සිංහල කොණ්ඩය

Last Updated on 4 months by admin

රටේ සාමාන්‍ය වැසියෙකුට ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම ඉතා අසීරුව පැවති කාලයක් තිබුණි. ඊට හේතුව ආදායම් බදු ගෙවන ඇපකරුවෙකු ආගමන විගමන කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇප අත්සනක් දිය යුතු වූ බැවිනි. ජේ ආර් පාලන සමයේ ඒ දුෂ්කර ක‍්‍රියාව නැවතුනි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ සිංහල දෙමළ කෝලහාලය ඔහුගේ පාලන සමයේ සිදුවීම් දෙකකි. දහස් ගණන් දෙමළ ජාතිකයෝ අපහසුවක් නැතිව රටින් පිට වූහ. ජර්මනිය ඔවුන් වැඩිම පිරිසක් ගිය රටකි. එහි ලංකා තානාපති කාර්යාලය සහ කිතුනු සංවිධාන රටට එන දෙමළ ලාංකිකයන්ට පිහිට වීමට මග බලාගෙන සිටියහ. ලංකා තානාපතිවරයා පසු කලෙක දෙමළ ඩයස්පෝරාවේ ක‍්‍රියාකාරී පුද්ගලයකු වූ බව අප අසා ඇත.

රටේ සිංහලයන්ට සිදුවන අසාධාරණය ගැන කතා කිරීමට බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය පිහිටුවිණි. එහි සාමාජිකයෝ කොණ්ඩය වවා බඳින්නට පටන්ගත්හ.

නිදහස ලැබී කාලයක් ගතවන තුරු ගම්වල සිංහලයෝ කොණ්ඩය නොකැපූහ. බටහිර බලය විසින් ඔවුන්ගේ කොණ්ඩය කැප්පවූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. ‘සිංහල කොණ්ඩය’ පළ කරන ලද්දේ මේ ගැන කරුණු පැහැදිලි කිරීමටය. එහි බොහෝ කොටස් ‘සිළුමිණ’ පත‍්‍රයේ ශාස්ත‍්‍රීය අතිරේකයේ පළ විය.

ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල කොණ්ඩය පදනම් කරගෙන නොයෙක් හිංසාකාරී ක‍්‍රියා තවමත් සිදු වේ. කොණ්ඩය පදනම් කරගෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් අහිමිවීමට විරුද්ධව ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සංවාදයක් සිදුවිය. (French Parliament backs bill against hear discrimination – BBC) ඇමරිකාවේද මෙවැනි පනතක් සම්මත වෙමින් පවතී.

ඉංග‍්‍රීසි පාලන කාලයේ ලංකාවේ හමුදාවට හෝ පොලිසියට බඳවා ගැනුණේ කොණ්ඩය කොටට කැපූ සිංහලයන් පමණි. කොණ්ඩය වැවීම සහ බැඳීම හේතුවෙන් සිංහලයන් තරම් හිංසනයට ලක්වූ වෙනත් ජාතියක් ලොවේ නැත. ඒ ගැන දැනුමක් ඇත්නම්, ඒ සිංහලයන් කිහිප දෙනෙකුට විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link