විජේවීරගේ මරණයේ වාසිය කාටද?

Last Updated on 7 months by admin

දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව කාලයකට පසු එළිදැක්වුන සීඅයිඒ වාර්තාවක සඳහන්ව තිබුණි.


සෝවියට් සමූහාණ්ඩුවට සතුරු දේශපාලනඥයින් මරාදැමීම ආරම්භ වූයේ ලෙනින් ජීවත්ව සිටියදීමය. ලෙනින්ගේ මරණය පවා ඝාතනයක් බවට චෝදනා පවතී. ට්‍රොට්ස්කි ඝාතනය ඉතා ප‍්‍රකට සිද්ධියකි. එයින් පසු රුසියාවේ සතුරන් මරා දැමීම පිළිබඳ වාර්තා වූ සිද්ධි ගණනාවකි. මෑත කාලයේ පුටින්ගේ යුක්රේන ආක‍්‍රමණය විවේචනය කළ ඉහළ පෙළේ රුසියානු නිලධරයන් ගණනාවක් ‘සියදිවි නසාගත්’ බව වාර්තා විණි. මේ ‘සියදිවි නසාගැනීම්’ රාජ්‍ය මැදිහත්වීම් සහිත ඝාතන බවට චෝදනා එල්ල විණි.

දේශපාලන ඝාතන පිළිබඳව ඉන්දියාව චෝදනා ලබන්නේ මෑතක සිටයි. පසුගිය වසරේ, කැනඩා ඉන්දියානුවකු වූ හර්දිප් සිං නිජර්ගේ මරණය මූලික සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර අමනාපකමක් ඇති වූයේය. කැනඩාවේ විසූ හර්දීප් සිං, ඉන්දියාවෙන් පංජාබය වෙන් කරගෙන ‘කාලිස්ථාන්’ නමින් රටක් බිහි කිරීමට වෙහෙසෙන කාලිස්ථාන් ව්‍යාපාරයේ නායකයෙක් විණි. ඔහු බි‍්‍රටිෂ් කොලොම්බියාවේ සික් දේවාලයක් අසලදී තුවක්කුකරුවකුගේ ඉලක්කයට ලක්විය. රහස් පොලිස් වාර්තා පදනම් කරගෙන හර්දීප් සිංගේ මරණය ගැන ප‍්‍රකාශයක් කළ කැනඩාවේ අගමැති ටෲඩෝ, ‘වෙඩි තැබීම පිටුපස ඉන්දියානු ඔත්තු සේවය සිටියේ යැ’යි කීවේය.

කාලිස්ථාන් ව්‍යාපාරයේ තවත් නායකයකු වන ඇමරිකා ඉන්දියානු වැසියෙකු වූ ගුරුපත්වාන් සිං ඝාතන සැලසුම මීට පසු වාර්තා වූ සිද්ධියකි. ඒ ක‍්‍රියාව පසුපස ඉන්දියානු රහස් ඔත්තු සේවය සිටින බවට සැකයක් පැතිරුන නමුත් ඉන්දියා ඇමරිකා මිත‍්‍ර සබඳතා රැුකගැනීමට වැඩි උනන්දුවක් දැක්වූ ඇමරිකාවේ ජනාධිපතිවරයා ඉන්දියාවට චෝදනා එල්ල නොකර නිශ්ශබ්ද වූයේය.

ජවිපෙ නායකව සිටි රෝහණ විජේවීර ඝාතනය නිසා සිදුවූ ප‍්‍රධාන ක‍්‍රියාව ජවිපෙ නායකත්වය සිංහල බෞද්ධ උරුමය පිළිගැනීමට අකමැති කණ්ඩාමක් අතට පත්වීම බව මෑතකදී ප‍්‍රකාශයට පත් ‘බෞද්ධ සංස්කෘතික කොල්ලය’ පොතේ සඳහන් කළෙමු. එය ආසියාවේ දේශපාලනය, ජවිපෙ වෙනස්වීම හා විජේවීර චරිතය පිළිබඳ අධ්‍යයනයකින් පසු කළ විවරණයකි.

ඉන්දියානු ව්‍යාප්තවාදය පැරණි ජවිපෙ ප‍්‍රකාශයට පත් කළ අදහසකි. ඒ අළලා සාමාජිකයන්ට දේශපාලන පන්තියක් පැවැත්වූ කළ ජවිපෙ, ඉන්දියාව තමා වටා පිහිටි සියලූ රටවල්වලට බලය පතුරුවන බව පෙන්වා දුන්නේය. මෙවැනි අදහසක් දරන නායකයකු යටතේ පවත්නා පක්ෂයකට ලංකාවේ බලය අයිති වීම ඉන්දියාවට තර්ජනයකි. වර්තමාන ජවිපෙන් ඉන්දියාවට එවැනි තර්ජනයක් නැත. මාක්ස්වාදී මුහුණක් ඇති එම පක්ෂය බලයට පත්කිරීම ඉන්දියාවට මෙන්ම දෙමළ ඩයස්පෝරාවටත් අනෙකුත් බෙදුම්වාදීන්ටත් රටේ අරාජිකබවක් අපේක්ෂා කරන සියලූ පාර්ශ්වයන්ටත් වාසියකි.

1 thought on “විජේවීරගේ මරණයේ වාසිය කාටද?”

  1. විජේවීරව අල්ලා ගැනීම ගැන සෝමවංශ අමරසිංගේ නම ගෑවී ඇත. විජේවීරගේ ගේ ගෙය හමුදාවෙන් වට කරද්දී සෝමවංශ සිට ඇත්තේ ඒ අසලය. ඔහු පැන ගියා යයි කියැවේ. නමුත් ඔහුගේ ඥාති සිරිසේන කුරේ විසින් ඔහුව ඉන්දියාවට යවන ලද බව එලිවිය. මේ සම්බන්ධයෙන් ඒ කාලයේ තිබූ තොරතුරු සමඟ ලිපියක් මම ලංකාවෙබ් එකට ලිව්වෙමි. එම ලිපියේ එස්.බී. දිසානායක විසින් යමෙකු ඝාතනය කිරීමට චන්ද්‍රිකා විසින් කල ඉල්ලීමක්ද සඳහන් කර මේ සිදුවීම් දෙක ගැන සත්‍යය පැහැදිලි කරණ ලෙස මේ දෙන්නාටම මම අභියෝගයක් කලේය. සිංගර් මැසිමක බිලක් හරහා විජේවීරව අල්ලා ගත්තා යන කතාවක්ද පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link