රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

Last Updated on 3 months by admin

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/

‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට රැගෙන ගිය බවයි, ඔහු අනාවරණය කළේ.

රට ට්රිලියන 08ක් ණය වුව ද රටේ වත්කම් ඇත්තේ ට්රිලියන 02ක් බවත් ට්රිලියන 06කට සිදු වූ දෙයක් නොමැති බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.’’

හර්ෂ ද සිල්වා ප‍්‍රසිද්ධ වී ඇත්තේ, ඇමරිකාවේ දී ආර්ථික විදයාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලද කෙනෙකු හැටියටයි. ඔහු පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේත්, මුදල්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ ජාතික ප‍්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේත් කටයුතු කරන්නේ ආර්ථිකය පිළිබඳව ඇති උගත්කම නිසයි.

නමුත් ඔහු රටේ ණය හා ඒවා හොරකම්කර ඇති ආකාරය පිළිබඳව කියා ඇති ඉහත අදහස්වලට අනුව දේශපාලන වාසි පිණිස රටවැසියන්  ඕනෑම බොරුවක් කියා රවටන්න පුළුවන් කියා හිතන උගත්කමට නොගැලපෙන කටයුතු කරන පුද්ගලයකු බවයි පෙනෙන්නෙ.

මේ ටි‍්‍රලියන වලින් හොරකම් කළ කතාව පසුගිය කාලයේ ගෝස්ෆේස් පෙළපාළිවල පවා දකින්නට තිබුණා. එහිදී කියවුණේ ඩොලර් ටි‍්‍රලියන 1000ක් රටෙන් අතුරුදහන් වී ඇති බවයි. එය කොතරම් විහිළුසහගත කතාවක් දැයි ඒ කාලයේම අනාවරණය වුණා.

හර්ෂ ද සිල්වා නොකියන වැදගත් කතාවක් තියෙනවා. ඒ තමයි පසුගිය වසරේ අග භාගයේ රජයේ විගණකාධිපතිවරයා සහ උසස් නිලධාරීන් මාධ්‍ය හමුවේ එළිදරව් කළ රජයේ වත්කම් හා බැරකම් ගිණුමේ අවුල. 2023 සැප්තැම්බර 16 වැනිදා https://sinhala.adaderana.lk/news/186929 වෙබ් අඩවියේ ඒ පිළිබඳව පළ වූ වාර්තාවක් මේ.

‘‘රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවිය.

එහිදී අනාවරණ වූයේ 2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්රමාණය රුපියල් ට්රිලියන 27ක් බවය.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්රමරත්න මහතා,

‘‘දැනට මූල්ය ප්රකාශන තුළ තිබෙන මූල්ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්රිලියන 02යි. හැබැයි මුලූ ව්යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්රිලියන 27ක්.‘‘

‘‘තව ට්රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා.. ඒක වත්කම් විදියට නෙමෙයි ප්රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය.‘‘

‘‘අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ.‘‘

මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

‘‘මේ ගැටලූව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්.’’

මෙයින් පැහැදිලියි, මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යංශය අතින් වරදක් සිදුවී ඇති බව.

හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් මේ තොරතුරු නොදන්නවා යැයි සිතන්නට අමාරුයි. ඒ නිසා ඔහු හිතාමතාම ජනතාව නොමඟ යැවීමක නිරත වන බවයි පෙනෙන්නෙ.

ඔය කියන විදියට නැව්වලින් පිටරටවලට ගෙනිහින් බැංකුවල මුදල් තැන්පත් කරන්නත් පුළුවනිද? එහෙම වුනා නම් ඒක ලෝක මාධ්‍යවලින් ප‍්‍රචාරය වන පුවතක් වෙන බවට සැක නැහැ. නැව්වලින් ගෙනියන්න තරම් විශාල මුදල් ප‍්‍රමාණයක් බැංකුවල තැන්පත් කිරීම ගිනස් වාර්තාවක් වෙන්නත් පුළුවනි. බැංකුවල එච්චර මුදල් තැන්පත් කරන්න සේප්පු තියෙයිද?

ඔය සල්ලි ගෙනියන්න වෙන්නෙ ඩොලර්වලින්නෙ. ටි‍්‍රලියන 8ක් වටින රුපියල් කොයි රටකින්වත් ණයට ගන්නත් බෑ රුපියල විදේශ බැංකු බාරගන්නෙත් නෑ. හිතාගන්න පුළුවන්ද මේ මුදල් ප‍්‍රමාණය කොච්චර බර වෙයිද කියල.

