Last Updated on 8 months by admin
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය.
රෝහණ විජේවීර නායකත්වය දුන් ජවිපෙ නායකයන් විදේශවලට ගිය අවස්ථා මට සිහිපත්කර ගත හැක්කේ දෙවතාවකි. පළමුව කියුබාවේ පැවති තරුණ සමුළුවට විජේවීර, කෙලී, සුනිලා සහ තවත් දෙතුන් දෙනෙකු ගිය අවස්ථාවය. රෝහණ ඒ ගමනම තවත් රටවල් 4 කට ගොස් මහා බ්‍රිතාන්‍යයේ ජවිපෙ ලන්ඩන් ශාඛාවද පිහිටුවා පැමිණියේය. බෝපගේ, කේරළ කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ජාවකට ඉන්දියාවට ගියේය. ගමනායක කවමදාකවත් පිටරටකට නොගියේය. සෝමවංශ රටින් පිටවූයේ ජීවිත ආරක්ෂාව සඳහාය.
මට මතක හැටියට ගලප්පත්ති මන්ත්‍රී ධුරයට පත්වූ පසු ජවිපෙ නායකයෝ එක එකා බැගින් විදේශ සංචාර සඳහා යන්නට පටන් ගත්හ. මේ සඳහා පාක්ෂිකයන්ගේ චෝදනා හෝ ප්‍රශ්න කිරීම්වලට ලක් නොවෙනු සඳහා උපක්‍රමයක් යොදාගනු ලැබීය. එංගලන්තය, ප්‍රංශය වැනි රටක සිටින ජවිපෙ සංවිධායක ගෘහස්ත රැස්වීමක් සංවිධානය කොට අදාළ නායකයා එයට එන බව පැවසීම එම ක්‍රමයයි. පසුව පසුව රැස්වීම් නැතිවම නායකයෝ පැමිණෙන්නට වූහ. බොහෝ විට එම වියදම් සියල්ල දැරුවේ විදේශගත හිතවතුන් හා කමිටුව විසිනි. එහෙත් නායකයන් පැමිණියේ තනිවමය.
පසුව පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රජයේ වියදමින් විදේශ සංචාරවලට එන්නාක් මෙන් ජවිපෙ නායකයෝ විදේශවලට පැමිණෙන්නට පටන් ගත්හ. පක්ෂයේ හිතවතුන් දෙන දෙයකින් යැපෙමින් ඉතාම අර පිරිමස්මෙන් ජීවත් වෙනවා යයි කියන මෙම නායකයන් එසේ පැමිණියේ කුමකටද, ඔවුන්ගේ වියදම් දැරුවේ කවුරුන්ද යන්න දන්නේ ඔවුන්ම පමණය.
ඊටත් පසුව නායකයෝ පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවන් සහ දරුවෝද විදේශ සංචාරවල යෙදුණෝය. එවැනි අවස්ථාවල ඒ ගැන දැන සිටියේ අදාළ රටේ සංවිධායක පමණි. එම රටවල වෙසෙන සිංහලයන්ගේ ඇසට ලක් නොවීමට පින්තුර ගැනීම්වලට ලක් නොවීමට ඔවුන් පරිස්සම් වූවෝය. කෙටියෙන් පවසන්නේ නම් ජවිපෙ නායකයන් එක් අයෙකු අඩුම තරමින් රටවල් දහයක්වත් සංචාරය කොට ඇත. ඇතැමුන් එක රටකට පස් වතාවකට වඩා පැමිණ ඇත. අනුර කුමාර මේවනවිට පනස් වතාවක් පමණ විදේශ රටවලට ගොස් ඇත. මම මේ සටහන ලියන විටත් ඔහු කැනඩාවේ ය. ඉදිරියේදී තවත් රටවලට යාමට නියමිතය.
සෝමවංස අමරසිංහ විදේශගතව සිටි කාලය ඇතුළත මම දැනුවත්ව මුළු යුරෝපය පුරාත් ඉන් එපිටටත් අඩුම තරමින් රටවල් තිහක (30) සංචාරය කොට ඇත. මේ කාගේ සල්ලිද? පාක්ෂිකයන් මහන්සි වී උපයා පක්ෂයට පරිත්‍යාග කළ සල්ලිය. හැමදාම රැකියා කළත් රටවල් පහකවත් ඇවිදීමට යාමට නොහැකි වූ ඇත්තෝ මෙම රටවලද වෙසෙති.
