මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු

Last Updated on 2 months by admin

දෙවන ලෝක සංග්‍රාමය සමයේ මිලියන සංඛ්‍යාවක් යුදෙව්වන් සංහාරය කිරීම ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ, ලක්වන ඛේදවාචකයකි. ආසියාවේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල යුරෝපීය ජාතීන් විසින් සිදුකරන ලද මීට වඩා දරුණු සංහාර නැතිවා නොවේ. යුදෙව් සංහාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යයන් අතරින් බහුතරයක් යුදෙව් ඇමරිකානුවන් විසින් හසුරුවනු ලබන බැවිනි. සිංහලයන්ට ඇති බලය කුමක්දැයි පැහැදිලි කළ යුතු නැත.

ජර්මනියේ යුදෙව් සංහාරයට වඩා දරුණු සංහාරයක් 1817-18 අවුරුදුවල දී ලංකාවේ සිදු වී තිබේ. බ්‍රිතාන්‍ය හමුදාව විසින් ලංකාවේ ගම්මාන දහස් ගණනක් වනසමින් භික්ෂුන් වහන්සේ ප්‍රධාන මිලියන සංඛ්‍යාවක් සිංහලයන් සංහාරය කර තිබේ. ඒ සාපාරාධී ක්‍රියා සිදු කළ බ්‍රිතාන්‍යයත්, යුදෙව්වන් සංහාරය කළ ජර්මනියත් සමග එක් වී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම වෙත ශ්‍රී ලංකාවට විරුද්ධ යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුව ඔවුන්ට සම අනුග්‍රාහකත්වය දක්වයි.

බ්‍රිතාන්‍යය එම යෝජනාව කොමිසමට ඉදිරිපත් කරන විට ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව මන්නාරම සමූහ මිනීවළ පෙන්වීමට දෙමළ ‘ඩයස්පෝරාව’ ප්‍රධාන බෙදුම්වාදියෝ සූදානමින් සිටියහ. ඇමරිකාව ලංකාවට යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන බැවින් ඇමරිකාවේ ආයතනයකින් ලැබෙන වාර්තාව ඔවුන්ට වාසිදායක එකක් වේ යැයි හැමෝගේම බලාපොරොත්තුවක් තිබුණි. වාර්තාවෙන් ප්‍රකාශ වී ඇති ලෙසට එහි වැළලී සිටින්නේ මීට අඩ සියවසකට පෙර ජීවත් වූ මනුෂ්‍යයින් පිරිසකි. ඔවුන් එකවර ඝාතනයට ලක්වූවන්ද (මන්නාරම් කොටුවට ගෙනෙනු ලදුව) විටින් විට ඝාතනය කරන ලද වුන්ද යන්න පැහැදිලි නැත. මියගියවුන් අතර දරුවන්ගේ ඇටසැකිලි පවා හමුවී තිබේ.

බාගෙට පාදාගත් සමූහ මිනීවළේ කැණීම් කටයුතු නතර කර තිබේ. එය කිසියම් දිනක විනාශකර දමනතුරු දැනට පවත්නා ආකාරයෙන්ම තිබෙන්නට පුළුවන. කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට පොළොව හාරද්දී ඇටසැකිලි සිය ගණනින් මතු වූ විස්තර අප අසා තිබේ. ඒ ආකාරයටම මන්නාරමෙන් පෑදුන ඇටසැකිලි විනාශ කළත් ඇමරිකානු රසායනාගාර වාර්තාව සැඟවීමට නොහැකිය. එය දැන් ප්‍රසිද්ධ වී හමාරය. එමනිසා කොටි ‘ඩයස්පෝරාව’ සහ බෙදුම්වාදින් සතුටු කිරීම සඳහා සමූහ මිනීවළ පිළිබඳ උගතුන්ගෙන් අලුත් අදහස් ඉදිරිපත්වීම බලාපොරොත්තු විය යුතුය. මහාචාර්ය ඩී. ජී. කුලතුංග ඊට මගපාදා ඇතැයි අපට සිතේ. මන්නාරම් සමූහ මිනීවළ පරරාජසේකරම්ගේ ක්‍රියාවක් (Mannar mass grave a work of Jaffna king Pararajasekaram – Daily Miror Tuesday 12, 2012) බව ඔහු කියයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වූ මහාචාර්ය ඩී. ජී. කුලතුංග පොත් පත් ලියා ප්‍රකාශයට පත්කර ඇති ලංකාවේ ප්‍රසිද්ධ උගතෙකි. ඔහුගේ ඒ කිසිම ලියවිල්ලක් ප්‍රකාශයෙන් සුළු වේලාවක් යන්නට පෙර ලොව පුරා ප්‍රචාරය වී නැත. මේ ප්‍රකාශයට ඒ හපන්කම කරන්ට ලැබෙන්නේ කෙසේද? අන්තර්ජාලය නිසා විය හැකියි. දෙමළ ඩයස්පෝරාවේ හපන්කම විය හැකියි. වෙනත් බලවේගයක් ප්‍රවෘත්තිය ප්‍රචාරය කරනවා වන්නටද පුළුවන.

ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීමට කටයුතු කරන පිරිස අතර බෙදුම්වාදයට පූර්ණ සහාය දෙන දෙමළ කතෝලික දේවගැතිවරුන් කණ්ඩායමක් සිටිති. ප්ලොරිඩා රසායනාගාර වාර්තාව නිසා මොවුන් මහත් කැලඹීමකට පත්ව ඇත. ඊට හේතුව ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවූ වටිනාම සාක්ෂ්‍යයක් විනාශ වී යාම නොවේ. වන්නියේ විසූ සිංහලයන් සහ ඔවුන් කෲර ලෙස ඝාතනය කරවූ කිතුනු මිෂනාරීන් පිළිබඳ හෙළිදරව් විය හැකි බැවිනි.

වන්නියේ සිංහල බෞද්ධයන් වඳ කිරීමට කේරළයේ සිට හොර රහසේ මන්නාරමට පැමිණි ප්‍රැන්සිස් සේවියර් පියතුමා මූලික වූයේය. (මේ පිළිබඳ ප්‍රමාණවත් සාධක අප විසින් රචිත කොන්කිස්තදෝස් කෘතියේ සඳහන් වේ) ස්පාඤ්ඤ ජාතිකයෙකු වූ ඔහු පැරිස් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවති බාබරා කොලීජියේ ඉගෙනුම ලබමින් සිටියදී දේවස්ථානයේ මිලිටරි හමුදාව (Government of the Church Militants) නමැති අන්තවාදී සංවිධානය ගොඩනැගීමට මූලික වූයේය. මෙය වර්තමාන අයිසිස්, තාලිබාන් වැනි අන්තවාදී මුස්ලිම් සංවිධානයකට කිසිම වෙනසක් නැති ආගමික අන්තවාදී සංවිධානයකි. සංවිධානයේ පූර්ණ කාලීනයකු වශයෙන් හෙතෙම ඉන්දියාවට පැමිණියේය.

ඉන්දියාවේ හින්දු ඉතිහාසඥයින් ගණනාවක්ම ප්‍රැන්සිස් සේවියර් පියතුමා කළ හපන්කම් ගැන විස්තර සපයා තිබේ. සමහර තොරතුරු අන්තර්ජාලයෙන් කියවීමට පුළුවන. ‘ගෝව ඉන්කියුසිෂන්’ නමින් හැඳිනුම් ලබන මහා මනුෂ්‍ය සංහාරය පිළිබඳ මුල් බීජය දැමූ පුද්ගලයා වශයෙන් ප්‍රැන්සිස් සේවියර් පියතුමා සඳහන් වේ. ‘ඉන්කියුසිෂන්’ යනු එකල පැවැත්වූ කතෝලික අධිකරණයකි. ඉතා කෲර වධහිංසා පමුණුවා අන්‍යාගමිකයන් ඝාතනය කරමින් එම වැසියන් කතෝලික ආගමට හරවා ගැනීම එහි අරමුණයි. උතුරු හා දකුණු ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව යන හැම තැනකදීම ‘ඉන්කියුසිෂන්’ පවත්වා වැසියන් ඝාතනය කර තිබේ. ඉන්දියාවේ උගතුන් ඉතිහාසය හාරාඅවුස්සා එහි පැවැති ඉන්කියුසිෂන් අපරාධ සහ සේවියර් පියතුමාගේ සැබෑ ස්වරූපය අනාවරණය කරගෙන තිබේ. අවාසනාවට ලංකාවේ එවැනි උගතුන් දුර්ලභය. අපේ බොහෝ උගතුන් කරන්නේ සුද්දාගේ පොත් කටපාඩම් කර සාමාන්‍ය ජනයාට ප්‍රකාශ කිරීමයි. ලංකාවේ ඉන්කියුසිෂන් ඉතිහාසය වැළලී ඇත්තේ එහෙයිනි.

