තුප්පහියෝ

Last Updated on 5 months by admin

නෙස්ලේ විරෝධී සටනේ පෝස්ටරයක්. https://www.loc.gov/resource/ppmsca.42801/

තුප්පහිකම පෘතුගීසින්ගේ තානාන්තරයකි. තුප්පහිකම ලබාගත් ලාංකිකයන්ට රටට, ජාතියට, ආගමට හතුරුකම් කිරීමට සිදු විය. ඔවුන්ට ජාතික හැඟීම් පහළ වූ අවස්ථා තිබුණි.

එදා, මාතර සමරවික‍්‍රම මුදලි, ‘සියබස්මල්දම’ රචනා කරන්නැයි පූජ්‍ය කිරම ධම්මානන්ද හිමියන්ට ඇරියුම් කළේ එවැනි අවස්ථාවකයි.

‘‘පැමිණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහිකම ලබාගෙන
වසන හෙන්ද්රික් සමර මුකවෙටි මුදලි සඳු කළ යදුම පිළිගෙන’’

මෙදා, මාතර පළාතේ මන්ත‍්‍රීවරයෙකු වූ මනුෂ නානායක්කාර විදේශ රැකියා හා කම්කරු ඇමතිවරයා, ‘ජවිපෙ ඉන්දියාවේ අමුල් සමාගමට සහ අදානි සමාගමට දෙන සහයෝගය සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට සතුටු වන බව’ කීම, ජාතික ජන බලවේගයට පහර ගැසීමකි. ඒ කතාවෙන් ඔහුගේ තුප්පහිකමද ප‍්‍රදර්ශනය වේ.

එදා පොල් ත‍්‍රිකෝණයේ කිරි සමුපකාර සමිති ව්‍යාපාරය ගොඩනැඟීමට ආණමඩුව වැනි ප‍්‍රදේශවල ජවිපෙ සාමාජිකයෝ විශාල උත්සාහයක් දැරුවෝය. ඒ කිසිවෙක්, ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට විනා, ‘අමුල්’ සමාගමට රටේ සම්පත් පවරා දීමට සිතුවෝ නොවෙති. අමුල්, බහු ජාතික සමාගමක් වී ඉන්දියානු අධිරාජ්‍යයට සේවය කරන්නේ සංගමය ගොඩනැඟීමට ඉන්දියාවේ සියලූ ජාතික නායකයින්ගේ සහාය ලබමිනි.

පුරාණයේ ලංකාව, ඉන්දියාව, ඇතුළු ආසියා, අප‍්‍රිකා, දකුණු ඇමරිකා රටවල අම්මාවරුන් දරුවන් හැදුවේ තනකිරි දීමෙනි. මව සහ දරුවා වෙන්කරමින් ලෝකයේ ප‍්‍රධාන ළදරු කිරිපිටි නිපදවන්නා වීමට ස්විස්ටර්ලන්තයේ නෙස්ලේ සමාගමට හැකි විය.

පානය සඳහා කිරිපිටි දිය කිරීමට ජලය අවශ්‍යය. ජලයේ දිය කර සාදන කිරිපිටි දරුවන්ට පොවනු ලබන්නේ බෝතල් සහ සූප්පු ආධාරයෙනි. අප‍්‍රිකානු රටවලට පමණක් නොව ඉන්දියාවටද ප‍්‍රශ්නයක් වූයේ පිරිසිදු පානීය ජලය නැති කමයි. අපිරිසිදු ජලය, සූප්පු සහ බෝතල් නිසා නෙස්ලේ කිරිපිටි දෙන අප‍්‍රිකා, ආසියා, දකුණු ඇමරිකා රටවල අප‍්‍රමාණ ලෙසින් ළදරුවෝ මිය ගියහ.

මේ අපරාධය ගැන දැනගත් ඇමරිකානුවන් පිරිසක් නෙස්ලේ සමාගමට විරුද්ධ ව්‍යාපාරයක් ඇරඹූහ. එය ඇමරිකාවටත් වඩා පැතිර ගියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු ආධාර යටතේ ගොඩනැඟුණු බටහිර ජර්මනියේය. එහි, ‘ළදරුවන් මරණ නෙස්ලේ ඝාතකයා’ මැයෙන් ප‍්‍රකාශනයක් නිකුත් කෙරිණි. නඩු මඟ හැර නෙස්ලේ සමාගමට ගැලවීමට ක‍්‍රමයක් නැති විය. ඇමරිකාවේ හා යුරෝපා රටවල පැවැති අධිකරණ ක‍්‍රියා ගණනාවකින් පසුව, නෙස්ලේ සමාගම සහ ඔවුන්ට විරුද්ධව ඇති වූ විරෝධතා කණ්ඩායම් අතර එකඟතාවන් ඇති විය.

