ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය

Last Updated on 12 hours by admin

අපට වෙච්ච දේ 1

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Photo Credit: Gabriel G. Garcia

අනුරාධපුර යුගයේ වී ගොවිතැන වර්තමාන වී ගොවිතැනට සමාන කළ නොහැකිය. ඒ යුගයේ වී ගොවිතැන විද්‍යාව, තාක්ෂණය හා ප්‍රඥාව ආධාරයෙන් සිදු වූවකි. රටවැසියන්ගේ ආහාරය සඳහා පමණක් වී ගොවිතැන් කිරීමෙන්, වී නිෂ්පාදනය රටේ ජාතික ආදායම බවට පත්f නාවන බව පැරැණි පාලකයින්ට වැටහුණි. එම නිසා වී සඳහා විදේශීය වෙළෙඳ පොළ සෙවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු විය. සිංහල හාල්, ආහාරයට මතු නොව, වෙදකමට, කිරි හා බීම වර්ග සැදීමට පවා යෝග්‍ය බව විදේශීය රටවලට ඒත්තු ගැන්වීම විදෙස් වෙළෙඳ පොළ දිනාගැනීමට ඔවුන් අනුගමනය කළ උපාය මාර්ග කිහිපයකි. වෙළෙඳ ප්‍රචාරය මගින් සිංහල හාලට ජම්බුද්වීපයේ පර්සියාවේ හා අරාබියේ රටවල වෙළෙඳ පොළක් ලැබුණි.

අනුරාධපුර සමයේදි වී නිපදවීමෙන් ලංකාව පොහොසත් රටක් වූයේයග ඒ ශක්තිය මහා විහාරයට අමතරව අභයගිරි ආදි තවත් උසස් අධ්‍යාපන ආයතන බිහිවීමට ප්‍රධාන හේතුවයි. මහාමාර්ගල නැව්තොටු, නැව්, වැව් හා වාරිමාර්ග, ආරෝග්‍යශාලා ආදිය ගොඩනංවා ඇත්තේ සහල් අලෙවියෙන් ඉපයූ මුදලින් හා ඒ ධනයෙන් ගොඩනැගූ ආයතනවලින් බිහි කරන ලද ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් හා කාර්මිකයන් විසිනි. සතුරු ආක්‍රමණ සහ පාලකයන්ගේ යුධ ගැටුම් මැද සිංහල දේශයේ ආර්ථික ශක්තිය ගොඩනැගූ වී ගොවිතැනේ ගාමක බලවේගය ක්‍රමයෙන් පිරිහී ගියේය. අවසානයේ රටට ඉතිරි වූයේ ආර්ථිකය ඉදිරියට ගෙන යන ගාමක බලයක් නොව, අඩපණ වූ කෘෂිකර්මාන්තයක බිඳුණු නටබුන් පමණි.

මධ්‍යතන යුගයේ සිදුවූ කාර්මික විප්ලවය හේතුවෙන් ප්‍රංශය සහ එංගලන්තය ලෝකයේ බලවත් රටවල දෙක බවට පත් විය. තාක්ෂණය හා විද්‍යාව ආධාරයෙන් නවීන ආයුධ සහ නැව් නිපදවූ ඔවුහු ඒවායේ බලයෙන් අප්‍රිකා, ආසියා, ඇමරිකානු රටවල් යටත් කරගෙන කොල්ලකෑහ. ලංකාව අල්ලා ගත් බිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම උඩරට කැරැල්ල මර්දනය කිරීමේ නාමයෙන් කළේ, වී ගොවිතැන පවත්වා ගෙන ගිය රටවැසියන්ගේ වැව, කුඹුර, ඉඩම, මාවත ආදිය විනාශ කිරීම පමණක්ම නොවේ. රටවැසියා සංහාරය කිරීම සහ බුද්ධිමය ශක්තිය විනාශ කිරීමද ඔවුන් අතින් සිදු විය. ක්‍රිස්තියානි ආගම, ආණ්ඩුවේ අධ්‍යාපනය, විශ්වවිද්‍යාලය හා සමාජ විද්‍යාව මගින් සිදු වූයේ ඒ අපරාධයක් හංගා වෙනත් මතවාද සමාජගත කිරීමයි.