ක්‍රිස්තියානි ආගම පැතිරවීම වෙනුවෙන් ලංකාවේ සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් සම්බන්ධව ප්‍රැන්සිස් සේවියර් පියතුමා චෝදනා ලබයි. ඔහු, ‘ලංකාවේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම උදෙසා අනුකම්පා විරහිත අයුරින් කටයුතු කළ යුතු බව’ දන්වා පෘතුගාලයේ රජතුමාට ලිපි යවා තිබේ. කොන්ස්තන්තිනෝ ද බ්‍රැගැන්සා නමැති පෘතුගීසි ජෙනරාල්වරයා මන්නාරම ආක්‍රමණය කර ඇත්තේ ප්‍රැන්සිස් සේවියර් පියතුමාගේ උපදෙස් ලබමිනි. මන්නාරම, හලාවත, වත්තල ඇතුළුව රට පුරා විවිධ ප්‍රදේශයන්හි කතෝලික මිෂනාරීන් විසින් බෞද්ධයන් දහස් ගණන් කෲර ලෙස සංහාරය කරන ලද බවට සාක්ෂ්‍ය තිබේ. (විස්තර සඳහා කොන්කිස්තදෝස් කියවන්න) ගෝවේහි සිටි පර්නාඕ ද ක්වේරෝස් නමැති පියතුමා විසින් සකස්කරන ලදුව, එස්. ජී. පෙරේරා පියතුමා විසින් ‘ද ටෙම්පරල් ඇන්ඩ් ස්ප්‍රිච්වල් කොන්කෙස්ට් ඔෆ් සිලෝන්’ යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ බ්‍රැගැන්සාගේ ආක්‍රමණයෙන් පසු මන්නාරම කොටුවේ සේවය කළ පෙද්රෝ ද බැස්තෝ නමැත්තාගේ දිනපොතයි. පෘතුගීසීන්ට ලංකාව අල්ලාගන්නට අපහසු වූයේ ඔවුන් විසින් ලංකා ජනයාට කරන ලද දරුණු අපරාධ නිසා දෙවියන් කෝප වූ හෙයින් බවත් ඊට වෙනස් මගක් අනුගමනය කිරීමෙන් ලංකාව යටත් කරගත හැකි බවත් ක්වේරෝස් කියා තිබේ. එම ප්‍රකාශයම වුව පෘතුගීසින් මෙහි කළ අපරාධ පිළිබඳ හොඳ සාක්ෂ්‍යයකි.

පෘතුගීසින්ගේ පාලනය යටතේ පැවති ගෝව, ඉන්දීය හමුදාව විසින් හදිසියේ අල්ලා ගන්නා ලදී. එම අවස්ථාවේ ගෝව පෘතුගීසි ලේඛනාගාරයන්හි පැවති පැරණි ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඉන්දියානු රජය භාරයේ පවතී. අපට දැනගන්නට ලැබී ඇති ආකාරයට, ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කටයුතු කරන පෘතුගීසි භාෂාව පිළිබඳ ආචාර්යවරයෙක් එම ලිපි ලේඛන අඩංගු එක් ගුදමක් විවෘත කරගෙන එහි ලේඛන පරීක්ෂා කරමින් සිටී. මේවා නොබෝ කාලයකින් එළිදැක්විය යුතුය. පෘතුගීසින්ගේ යටත් විජිත පාලනය පිළිබඳ ලේඛන බොහෝමයක් තවමත් විවෘත වී නැත.

ජයවර්ධනපුර කෝට්ටේ නුවර ගිනිතබා විනාශ කිරීමට පෙර පෘතුගීසින් විසින් කැඳවාගෙන යන ලද ජයවර්ධනපුර රාජධානියේ රාජවංශික සියලු දරුවෝ සහ කාන්තාවෝ මන්නාරම පෘතුගීසි කොටුවේ විසූහ. කන්ද උඩරට රජ පවුලේ දරුවෝද මෙහි විසූහ. සීතාවක රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක රාජධානිය අල්ලා ගත් පරංගීහු, රාජසිංහ රජුගේ බිසව, දූවරුන් දෙදෙනා, පුතා සහ රජපවුලට සම්බන්ධ ඥාතීන් අත්අඩංගුවට ගෙන මන්නාරමට කැඳවාගෙන ගියහ. මන්නාරම සමූහ මිනීවළේ ඇත්තේ පෘතුගීසීන් විසින් සංහාරයට ලක් කරන ලද සිංහල බෞද්ධ වැසියන් බවට සැකයක් නැත.

සංකිලි, පරරාජසිංහම් වැනි ප්‍රාදේශීය පාලකයින් සටන් කළේද පෘතුගීසීන් පලවාහැරීමේ අරමුණිනි. මිනීවළ ඇත්තේ මන්නාරමේ මිස යාපනය ප්‍රදේශයේ නොවේ. පරරාජසිංහම් මන්නාරමට පහරදුන් බවට වාර්තා නැත. පුරාණ කතෝලික ලේඛකයින්ගේ අරමුණ පැහැදිලිය. ඔවුන් කර ඇත්තේ මිෂනාරීන්ගේ අපරාධ සඟවා හින්දු හා බෞද්ධ නායකයින් අපරාධකාරයින් බවට පත්කිරීමයි. මහාචාර්ය කුලතුංග වැනි නූතන උගතුන් කරන්නේ ඒ ලණුව ගිල වමාරා සාමාන්‍ය ජනයාටත් ගිල්ලවීමයි.

