මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

Last Updated on 4 months by admin

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියමින් චීනයට පක්ෂ ලංකාවක් ගොඩනැගීමට සැරසුන රෝහණ විජේවීර ප‍්‍රධාන ඒ මතය දැරූ කිසිදු කාඩර්වරයකු ජීවතුන් අතර නැත. අලූත් ජවිපෙ නායකයන් දණින් වැටී මෝදිගේ දෙපා මුලට බඩගෑම මාලිමාවේ වහලූන්ට නොපෙනේ. අතීතයේ සුසිලලා, අශෝකලා, පොඩි මැණිකේලා සිටියහ. දැන් හරිනිලා ඇන්පීපීයේ බලවතුන් වී ගැහැණුන්ව එක මිටියකට බඳිති. ඔවුන්ගේ හිතවතියෝ ලන්ඩනයේ සැණකෙලි පවත්වති. එයින් වැඩි දෙනෙකුට සිංහල කතා කරන්නට බැරිය.

ඉන්දියාවේ දේශපාලන බලය ලැබීමට පෙර නරේන්ද්‍ර මෝදිට ඇමරිකාවේ සංචාරයකට වීසා ලබාගත නොහැකි විය. ඊට හේතුව, බබ්රි මස්ජිඩය බිම හෙළා ඉන්දියාවේ හින්දු මුස්ලිම් කෝලහාලයක් ඇති කිරීමේ චෝදනා ලැබීමයි. බටහිර ඇසට ඔහු ආගම්වාදී දේශපාලනඥයෙකු විය. එහෙත් ඉන්දියානු ජාතිකත්වයට ඒ එසේ නොවීය. ඔවුන් මෝදි බලයට පත්කරන්නේ, ගාන්ධිලා ජාතිකත්වයක් නැති දේශපාලනඥයින් රැලක් හැටියට සලකමිනි.

මෝදිගේ ජනප‍්‍රියත්වයේ හා බලයේ පදනම හින්දු ජාතිකත්වයයි. බලයට පත් වූ පසු, අයෝධ්‍යාවේ රාම මන්දිරය ගොඩනගන බවට 2014 වසරේ මහජනයාට ප‍්‍රතිඥා දුන් මෝදි, 2024 දී එය විවෘත කර, හින්දු ජාතිකත්වයේ විශ්වාසය දිනා ගත්තේය.
ඉන්දියාව නැවත මහා මැතිවරණයකට සූදානම් වේ. මෝදිගේ ආණ්ඩුව නව පුරවැසි නීති කිහිපයක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඒවායින් සිදු වන්නේ ඉන්දියාව අසල පිහිටි ඉස්ලාම් රටවලින් සංක‍්‍රමණය වී ඉන්දියාවේ වෙසෙන හින්දු, බෞද්ධ, ක‍්‍රිස්තියානි ආගම් අදහන්නන්ට ඉන්දියාවේ පුරවැසිකම ලබාගැනීමේ මග පෑදීමයි. පකිස්ථානය, බංගාලිදේශය වැනි රටවලින් ඉන්දියාවට පැමිණ සිටින ඉස්ලාම් ආගමිකයන්ට ඒ සුදුසුකම නැත. එනිසා ඉන්දියාවේ නව පුරවැසි නීති ආගම පදනම් කරගත් ඒවා යයි මානව හිමිකම් කණ්ඩයායම් චෝදනා නගති. ඔවුන්ට වඩා ජන බලය වැදගත් බව මෝදි දනියි.

ඉන්දියාවේ දැවැන්ත දියුණුවට සාධක ගණනාවක් ආධාර වී තිබේ. ඉන්දියානු මධ්‍යම බුද්ධි සේවය ඒ අතර ප‍්‍රධානය. එය ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයට සමාන, ආණ්ඩු මාරුවෙද්දී වෙනස් නොවන ප‍්‍රබල බුද්ධි සේවයකි. ලංකාවේ ඊළාම් කොටි ත‍්‍රස්තවාදය බලවත්වීම, ඔත්තු සේවාව දුර්වල කිරීම හා සම්බන්ධ ක‍්‍රියාවකි. ‘මිලේනියම්’ පාවාදීම එහි ප‍්‍රසිද්ධ අවස්ථාවකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොටි ත‍්‍රස්තවාදය පරාජය වූයේ නැවතත් බුද්ධි සේවය ප‍්‍රාණවත් වූ හේතුවෙනි. ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශයට පත්කළ ‘මා ජනාධිපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණය’ පොත බුද්ධි අංශයේ ඇදවැටීම නැවත සිදු වූ බව නැණවතුන්ට පමණක් වටහා දෙන ලේඛනයකි. මිලේනියම් සිද්ධියට වගකිව යුතු නායකයෝ මහින්ද දිනවූ පොහොට්ටුවේ කරට නැග සිටිති.