පිලිප් ගුණවර්ධන ඇමරිකාවෙන් කෘෂිකර්ම විද්‍යාව උගත් අයෙකි. ලංකාවේ මාක්ස්වාදයේ පියා වශයෙන් සැලකෙන ඔහු බණ්ඩාරනායක රජයේ කෘෂිකර්ම ඇමතිවරයා වීම බැලු බැල්මට මාක්ස්වාදයේ ජයකි. ඒ යට සැඟවී ඇත්තේ අධිරාජ්‍යවාදයේ ජයග්‍රහණයයි. පිලිප් ඉදිරිපත් කළ කුඹුරු පනත සංහාරවලින් වත් උදුරා දැමීමට නොහැකි වූ වී ගොවිතැනේ දේශීය බුද්ධියට වැදුන හෙණයකි. කුඹුරු පනත නිසා සිංහල සමාජයේ කුඹුරු හිමියා සහ අඳ ගොවියා වශයෙන් ‘පංති දෙකක්’ හැදුණි. අදීනත්වය ලබාගැනීමට මඟ පන්ති සටන යැයි කොටසකට සිතුණි. ඔවුන්ගේ අදහස වූයේ, ‘ගොවි සංස්කෘතිය මෙහෙයවූ ග්‍රාමිණී පරපුර (ගමරාළ) රටේ දියුණුවට හරස් කපන වැඩවසම් නියෝජනයක් බවයි. සියලු ගොවීන් විදේශීය දැනුමෙන් සන්නද්ධ කෘෂිකර්ම නිලධාරීන්ගේ වහලුන් වීමෙන් එහි නිමාව සිදු විය. ඒ අතර ගොවිතැන, රටේ හෝ පුද්ගලයාගේ දියුණුවට මඟක් නොවන බව රටවැසියන්ට උගන්වන අධ්‍යාපනයක් සහ ජනමාධ්‍යයක් රටේ අරක්ගත්තේය.

අතීතයේ පටන් ගම පාලනය වූයේ මහජන සභා මඟිනි. ගැමි විද්‍යාඥයින්, තොවිල්කරුවන් හා ප්‍රාඥයින් ඒවායේ නියෝජිතයෝ වූහ. ගමක සියලුම වැසියන් ගොවියන් වූ අතර ගොවිතැන පවත්වාගෙන යෑම සඳහා ඇතැම් ගොවියන්ට වෙනත් වෙනත් වෘත්තින්හි නිරත වන්නට සිදු විය. නගුල්, උදලු, කැති, පොරෝ වැනි ගොවි මෙවලම් නිෂ්පාදනය නිදසුනකි.

‘වාසගම’ අනුරාධපුර සමයේ සිංහල සංස්කෘතියේ ප්‍රධානම ලක්ෂණය වූයේය. වාසගමක් යනු නව සොයාගැනීමක් කළ විද්‍යාඥයෙකුට රජයෙන් හෝ තොවිලයෙන් (ගම් පාලන ඒකකය) හෝ ලැබුණු සන්නාමයකි. හින්දු, කේරළ, නායක්කර්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි බලපෑම් හේතුවෙන් අනුරාධපුර සමයේ පැවති වාසගම් ක්‍රමය අභාවයට පත් විය. හින්දු බලය නිසා ‘සන්නාමය’, ‘කුලනාමයක්’ බවට පත් විය.

ගොවිතැනට සම්බන්ධ මියගිය බුද්ධියට යළි පණ දීමට නොහැකිය. එය මළගිය නෑයන්ට පණ දීමට සිතීම වැනි නිරර්ථක උත්සාහකි. සැබෑ දේශප්‍රේමින්ට, අදීනයන් වන්නට සිතන ප්‍රාඥයින් සුළු පිරිසක් හෝ බිහි කිරීමට පුළුවන. නවීන තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳ දැනුමෙන් හා බුද්ධියෙන් සන්නද්ධ එබඳු දේශප්‍රේමීන් ජාතික ව්‍යාපාරයේ නායකයින් හෝ ප්‍රධාන කොටස්කරුවන් හෝ බවට පත් විය යුතුය.


ඡායාරූපය – ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි ගාබ්‍රියල් ජී. ගාර්සියා, Gabriel G. Garcia මේ ඡායාරෑපය සිය මුහුණුපොතේ පළ කර මෙසේ ලියයි.

“ශ්‍රී ලංකාවේ පිහිටි පිඹුරැත්තෑව වැව පැරණි වාරි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ කදිම උදාහරණයකි. ශතවර්ෂ ගණනාවකට පෙර සැලසුම් කරන ලද මෙම වාරි ජලාශය, අධික වර්ෂා කාලවලදී ජල ගැලීම් පාලනය කිරීම සහ ජල ගලනය ක්‍රමවත්ව සිදු කිරීම සඳහා සූක්ෂ්ම ලෙස කෝණගත කරන ලද ගල් සොරොව්/පිටවාන භාවිත කර ඇත. කෘෂිකර්මාන්තය සහ ඒ අවට ජනතාව නංවාලීම උදෙසා ඉදිකරන ලද මෙයින් පැරණි ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයන් සතු වූ දියුණු සැලසුම්කරණය සහ පාරිසරික දැනුම මනාව පිළිබිඹු වේ. අදටත් මෙම ව්‍යුහය සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, එයින් පැරණි සාම්ප්‍රදායික ඉංජිනේරු ක්‍රමවේදයන් එම යුගයට සාපේක්ෂව කෙතරම් තිරසාර මෙන්ම අතිශය නිරවද්‍ය ඒවා වූයේද යන්න මැනවින් ප්‍රදර්ශනය කරයි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top