දැන් අප මාර් තු 25 කළිඳු කරුණාරත්න මාධ්‍යවේදියා 360 වැඩ සටහනේදී සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රශ්න කළ විට ඔහු උත්තර දුන් ආකාරය මෙනෙහි කරමු. කිසි රැකියාවක් නොකර හොඳින් ඇඳ පැළඳ හොඳින් ජීවත් වී දරුවන්ටත් උසස් අධ්‍යාපනය දී ජීවත් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළ විට, හඳුන් කියන්නේ, එය තේරුම් ගැනීමට ඔහු සමග මාසයක් ජීවත් වීමට එන ලෙසය. ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රශ්න කළ විට කියන්නේ, ‘රටේ ජනතාවට ලබාගත නොහැකි කිසිම වරප්‍රසාදයක් ඔවුන් ලබා නොගන්නා බවය’.
දැන් මම මතු කරන්නේ කළිඳුට ඇසීමට අතපසු වූ ප්රශ්නයයි. සාමාන්‍යයෙන් රු. 40,000ක පමණ වැටුපක් ගන්නා රටේ ගුරුවරුන් සහ වෙනත් අය මහන්සිවී රැකියා කර දරු පවුල් නඩත්තු කරන්නේ අමාරුවෙනි. දරුවන්ට උගැන්වීමට විවිධ ණය පවා ලබා ගනිමිනි. විදේශ සංචාරයක යෙදීම යනු ඔවුන්ට සිහිනයක්ම පමණි. ඉදින් රැකියාවල් නොකරන හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ නායකයෝ දැනටත් පිට රටවල සංචාරවල යෙදෙති. රටේ වැඩ කරන ජනතාවට ලබාගත නොහැකි විශේෂ වරප්‍රසාදයක් ඔවුන් දැනටද භුක්ති විඳිමින් සිටිති.
තවත් අතකට මම ඉහත කියූ රැකියා කරන පිරිස් වැඩි දෙනෙකුට තමන්ගේ කියා වාහනයක් නැත. ඔවුන් දුක් විඳිමින් යන්නේ පොදු ප්‍රවාහන සේවාවලය. එහෙත් අනුන්ගෙන් යැපෙන ජවිපෙ නායකයන් සියලුම දෙනාට පාක්ෂිකයන්ම ඉන්ධන ගසාදෙන වාහනයක් බැගින් තිබේ. මේ නායකයන් කිසිවෙකු මෑතකදී දුම්රියක, බසයක දී හමුවූ කෙනෙකු සිරි ලංකාවේ සිටීදැයි මම නොදනිමි. එයද රටේ ජනතාවට නොලැබෙන වරප්‍රසාදයක් රාජ්‍ය බලයක් නොමැතිවම ජවිපෙ නායකයන් භුක්ති විඳීමක් නොවේද? ඉදින් රාජ්‍ය බලයක් ලැබුනහොත් මොවුන් කෙසේ ක්‍රියා කරාවිදැයි අටුවා ටිප්පණි ලිවිය යුතුද?
ලංකාවේ සිට සංචාර සඳහා පිටරට යන සාමාන්‍ය මිනිසුන්ද, දශක ගණන් පිට රටවල සිටින මේ මම වැනි උදවියද ලංකාවට යන්නේ ගුවන්යානා වල මිල ගණන් අඩු ‘ඉකොනමික් ක්ලාස්’ ආසනවලය. එහෙත් ජවිපෙ නායකයා සහ අනිත් නායකයන් යන්නේ මිල අධික ‘බිස්නස් ක්ලාස්’ ආසනවලය. ඔවුන් කොතරම් හොඳින් පාක්ෂිකයන් අන්දවා ඇත්ද?
අදෝමැයි!!! මේ විමර්ශානාත්මකව, ගවේෂනාත්මකව නොසිතන, ජවිපෙ නායකයන්ගේ බොරු සුරංගනා කතා විශ්වාස කරන පාක්ෂික මෝඩකම හැර වෙන කුමක්ද? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කිව්වේ මේවාටය.
වැඩි කලක් පාර්ලිමේන්තුවේ සිටි අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක මහතා එකසිය විසි වතාවක් (120) ලංකාවේ සිට ඇමෙරිකාවට ගොස් ඇති බවත් ඒ සෑම විටම ඔහු ගොස් ඇත්තේ තමන්ගේ පුද්ගලික මුදල් වියදමින් බවත් වැඩි දෙනෙකු නොදන්නා කතාවකි.