ගෝඨාභයගේ පොතේ සඳහන් වී නැතත්, කොටි යුද්ධයෙන් පසු විදේශ ඇමතිවරුන් මාරුවීම් ප‍්‍රධාන විදේශ අමාත්‍යාංශයේ කටයුතු ගැන විමසිල්මත් වන්්නෙකුට, ලංකාව පාලනය කිරීමේ හස්තය මෙහෙවීමට විදේශීය බුද්ධියට හැකි වූ බව හොඳින් පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශිෂ්ඨ වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ බඳු අයෙකුට එය නොවැටහුනේ යයි පිළිගත යුතු නැත. බුරුමයට ආචාර්ය නලින් ද සිල්වාත් මාලදිවයිනට රෝහණ බැද්දගේත් තානාපතීන් වශයෙන් යවා ඉන්දියාව, ඇමරිකාව වැනි ප‍්‍රබල රටවලට තානාපතිවරුන් පත් කළ ක‍්‍රමය දුටු බුද්ධිමතුන්ට ඒ බව වැටහිණි.

ලෝකයේ ඔනෑම රටක ශක්තිය හා බලය ගොඩනැගෙන්නේ රටේ බුද්ධි අංශයේ ශක්තිය මතයි. පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලය රැකගත් පිළිවෙළ හොඳම නිදසුනයි. පිදෙල් බලයෙන් පහ කිරීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් සියල්ලටම වුවමනා විය. එය වැළකුණේ කියුබාවේ බුද්ධි අංශයේ ශක්තියෙනි.

මහා පරාක‍්‍රමබාහු ලංකාවේ විසූ කීර්තිමත්ම පාලකයෙකි. ඔහු බලයට පත්වීම විස්තර කෙරෙන වංශකතාවේ, සිංහල චරපුරුෂ සංවිධානය ගැන හොඳ සටහනක් තිබේ. රොඞී නමින් හඳුන්වන ගාඩි ජනයාගේ ජනප‍්‍රවාදය පරිදි ඔවුන් සිංහල රාජ්‍ය චරපුරුෂ සංවිධානයේ කොටසකි. කෞටිල්‍ය මගධ රාජ්‍යයේ චරපුරුෂ සංවිධානයේ නායකයා යයි මතයක් පවති.

වර්තමාන ලෝකයේ තවත් රටක තමන් අකමැති පාලකයින් වෙනස් කිරීමට හා ආණ්ඩු පෙරළීමට සිතන රටවල් ඒ සඳහා යොදාගන්නේ සිය ඔත්තු සේවය මිස හමුදාව නොවේ. ඉන්දියාව පසුගිය මාසයක චීනයේ බුද්ධි අංශ විසින් එවන ලදැයි සැක කොට අත්අඩංගුවට ගත් පරවියකු මාස 8ක සොයාබැලීමකින් පසු නිදහස් කළේය. එයින් පැහැදිලි වන්නේ, චීනය, ඉන්දියාව වැනි රටවල් මිනිසුන් පමණක් නොව, සතුන් පවා සිය බුද්ධි සේවයට යොදා ගන්නා බවයි.

විදේශ රාජ්‍යයනට අයත් නොයෙකුත් සංවිධානයෝ තමන්ට රිසි ලෙසට ලංකාවේ හැසිරෙති. ගමක් ගානේ පඳුරු ගසන යාඥා මධ්‍යස්ථාන නිදසුනකි. රාජ්‍ය බුද්ධි අංශය දුර්වල වීම ඊට හේතුවකි. සිංහලයන් අති බහුතරයක් දේශපාලන පක්ෂවල වහලූන් වශයෙන් කටයුතු කිරීම තවත් හේතුවකි. තමන් මොන වරදක් කළත් හුරේ දමමින් පස්සෙන් එන ඡුන්ද දායකයින් පිරිසක් සිටින බව බොහෝ දේශපාලනඥයෝ දනිති. සනත් නිශාන්ත මිය ගිය පසු ඔහු වෙනුවෙන් හ`ඩා වැළපුන මහා ජන ගංගාව ඊට සාක්කියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link