මහාචාර්ය කුලතුංගගේ ප්‍රකාශය පිළිගන්නා බෙදුම්වාදීන්ට ලංකාවේ ඉතිහාසය ගැන බොහෝ කතා ඉදිරිපත් කිරීමට පුළුවන. එම ප්‍රකාශය, මන්නාරම් ප්‍රදේශය පෘතුගීසින්ගේ කාලයේ දෙමළ ජනයාගේ වාස භූමියක් බව කීමට හොඳ උපකාරයකි. එමගින් වන්නි සිංහල රජවරුන් පිළිබඳ සියලු ඉතිහාස තොරතුරු යටපත් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. මන්නාරම පෘතුගීසි බලකොටුව මුල්කරගෙන පාතුගීසින් කළ සංහාරයන් සැඟවී යයි. එසේම පෘතුගීසි හමුදාවේ ආධාරය ඇතිව බෞද්ධ සංහාරයක යෙදුන ප්‍රැන්සිස් සේවියර් පියතුමා නිර්දෝෂී දේවගැතිවරයෙකු බවටද පත් වේ. ඒ සමග මන්නාරම සමූහ ඝාතන අපරාධය ඍජුවම දෙමළ හින්දුන්ට පැවරේ. අවසානයේ පරරාජසේකරම් වැරදිකරුවා බවට පත් වේ.

මහාචාර්ය කුලතුංග සිය ප්‍රකාශයට පදනම් කරගෙන ඇත්තේ, එඩ්මන්ඩ් පීරිස් සහ අචිලස් මිරසම් නමැති කතෝලික දේවගැතිවරුන් දෙදෙනා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද පෘතුගීසි කතෝලික දේවගැතිවරයකුගේ ලියවිල්ලකි. එහි අඩංගු කරුණු හිස් මුදුණින් පිළිගැනීම ශාස්ත්‍රීය ක්‍රමය නොවේ. පරිවර්තකයින් දෙදෙනාගෙන් එඩ්මන්ඩ් පීරිස් බිෂොප්තුමා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගෙන් ලංකාවට සිදුවූ සේවය ගැන බොහෝ දේ කියා තිබේ. කේරළ පරම්පරාවකින් පැවත එන එතුමා සිය ඓතිහාසික යුතුකම ඉටුකර ඇතැයි අපට සිතේ. ‘දකුණු ඉන්දියානුවන් සිංහලයින්ට නාට්‍ය කියා දෙයක් උගන්වා ඇත’ යන්න එතුමාගේ අදහසකි.

දෙමළ ‘ඩයස්පෝරාව’ යනු ලෝකයේ ඇති බලගතු සංවිධානයකි. එය සමග සිංහල ‘ඩයස්පෝරාව’ සමාන කිරීම ඇමරිකාව සමග ලංකාව සමාන කිරීම වැනි විහිළුවකි. සිංහල ‘ඩයස්පෝරාව’ ඉතා සුළු එකක් නමුදු මහා යෝධයාට නැති ආත්ම ශක්තියකින් එහි සාමාජිකත්වය කටයුතු කරන හැටි ජිනීවා නුවර කෙරෙන යුද්ධයෙන්ම පැහැදිලි වේ. මහාචාර්ය කුලතුංග වැනි උගතුන්ගේ දැනුම හා ශක්තිය රට රැකගැනීමට වෙහෙසෙන දෙමළ ‘ඩයස්පෝරාවට’ නොව සිංහල ‘ඩයස්පෝරාවට’ ලැබිය යුතුයි. විය යුත්ත එය නමුත් ඊට වෙනස් දෙයක් කිරීමට වුවත් දෙමළ ‘ඩයස්පෝරාවට’ හැකියාව තිබේ.

පෘතුගීසීන්ට ලංකාව අල්ලාගන්නට අපහසු වූයේ ඔවුන් විසින් ලංකා ජනයාට කරන ලද දරුණු අපරාධ නිසා දෙවියන් කෝප වූ හෙයින් බවත් ඊට වෙනස් මගක් අනුගමනය කිරීමෙන් ලංකාව යටත් කරගත හැකි බවත් ක්වේරෝස් කියා තිබේ.

ක්‍රිස්තියානි ආගම පැතිරවීම වෙනුවෙන් ලංකාවේ සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් සම්බන්ධව ප්‍රැන්සිස් සේවියර් පියතුමා චෝදනා ලබයි. ඔහු, ‘ලංකාවේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම උදෙසා අනුකම්පා විරහිත අයුරින් කටයුතු කළ යුතු බව’ දන්වා පෘතුගාලයේ රජතුමාට ලිපි යවා තිබේ.

(2019 මාර්තු 17 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link