සුනාමියට සැරසෙමු

Last Updated on 2 months by admin

කොටි ත‍්‍රස්තවාදය පැරදවීම, ඊළාම්වාදීන් හෝ ඔවුන්ගේ ආධාරයෙන් ලංකාව දෙකඩ කඩා උතුරේ කතෝලික ඊළාම් රාජ්‍යයක් පිහිටුවන්නට උත්සාහ කරමින් සිටි බටහිර බලවේග හෝ කිසිසේත්ම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. මේ නිසා ඔවුන් දැනගත්තා ගෝඨාභය-සරත් ෆොන්සේකා වැනි අය බලවත්ව සිටිනතාක් කල් ඔවුන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගත නොහැකි බව.

මුලින් ඔවුන් කළේ, ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ වෙන් කිරීම. ගෝඨාභය ෆොන්සේකා ගැන අවබෝධයක් ඇතිව කටයුතු කළ කෙනෙක්. ෆොන්සේකාව හමුදාපති තනතුරට පත් කළා වගේම, මහින්ද – ෆොන්සේකා විරසකය අවස්ථාවේදිත්, ෆොන්සේකාව ආරක්ෂා කරගැනීමට ගෝඨාභය උත්සාහ කළා.

මැතිවරණයෙන් පසුව ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අවස්ථාවේ ගෝඨාභය ඊට විරුද්ධ වී තිබෙනවා. නමුත්, ‘ඔයා තමයි මේ යකාව හමුදාපති කරලා අපිව අමාරුවෙ දැම්මෙ. ඔයා පැත්තකට වෙලා ඉන්න’ කියූ මහින්ද ෆොන්සේකා හිර කළා.

යුද්ධ පරදින බොහෝ පාර්ශව, ජයග‍්‍රහණයට මුල් වූ නායකයින් මේ වගේ කුමන්ත‍්‍රණ මගින් පසමිතුරන් බවට පත්කිරීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. ‘සතුරාගේ සතුරා මගේ මිතුරාය’ සංකල්පය තමයි මේ යට තියෙන්නෙ.

මහින්ද කෙසේ වෙතත්, ගෝඨාභය සහ ෆොන්සේකා අතර සම්බන්ධය දිගටම තිබුණා නම් රටේ තත්වය මීට වැඩිය බොහෝම වෙනස් වන බවට සැක නෑ.

දැන් කොටි පරාජය කළ නායකයින් හතර අතේ බෙදිලා. මේ බෙදීමට පාර කැපුණේ කොහොමද?

මහින්ද සහ ෆොන්සේකා අතර විරසකය ඇති කරන්නට කපුකම කළේ ජවිපෙ. ඔවුන් ගණන් හදා ෆොන්සේකාට පෙන්නුවා මැතිවරණයෙන් ඔහුට දිනන්නට හැකි බව. එජාප චන්ද, ජවිපෙ චන්ද, ආරක්ෂක හමුදාවල චන්ද එකතු කළාම ෆොන්සේකාට දිනන්නට හැකි බවයි ඔවුන් පෙන්නුවේ.

එය, හුදු දේශපාලන ජය පතාගෙන ජවිපෙ විසින් කරන ලද දෙයක් යැයි සිතීම ලොකු අනුවණකමක්. ඒක ඊට වැඩිය ලොකු සැලසුමක් ඇතිව කළ කුමන්ත‍්‍රණයක්. විශේෂයෙන්ම අවස්ථාවාදී වැඩ කරන්න හපනුන් වුණත්, ඒක තනිකර ජවිපෙ කුමන්ත‍්‍රණයක් යැයි මා සිතන්නෙ නැහැ. ජවි පෙරමුණේ වැඩකටයුතු සීරුවෙන් නිරීක්ෂණය කළාම පේනවා ඔවුන්ට එච්චර ලොකු කුමන්ත‍්‍රණයක් නිර්මාණය කරගන්න බෑ කියල. අඩු තරමින් ප‍්‍රතිවාදීන් උස්සලා දෙන බෝලයට හරියට ඩෑෂ් එක ගහන්නවත් ඔවුන් දන්නෙ නෑ. ෆොන්සේකා – රාජපක්ෂ විරසක කුමන්ත‍්‍රණය යට වෙනත් බලවේගයක් ඉන්නවා.

