ලොව උතුම්ම සුබපැතුම

Last Updated on 2 months by admin

සුද්දියක් වගේ නෝනා කෙනෙක් සිංහලෙන් කතා කරමින් සිංහල කතා කරන ජනතාවට කවුරුවත් මෙතෙක් නෑසූ දැවැන්ත ආශිර්වාදයක් ඉංග්‍රීසි භාෂාවෙන් දායාද කරන්න අපූරු උත්සාහයක් දරා තිබුණා. ඇයට අනුව ශ්‍රී ලංකාවේ සිංහල අපි හැම දිනයකම අන් අය අමතා Good Morning කිව යුතුය.

ඇයට අනුව දවස සාර්ථක වීමට ආශිර්වාදය ලබාගත හැක්කේ “Good Morning” කියා අන් අය ඇමතීමට පුරුදු පුහුණු වුණොත් පමණි.

වසර තුන්දහකට කලිනුත් දියුණු නගර තිබුණු බවට ඓතිහාසික සාක්ෂි ඇති සිංහල දේශයේ පැවතුණේ ගැමි සංස්කෘතියක්. එය රටේ මහා සංස්කෘතිය ලෙස හඳුන්වන්න පුළුවන්.

උත්තර අර්ධ ගෝලයේ සෑම රටක්ම පාහේ තම තමන්ගේ මව් බසින් සුබ උදෑසනක්, සුබ දවසක්, සුබ සැන්දෑවක් හා සුබ රාත්‍රියක් ආදී වශයෙන් උදේ රෑ එකිනෙකාට ආශිර්වාද කර ගැනීමක් කළද, දියුණු ශිෂ්ඨාචාරවලට හිමිකම් කියන ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින්ට ආශිර්වාද කිරීම සඳහා දවස තුළ වෙනස් වන කාලය පදනම් කරගෙන ආශිර්වාද කිරීමක් අදටත් නැත.

හින්දු ඉන්දියානුවන් දන්නා හඳුනන අයට “නමස්කාර්” කියා ආමන්ත්‍රණය කරන අතර ආසියාවද ඇතුළු මුළු ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් භක්තිකයින් “Salam Alaykum” (Peace upon you) කියා ආශිර්වාද කර ගන්නවා.

බ්‍රිතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යය තුළින් සුද්දා මෙන්ම යටත් වැසියන්ද තොර තෝංචියක් නැතුව උදේ අවදි වුණු මොහොතේ සිට රාත්‍රියට නින්ද යනතුරු “good morning” “good afternoon”, “good evening” සහ “good night” කියා දවස අවසන් කරනවා.

ලෝකයේ වැඩි දෙනෙක් කතා කරන භාෂාව වන ඉංග්‍රීසි වහර යොදා ගනිමින් “Good morning” කියා ආශිර්වාද කර ගත්තත් එයින් ආශිර්වාදයක් වීම කෙසේ වෙතත් මිත්‍රශීලීත්වයේ සංකේතයක් ලෙස එය අගය කරන්නට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිනවා.

කෙසේ නමුත් ලංකාව ආක්‍රමණය කළ ‍බ්‍රිතාන්‍යයන් දක්වාවූ යුරෝපියන් අපේ ගැමි මිනිසුන්ට ආශිර්වාද කිරීමට “good morning” කියා ඇමතුවේ නෑ. ආක්‍රමණිකයා යටත් වැසියාට ආශිර්වාද කරන බවක් අප නම් අසා නෑ.

“ඔබේ සිතට සාමය” අර්ථයෙන් ඉස්ලාම්වරුන් ආශිර්වාද කළ ද, ඔවුනොවුන් මරා ගනිද්දි මොන හිතකින් ඔබේ හිතට සාමය කියා ආශිර්වාද කර ගත හැකිද?

ඔය මොනම ආශිර්වාදයක්වත් නොකරගෙන අපේ ගැමියන් ගමට පමණක් නොව රටටත් ආශිර්වාද කරන ගම්මඩු, දේවපූජා කන්නලව් ආශ්‍රයෙන් රට පුරාම සාමය මෙන්ම සශ්‍රීකත්වයද රැක ගත්තා.

සුද්දා අපට “Go to Hell” කියා කඩා පනින විට අපේ අයියලා දෙකට තුනට නැවී සුද්දාට ” Good Morning Sir” කියන කාලයකුත් තිබුණා.

මොන භාෂාවෙන් අමතා මොන විදිහේ ආශිර්වාද කරගන්නට තැත්කළත් මිනිස් සිත හඳුනාගන්නා තුරු “අපි දිගටම වනාන්තරේ” බව නම් කිය යුතුමයි.

උදෑසනකට, දවාලකට, රාත්රියකට සුබ පතනවාට වඩා ‘ආයුබෝවන්’ කියා දිගු කලකට පළල් අරුතකින් සුබපැතීම කොතරම් උතුම්ද! අර්ථවත්ද!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link