විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ

Last Updated on 5 months by admin

බුද්ධිමතා ප්‍රශ්නවලට කල්තියාම සූදානම් වෙයි. මෝඩයා වතුර හැලිය නටන බව දැනගැනීම සඳහා ඊට අත දමා අතපුළුස්සාගෙනම යථාර්ථය තේරුම් ගනී. එහෙත් මේ යථාර්ථය ම තේරුම් ගැනීමට නැවත නැවතත් අතපුළුස්සා ගන්නා “යුගයේ බුද්ධිමතුන්” ද අප අතර නැතිවා නොවෙයි.

“ජවිපෙක් වෙන්න ලෙහෙසි නෑ” කියන කතාවේ කුප්‍රකට නොවෙයි සුප්‍රකට ඇත්තක් තිබේ.

ජවිපේ ඉතිහාසයේ “අ”යන්නේ සිට “ළ” දක්වා මා ඉගෙන ගත් පාඩමට අනුව රෝහණ විජේවීරගේ යුගයේදී විප්ලවවාදියෙකු විය හැකි වුණේ පරාර්ථය පෙරදැරි කරගත් මමත්වය බොහෝ දුරට නැති කරගත් විනය අතින් ආදර්ශයක් දුන් පුද්ගලයින්ටයි.

71 දී ප්‍රතිවිප්ලවය ඉදිරියට අවුත්, සැබෑ දේශප්‍රේමීන් මරා දැමූ පසු, ඇමරිකාව සහ ඉන්දියාව විසින් තනා දුන් ජවිපය දිගින් දිගටම පවත්වාගෙන ගියේ බලවතුන්ගේ ඕනෑපාකම් සපුරාලමින් කොන්ත්‍රාත් ක්‍රමයට දේශපාලනය කරගෙන ගිය බඩගෝස්තරවාදී පිරිසකි. (එය එසේ නොවන බව කියන්න හැකි ජගතෙකු ලංකාවේ හෝ රටින් පිට සිටී නම්, මෙම අභියෝගය බාරගන්නා ලෙස මම ඇරයුම් කරමි).

අප කුඩා කාලයේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනය ඉතාමත් ගෞරවාන්විත තත්ත්වයක තිබුණි. භික්ෂු විනයත්, ශීලයත් බුදුදහමේ චිරස්ථිතිය සඳහාම කැප විණි.

1971දී සාමණේර උන්නාන්සේලාව පොලිසියට හා සන්නද්ධ හමුදාවලට බෝම්බ ගහන්න පුරුදු කළ දවසේ සිට, එම “යතිවරයන්” ගෙන් පැවත ගෙන එන පරම්පරාව චීවර දරාගෙන සේවය කළේ ඇංග්ලිකානු සහ කතෝලික පල්ලි වලටය. ඔවුන් කොතරම් සැහැසි වුණාද කිවහොත්, ‘ප්‍රභාකරන් යනු “මහත්මයෙක්” යැ’යි කියන්නට තරම්, ඔවුහු මිනිස්කමින් පිරිහී සිටියහ.

1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියස ඝාතනය වූ බෞද්ධ සැදැහැවතුන් 175ක පමණ පිරිස ගැන ජවිපෙ වෙනුවෙන් කඩේ යන කිසිම භික්ෂුවක මේ වන තුරුත් කෙළ බිඳක් හෙළා නැත. එහෙත් ඔවුහු කළු ජූලිය ගැන දිගටම කතා කළහ.

2019 පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමගම ඒ පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාමට කාදිනල්ගේ දෑත් ශක්තිමත් කළ පිරිස අතර ජවිපේ සාමාජිකයින් මෙන්ම පල්ලියෙන් වැටුප් ලබන ඊනියා භික්ෂූන් පිරිසක් ද අදටත් සෑදී පැහැදී සිටිති.

