ලංකාව නියෝජනය කරන්නැයි පඤ්ඤාලෝක හිමියෝ ධම්මරතන හිමියන්ට ආරාධනා කළහ. ආරාධනාව භාරගත් ධම්මරතන හිමියෝ චීනයට ගෙන යාමට සුදුසු පූජනීය භාණ්ඩ සූදානම් කරමින් සිටියදී, උන්වහන්සේ හමුවීමට ඇස්. ඞී. බණ්ඩාරනායක සහ ඇන්. ෂන්මුගදාසන් පැමිණියහ. පීකිං ගුවන් තොටුපොළින් බැස ආගමන විගමන කාර්යාලයෙන් එළියට පැමිණි උන්වහන්සේ පිළිගැනීමට එච්. ජී. ඇස්. රත්නවීර ප‍්‍රධාන කිහිප දෙනෙක් පැමිණ සිටියහ.

පීකිං බෞද්ධ සමුළුවට සහභාගි වූ ධම්මරතන හිමියන්ට ලංකාවේ බෞද්ධයින් නියෝජිතයින් වශයෙන් අබෞද්ධ මාක්ස්වාදීන් පෙනී සිටීම මහත් ගැටලූවක් විය. අදටත් එවැනි දේ සිදු වේ. මාක්ස්වාදී නව ලිබරල්වාදය ඉදිරිපත් කරන ඇතැම් මාලිමා නායකයෝ බුදුදහම හා සසුන ගැන අදහස් දක්වති. පසුගිය දිනවල යසෝදරා දේවිය සහ අවුකන පිළිමය පිළිබඳව පළ වූ අදහස් නිදසුන් දෙකකි. පළමුවෙනි ධර්ම සංඝායනාව බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූවක් බව මෑතක දී කියා ඇත්තේ ද මාලිමාවේ නායකයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link