දැන් ජවිපෙ නැතිනම් මාලිමාව බලයට ගේන්න කටයුතු කරන්නෙත් එම බලවේගම තමයි. බුද්ධාගම ප‍්‍රතික්ෂේප කරන, සංස්කෘතියට උරුමයට පහර ගහන ජවිපෙ බලයට පත් කරගැනීම, කුමන්ත‍්‍රණකාරයින්ගේ වැඩපිළිවෙළට ලොකු හයියක්. බුදු සසුන නසා සිංහල උරුමය වනසා දැමීම තමයි මේ වැඩපිළිවෙළේ ඉලක්කය. ඒ නිසයි මම කියන්නේ, මේ සතුරු බලවේගය පරාජය කිරීමට හයිය ඇති ගෝඨාභය සහ ෆොන්සේකා නැවත එකතු කර ඔවුන්ට ජනබලය ලබාදිය යුතු බව.

දැන් කෙනෙක් කියන්න පුළුවන්, ෆොන්සේකා අමාරුකාරයා, මිනිහා එක්ක වැඩ කරන්න බෑ වගේ කතා. නමුත් ගෝඨාභය, ෆොන්සේකා එක්ක වැඩ කළා. විවිධ අදහස්, මතිමාන්තර, ඇවතුම් පැවතුම් ඇති අය එක්ක එකට වැඩ කිරීම තමයි හපන්කම. නායකත්වය. තමන් කියන කියන දේට එහෙයි එහෙයි කියන දුර්වලයො එක්ක වැඩ කරලා රටවල් ගොඩනංවන්න, සටන් දිනන්න බෑ. සමහර විට කෙනෙකුට දක්ෂයා පෙනෙන්නෙ අමාරුකාරයෙක් හැටියට. දේශපාලනයෙදි ඒක වැඩිපුර දැනෙන්න පුළුවන්. හැමෝම බලයට කැමති නිසා.

මම නිරීක්ෂණය කළ දෙයක් තමයි, ගෝඨාභය, ෆොන්සේකාව පාවා දෙන්න උත්සාහ නොකර නිහ`ඩව ඉන්න බව. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන ගෝඨාභයට තමයි බොහෝ දෙනා ඇඟිල්ල දික් කරන්නෙ. නමුත් මම අහලා තියෙන කතාව ඊට වෙනස්. දෙන්නා ගැනම තොරතුරු දන්න සමහරු කියන හැටියට නම් ඊට සම්බන්ධ ෆොන්සේකායි. නමුත් ගෝඨාභය කොයිම අවස්ථාවකවත් ෆොන්සේකා දිහාට ඇඟිල්ල දික් කරලා නැහැ ඒ සම්බන්ධයෙන්.

ගෝඨාභය වගේම ෆොන්සේකාත් දැන් ඉස්සරට වැඩිය දේශපාලන වශයෙන් පොහොසත්. ෆොන්සේකා දැන් ඉස්සර වගේ ‘කළවැදි කතා’ කියන්නෙ නෑ. පිඟන් බිඳෙන්නෙ පිඟන් හෝදන මිනිහා අතින් මිස බලාගෙන ඉන්න මිනිස්සු අතින් නෙවෙයි. තමන් අතින් බිඳුණ පිඟන් දිහා බලලා, ගෝඨාභයට වගේම ෆොන්සේකාටත් නැවත පිඟන් බිඳගන්නෙ නැතිව වැඩ කරන්නෙ කොහොමද කියලා හිතන්න පුළුවන්.

පරණ දේවල් අල්ලගෙන, දිගින් දිගටම ඒවා පට්ටගහමින් දේශපාලන කරන්න බෑ. රටවල් ගොඩනගන්න බෑ. අපි ඒක අවබෝධ කරගෙන, අදාළ අනික් පාර්ශ්වවලටත් වෙනස් වෙන්න අවස්ථාව පාදා දෙන්න ඕන. එහෙම තමයි ජයග‍්‍රහණය කරා යන්න වෙන්නෙ.