රෝහණ විජේවීරගේ යුගයේදී සැබෑ විප්ලවවාදියෙකු වීම සඳහා පූර්ව කොන්දේසි ගණනාවක් ඉටු කිරීමට එවකට තරුණ තරුණියන්ට සිද්ධ වුණි. උදාහරණයක් ලෙස: ඔවුහු දුම් පානයෙන් සහ මත්පැන් බීමෙන් පූර්ණ වශයෙන් වැළකී සිටියහ. අනාගත පරපුර මෙවන් දුෂ්චරිත ක්‍රියාවලින් ඈත් වීම, ස්කාගාරවලට හා දුම් කොළ කර්මාන්තයට කන කොකා හැඬලීමක්.

1988 දී 44 හැවිරිදි බ්‍රසිලියානු රබර් කිරි කපන්නෙකු වූ Chico Mendes ම්ලේච්ඡ අන්දමින් මරා දමනු ලැබුවේ ඇමේසන් වනාන්තරයේ දැවැන්ත වන සංහාරයක් කරමින් සිටි ධනේෂ්වර බහුජාතික සමාගමක කොත්තරාත්තුවක් භාරගත් වෙඩික්කරුවෙකු අතින්. අද ජවිපෙ නිකමට හෝ Chico Mendes වැනි වීරයන් ගැන කතා කරනවාද?

71දී ජවිපේ සාමාජිකයින්ට නිල ඇඳුම් මැසීමේ වරදට කතරගම රූප සුන්දරී ප්‍රේමවතී මනම්පේරිව සමූහ දූෂණයට ලක් කර මරා දමනු ලැබුවාය.

එහෙත් කලක් ජවිපෙ නායකයා වී සිටි සෝමවංශ අමරසිංහව ඉතාමත් සුරක්ෂිතව රටින් පිට කරන්නේ ජවිපෙ තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කිරීමට ඇමරිකානු CIA එකට සහාය දුන් සිරිසේන කුරේයි. ඒ සඳහා ඔහු සහාය ලබා ගන්නේ යුද හමුදාවේ කපිතාන්වරයෙකුගෙනි.

සිංහල ගැමි බෞද්ධ දිළිඳු පවුලක උපන් ජවිපේ සාමාජිකාවක වූ ප්‍රේමවතී මනම්පේරිට බෙදූ හැන්ද සහ පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහට බෙදූ හැන්ද අතර හිතාගන්නට බැරි තරම් වෙනසක් ඇතිවූ බව රටේ ජනතාව අදටත් තේරුම් ගෙන නැත.

මෙම ඛේදවාචකයේ කූටප්‍රාප්තිය ඉන්පසුව සටහන් වන්නේ 1989 නොවැම්බර් මස 13 වෙනිදා ජවිපෙ සැබෑ නිර්මාතෘ රෝහණ විජේවීරව පණපිටින් බොරැල්ලේ ආදානාගාරය තුළ පුළුස්සා දැමීමෙන් පසුවයි.

ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල සාමාජිකත්වය පසු පසින් එළවා අවුත් ලබාදෙන ආකාරයටම අද දවසේ ඕනෑම රස්තියාදුකාරයෙකුට තක්කඩියෙකුට දූෂිතයකුට ජවිපෙ පමණක් නොවෙයි NPP යෙහිද ගෞරවනීය සාමාජිකත්වය ලැබිය හැකියි.

“බියට පත්වූ මිනිසුන් ගස් ගල් සරණ යන” බව වසර 2500 ගණනකට ඉහතදී බුදුන් වහන්සේ වදාළහ.

ගස් ගල්වලට හිතක් පපුවක් තිබුණත්, අද දේශපාලනයේ රජ කරන මිනිසුන් අතර හිතක් පපුවක් ඇති එකෙකු සොයා ගැනීම කළුනික සොයන තරම් දුෂ්කර කාර්යයකි. මේ යථාර්ථයට පිටුපා ජවිපෙට හෝ ජාතික ජන බලවේගයට යා හැකි දේශපාලන ගමනක් තිබේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link