රුපියල් ට්රිලියන 6ක් කියන්නේ ඩොලර් කීයක්ද? අපි නිකමට උදාහරණයකට හිතමු ඒ කාලේ හැටියට ඩොලරයක් රු.130ක් කියල.  ඒ අනුව ට්රිලියන 6ක් 130න් බෙදුවාම මෙන්න උත්තරය 46153846153. දල වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 46ක්.

ඇමරිකන් ඩොලර් සියයේ නෝට්ටුවක් ග්රෑම් 1ක් බරයි.  මුලින්ම බිලියන 46 බෙදමු 100න් නෝට්ටු ගණන හොයාගන්න. 461538461. දැන් අපි මේ නෝට්ටු ප‍්‍රමාණයේ බර බලමු කිලෝ ග්රෑම්වලින්. ඒ සංඛ්‍යාව දාහෙන් බෙදමු. ආසන්න වශයෙන් කිලෝ 461538. දැන් මේවා දාන්න කන්ටේන්ර් කීයක්  ඕනද? සාමාන්‍යයෙන් අඩි 40 කන්ටේනරයක කිලෝ 26000 – 30000ක් අතර බරක් දාන්න පුළුවන්.  කන්ටේනර් 2ක විතර නෝට්ටු.  කඩදාසි බර නැති නිසා අවශ්‍ය කන්ටේනර් සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්.

නැවකින් බඩු ගෙනියනකොට රේගු පරීක්ෂණ, රේගු වාර්තා ආදිය තියෙන්න  ඕනනෙ. මෙහෙ නැතත් සල්ලි බැංකුවල දාපු රටවල. ඒ වගේම මුදල් ප‍්‍රවාහනය කළ ආරක්ෂිත රථ අයත් සමාගම්වලින් නිකුත් කළ ලේඛන  එහෙමත් තියෙන්න ඕනනෙ. හර්ෂ ද සිල්වා ඒ ගැන සොයාබැලීමක් එහෙම කරලාද දන්නෙ නෑ මේ වගේ කතාවක් කිව්වෙ?

ඇත්ත කතාව නම් මේ වගේ ලොකු ගනුදෙනු සිද්ධ වෙන්නෙ නෝට්ටුවලින් නෙවෙයි. බොහෝ විට මේ වගේ ගනුදෙනු සිදුවෙන්නෙ ඉලෙක්ට්‍රොනිකවයි. පරගණකගත ක‍්‍රියාවලින් මගින්.

හර්ෂ ද සිල්වා වගේ අය මෙවැනි කතා කියන්නෙ ඇයි? මෙයාලා හිතනවා මෙහෙම කිව්වාම රටේ මිනිස්සු කිසිදු වගවිභාගයක් නැතිව තමන් කියන දේ පිළිගනීවි කියල. ඇත්තටම මේ වගේ කතා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා. දේශපාලන සටන් පාඨ හැටියට මේ කතාව මොන තරම් නම් පාවිච්චි කරනවාද දැන්. මං මේක විස්තර කරන්නෙ රාජපක්ෂලා බේරන්නවත් රාජපක්ෂලා හොරු නෙවෙයි කියන්නවත් නෙවෙයි. හොරකම් නොකළ කීදෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ ඇතිද? ඉන්නවා. නමුත් බොහෝ දෙනා හොරකම්වලට සම්බන්ධයි. හොරකම් කෙසේ වෙතත් කොමිස් වගේ දේ හරහා මුදල්, සම්පත් හම්බ කරගත් අය. ඇයි වර්තමාන ජනාධිපතිවරයාටත් තියෙන්නෙ බැඳුම්කර චෝදනාව. විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති වගේ අයටත් චෝදනා තියෙන්නෙ. ඒවා ඇත්තද කියලා විමර්ශනය කරලා බැලූව කෙනෙක් ඉන්නවද, ඔය චෝදනා කරන අය අතරෙ.

මේ වගේ කතා නිසා සිද්ධ වෙන්නෙ රටවැසියන්ගේ විමර්ශන හැකියාව නැති වීම. ඒක දේශපාලකයින්ට ලොකු වාසියක්. තමන් කියන  ඕන දෙයක් පිළිගන්න මෝඩයො පිරිස වැඩි කරගන්න තමයි දේශපාලකයො මේ උත්සාහ කරන්නෙ.