ඉන්දියාවට ද ළදරු කිරි සැපයුවේ නෙස්ලේ සමාගමයි. ගුජරාතයේ ආරම්භ වූ ‘ආනන්ද් කිරි සමුපාකාර ව්‍යාපාරය’ නෙස්ලේ සමාගම සමඟ ගැටුනේ ‘අමුල් කිරිපිටි’ නිෂ්පාදනය කිරීමෙනි. කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමතිවරයාගේ කාලයේ ඇරඹි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රංජිත් විජේතුංග සහ පරාක‍්‍රම ලියනගම යන කෘෂිකර්ම නිලධරයන් දෙදෙනා පුහුණුව සඳහා ඉන්දියාවට යවනු ලැබූහ.

අමුල් සමුපකාර ක‍්‍රමය පිළිබඳ අධ්‍යයනයක් ලැබූ ඔවුහු පෙරළා පැමිණ පශු සම්පත් මණ්ඩලය හරහා සිය දැනුම හා සේවය රටට ලබා දීමට වෙහෙස ගත්හ. පොල් ක‍්‍රිකෝණයේ කිරි සමුපකර සමිති ආරම්භ කිරීම, කිරි හරක් ඇති කරන වතු ආරම්භ කිරීම, කුලියාපිටිය වීරගම යෝගට් කම්හල ඇරඹීම, කම්හලේ අතුරු නිෂ්පදන ලෙස කිරි හට්ටි, ගිතෙල් හා බටර් නිපදවීම ඔවුන්ගේ උත්සාහයේ කොටසකි.

අමුල්හි දැනුම ඇතිව දේශීය කිරි නිෂ්පාදනය නඟා සිටුවීමට වෙහෙසුන මේ නිලධරයන්ට අවශ්‍ය වූයේ, 1906 සිට ලංකාව වෙළෙඳපොළ කරගෙන සිටින නෙස්ලේ සමාගම පැරදවීමයි. ජේ. ආර්. ජයවර්ධන බලයට පත් වී ආණ්ඩුවේ පශු සම්පත් සංවර්ධන ඇමතිකම තොන්ඩමන්ට හිමිවිමෙන්, ඒ වැඩපිළිවෙළ කඩා වැටුණි. තොන්ඩමන් කටුගම්පොළ මන්ත‍්‍රී ජයවික‍්‍රම පෙරේරාගේ උපකාරයෙන්, 1984 දී පන්නල නෙස්ලේ කිරි කර්මාන්ත ශාලාවක් පිහිටුවා, පොල් ත‍්‍රිකෝණයේ කිරි සමුපකාර ව්‍යාපාරය නෙස්ලේ සමාගමේ ප‍්‍රධාන කිරි සපයන්නා බවට පත් කළේය. ඊට බාධක වශයෙන් දුටු මණ්ඩලයේ නිලධරයන්, සමුපකාර ව්‍යාපාරයෙන් පන්නා දැමීමට ඔහු සමත් විය.

මේ වන විට, ‘අමුල්’ බහු ජාතික සමාගමකි. ජාජබ නායකයින් මොනවා කීවද, අමුල් වෙත ඔවුන් ගෙන්වා ගත්තේ කුමකට ද යන්න, තතු දන්නන්ට රහසක් නොවේ. හීනෙන් පවා අධිරාජ්‍යවාදය භංගවේවා යි දොඩන නිර්ධන පන්ති ආඥාදායකත්වයේ නියමුවන් බලු කුක්කන් සේ හීලෑ කරගන්නා හැටි අධිරාජ්‍යවාදියෝ දනිති. ‘කොයි විප්ලවකාරයත් අන්තිමේ ලගින්නෙ යූඑන්පී එකේ බූරු පුටුව යට’ යැයි අප මිත‍්‍ර ජේ. ආර්. පී. සූරියප්පෙරුම කීයේ මහ හ`ඩින් සිනාසෙමිනි.

තුපප්පහියන්ගේ හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට නැරඹිය හැකි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link