මහසෙන් රජ්ජුවෝ පොට වරද්දාගත්තාම මේඝවර්ණාභය ඇමතිවරයා රජුට එරෙහිව යුද්ධයට සැරසෙනව. පහුවදා යුද්දෙට සූදානම්ව කඳවුරු බැඳගෙන ඉන්නකොට රාත්රියෙ ඇමතිවරයාට රසවත් අඹ වගයක් ලැබෙනව. දෙන්නාගෙම පුරුද්දක් තිබුණා, රසවත් කෑමක් ලැබුණාම එකට භුක්ති විඳින. ඒ පුරුද්දට අනුව ඇමතිවරයාත් රජුත් අඹ කන්න හමුවූ අතරෙ ඇතිවුන කතාබහේදි ඇමතිවරයාට පුළුවන් වුනා රජුට වරද පහදා දීලා, හරි මාර්ගයට ගන්න. අන්න දේශපාලනය.

සර්ව ජන බලය සන්ධානයේ කිසි කෙනෙකුට ගෝඨාභයට හෝ ෆොන්සේකාට තියෙන ජනප‍්‍රසාදය නැහැ. දිලිත් ජයවීර කියන්නෙ කවුද කියල ගම්වල මිනිස්සු අහනවලූ. කොළඹ හා අවට අය නම් යම් පිරිසක් ඔහුව දන්නවා ඇති. දිලිත් ජයවීරට මම කැමති ඔහු හොඳ ව්‍යවසායකයෙක් නිසයි. දක්ෂ ව්‍යවසායකයින්ට තමයි හැකියාව තියෙන්නෙ රටවල් දියුණු කරන්න. ඔහුගේ ‘දෙරණ’ මාධ්‍යයේ සමහර දේවල් ගැන මගෙ කිසි කැමැත්තක් නැහැ. එහි ඇති ජාතිකත්වයක් නැහැ. නිවැරදිව පාවිච්චි කරනවා නම් ‘දෙරණ’ රට දැය සමය වෙනුවෙන් විශාල සේවයක් කළ හැකි ආයතනයක්. දෙරණෙ පෙනී සිටින සමහර බකපණ්ඩිත නිවේදකයො පියරු බබ්බු වගේ. නමුත් ඒ නිසා ව්‍යවසායකු වශයෙන් දිලිත්ට ඇති මගේ කැමැත්ත අඩු වෙන්නෙ නැහැ.

ඒ වගේම ඔහු දූෂිතයෙක් බවටත් සාක්කි නෑ. ඔහු අනුර දිසානායකට විවාදයට අභියෝග කරන්නෙ ආත්ම විශ්වාසය නිසයි. ඒක හොඳ ලකුණක්. අනුර දිසානායක ඒ විවාදය මගඇරලා සජිත් වගේ දුර්වලයෙකුට අභියෝග කරනවා විවාදයට එන්න කියල. මේවා මිනිස්සුන්ගෙ තත්වය අවබෝධ කරගන්න හොඳ සාධක.

දිලිත් දේශපාලනය පටන්ගන්නෙම අන්තිම පිරිහුන දෙන්නෙක් එකතු කරගෙන. සරත් අමුණුගම හා හේම කුමාර නානායක්කාර. බෝම්බ දෙකක් බැඳගත්තා වගේ. එක බෝම්බයක් නම් ලෙහිලා ඊයෙ පෙරේදා සන්ධානය ගහපු නිසා. ඒ වගේ ජරපත් දේශපාලන චරිත දෙකක් ඈඳාගෙන දේශපාලනයට බැස්ස දිලිත්ට, ගෝඨාභය හා ෆොන්සේකා එක්තු කරගන්න පුළුවන් වෙන්න ඕන. දිලිත් ජයවීරට මේ අවස්ථාවේ කරන්න තියෙන ඥනවන්තම කාර්යය ඒකයි.

මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන් සුනාමියක් වගේ රැල්ලක්. මේ වෙලාවෙ එහෙම රැල්ලක් කිසිම දේශපාලන කඳවුරකට නැහැ. ගෝඨාභය සහ ෆොන්සේකා එක් කරගත්තොත් සර්ව ජන බලයට පුළුවන් වෙයි සුනාමි රැල්ලක් හදන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link