රාජපක්ෂලා ඔය විදියට හොරකම් කරලා තියෙනවා නම් ලෝකෙ පිළිගත්ත ක‍්‍රමයක් තියෙනවා නඩු පවරලා ඒ ධනය නැවත රටට ලබාගන්න. ඒක ලෝක බැංකුවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය එක්ව පිහිටුවාගෙන තිබෙන ව්‍යූහයක්. The Stolen Asset Recovery Initiative (StAR)  නමින් ඒක හැඳින්වෙන්නෙ. දැනට මේ ආයතනයේ ආධාර ඇතිව කළ විමර්ශන 141ක් මගින් ඩොලර් බිලියන 10.1ක් එම වත්කම්වල හිමිකාරිත්වය ඇති රටවලට ආපසු ලබාදීලා තියෙනවා. දූෂණ වංචා සම්බන්ධ පැමිණිලි 556ක් වාර්තාගත කරලා තියෙනවා මේ ආයතනයේ. නමුත් ලංකාවේ එකම පැමිණිල්ලක්වත් මෙතනට ඉදිරිපත් කරලා නෑ.

රාජපක්ෂලා වේවා වෙන කවුරු හෝ වේවා රටේ මුදල් හොරකම් කරලා තියෙනවා නම්, ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂට පැමිණිලි කරන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි. එහෙම නැතිනම් මෙන්න මේ මාර්ගවලින් ලෝක බැංකුව සම්බන්ධ කරගන්න පුළුවන්. දු.ඇ. :202- 473-1000, ඊමේල් starinitiative@worldbank.org  නැතිනම් X (Twitter) @returningassets

අධෝ වාතයක් ගියත් ට්විටර් පණිවිඩ නිකුත් කරන අය ඇයි මේවා නොකර සිංහලෙන් කෑගහගහ ඉන්නෙ? හැමදාම එකම ෆයිල් උස්සාගෙන ඇවිත් සිංහලෙන් කෑගසා සිංහලයන් මෝඩයාට අන්දන්නට කරන මෝඩ ජවනිකා අතහැර මෙවැනි දේ නොකරන්නේ ඇයි? මේ කරන්නේ බොරුවක්දැයි ජනතාවට සැක හිතුනොත් පුදුමයක් නොවෙයි.

එක හේතුවක් තමයි මම අර කලින් කිව්වෙ. රටේ සේරම මෝඩයෝ කියල හිතාගෙන ඉන්න එක. තමන් කියන  ඕන දෙයක් දේව භාෂිත වගේ පිළිගන්න විමර්ශන ශක්තිය නැති කරගත් මිනිස්සු ටිකක් බිහි කරගන්න එක. කොයි පැත්තක වුනත් දේශපාලකයො එක එක විදියෙන් මේ වැඬේ කරනවා. මහ ජනතාව මේක අවබෝධ කරගත යුතුයි.

මේ විදියට සේරම කුණු බේරුවල බොක්කට කිව්වා වගේ රට බංකොලොත් වුණේ රාජපක්ෂලා හොරකම් කළ නිසයි කීමට තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේකෙන් පුළුවන් අනික් අයගේ දූෂණ වංචා සේරම යට යවන්න. මහජනතාවගේ අවධානයෙන් ඈත් කරන්න. “රාපක්ෂලා ට්රිලියන හයක් හොරකම් කරලා ඒකෙන් රට බංකොලොත් වෙලා.” බැදුම්කර වංචාව, මධ්‍යම සංස්කෘතික අරමුදල් වංචාව, හෙජින් ගනුදෙනුව, ෂෙල් ගනුදෙනුව සේරම යට ගිහින් රාජපක්ෂලාගේ හොරකම් නිසා රට බංකොලොත් වෙලා කියන කතාව විතරක් රට පුරා යනව.

‘රටේ ණය බව ඩොලර් බිලියන 60යි, ජවිපෙ හා එල්ටීටීඊ කෝලහාල නිසා ඩොලර් බිලියන 200ක් විනාශ වුනා’ කියා වරක් වික්ටර් අයිවන් කියා තිබුණා මට මතකයි. ඒවත් රට බංකොලොත් වෙන්න හේතු තමයි. හැබැයි රාජපක්ෂ හොරකම ටි‍්‍රලියන 6 කතාව ඉස්සරහට දැම්මාම මේ සේරම මිනිස්සුන්ට අමතක කරවන්න පහසුයි. ඒ මිනිස්සුන්ගෙ හැටි. මං කලිනුත් කිව්වෙ ප්රභාකරන් කිව්ව කතාව. සිංහලයින්ට යමක් මතක දවස් 14යි.

විමර්ශන ඥානය ඇති කරගන්න. කෙනෙකු කියන දේ ඉස් මුදුනින් පිළිගන්නෙ නැතිව ඒ ගැන හිතලා තවත් අය එක්ක සාකච්ඡා කරලා මේක ඇත්ත වෙන්න පුළුවන්ද කියලා හොයලා බලන්න පුරුදු වෙන්න. එතකොට දේශපාලකයන්ට ඔබව රවටන්න බෑ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link