යටත්විජිතකරණයේ පරිනාමය

Last Updated on 3 hours by admin

රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720) දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ ලංකාවේ විසූ එළිමහන් සිරකරුවෙකි. ඔහු එංගලන්තයට ගිය පසුව ලංකාවේ ගෙවූ ජීවිතය ගැන ලියන ලදැයි සැලකෙන මතක සංග්‍රහයේ (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්) ලංකාව සහ රටේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එම නිසාම, බොහෝ ශාස්ත්‍රඥයෝ කන්ද උඩරට රාජධානි සමයේ ‘සෙයිලෝනය’ හා එහි වැසියන් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඉතිහාස මූලාශ්‍රයක් වශයෙන් නොක්ස්ගේ පොත භාවිත කරති.

ලංකා ඉතිහාසය අඩංගු වංශකතා සම්ප්‍රදායන් ගැන නොදැන ඒවාට වැරදි අර්ථ දක්වන පිරිසක් සිටිති. ඔවුන්ගෙන් කොටසක් නොක්ස්ගේ ග්‍රන්ථයට වාල් වූ පුද්ගලයින්, සිංහල සමාජය පිළිබඳව පළ කරන අදහස් පිළිගෙන සිංහල බෞද්ධයාට පහර දෙති. ඇතැමුන් ආචාර්ය උපාධිධරයින් බවට පත් වන්නේ එවැනි ක්‍රියාවන්හි යෙදීමෙනි. ආචාර්ය ටිකිරි අබේසිංහ හොඳම නිදසුනකි. ‘පරංගි කෝට්ටේ’ නිබන්ධනය ලියන ඔහු ඇතැම් කතෝලික පූජකවරුන්ගේ මාර්ගෝපදේශ ලැබූවෙකි.

පෘතුගීසි ගෝවේ විසූ පෘතුගීසි දේවගැතිවරයකු වූ ක්වේරෝස්, පෘතුගාල රජයේ නිල ඉතිහාසඥයින් වූ ජොආඕ ද බැරෝස්, දියෝගෝ ද කූතෝ වැන්නන් ද සෙයිලෝන් හා එහි වැසියන් පදනම් කරගෙන ලියූ තොරතුරු සංග්‍රහයන් තිබේ. නොක්ස්ගේ පොතේ විශේෂත්වය ඔහු සිංහල බෞද්ධයන් අතරේ වාසය කිරීමයි. එහෙත් සිරකරුවකුව සිටීම හා පියා සිරභාරයේදී මිය යාම වැනි කරුණු සැලකිල්ලට ගත් විට, නොක්ස් සිංහල පාලනය අප්‍රිය කළ පුද්ගලයකු බව පිළිගන්නට සිදු වේ.

බතාවියාවේ විසූ වැලන්ටයින් දේවගැතිවරයා නොක්ස්ගේ පොතේ වැරදි පරිවර්තනයක් කියවූවෙකි. ’පැරණි හා නූතන ඉන්දියානු දූපත්’ යනුවෙන් කාණ්ඩ කිහිපයකින් විත්ති සංග්‍රහයක් සම්පාදනය කරන වැලන්ටයින්, සෙයිලෝනය පිළිබඳ නොක්ස්ට වඩා තොරතුරු ඉදිරිපත් කරන්නට වෙහෙසුනි. නොක්ස්ට නොවූ වුවමනාවක්ද වැලන්ටයින්ට තිබුණි. ඒ සිය විත්ති සංග්‍රහය මගින් ක්‍රිස්තියානි ආගම ඇගයීමයි. ඔහු එනිසා වැලන්ටයින් මධ්‍යස්ථ ඉතිහාසකරුවකු යයි කියන්නාගේ මධ්‍යස්ථභාවයක් නැත.

පෘතුගීසි හා ලන්දේසි යටත් විජිත පාලන ක්‍රමයන්හි අසමානතා ඇත. ලන්දේසි සමාගම, මුදල් ගෙවා ගවේෂකයින් යොදවා යටත් විජිතයන්හි, වැසියන්, සතුන්, ඒ රටවල වෘක්ෂලතාදිය හා සංස්කෘතිය පිළිබඳ තොරතුරු සෙවීය. මෙය යටත්විජිතකරණයේ පරිනාමීය අවස්ථාවකි. පහත දැක්වෙන්නේ ඕලන්ද සමාගමේ විශේෂ වුවමනාවෙන් කෙරුණු ගවේෂණ කිහිපයකි.

1. ඉන්දියාවේ මලබාරයේ විසූ හෙන්ඩි්‍රක් වෑන් රීඩ් (Hendrik van Rheede 1636 – 1691) නමැති හමුදා නිලධාරියා, ‘මලබාර උද්‍යානය’ (Hortus Malabaricus) නමින් පැළෑටි නාමාවලියක් සම්පාදනය කළේය. සමාගමේ මූලික වුවමනාවට බාහිරව, සෙයිලෝනයේ සිංහලයන් මලබාරයේ වැසියන්ගේ සංස්කෘතිය සකස් කිරීමට දැක්වූ දායකත්වය ගැනද එම කෘතියේ තොරතුරු තිබේ. (විස්තර සඳහා අපගේ ’බෞද්ධ සංස්කෘතික කොල්ලය’ කෘතිය බලන්න)

2. සිබිල්ලා මරියන් (Maria Sybylla Marian 1647 – 1717) කෘමි සතුන් පිළිබඳව නාමාවලියක් පිළියෙල කරන්නේ (ජර්මන්) ඕලන්ද සත්ව විද්‍යාඥවරියක වශයෙනි. ඇය 1699 දී පිළිබඳ පර්යේෂණ කටයුත්තකට ඕලන්ද ගුයානාවට (සුරිනාමයට) ගියාය. ඕලන්දයේ ඇමස්ටර්ඩෑම්හි පදිංචිව සිටි ඇයට ඊට වුවමනා මුදල් ඕලන්ද වෙළෙඳ සමාගමෙන් ලැබුණි. සුරිනාමයේ වෙසෙන සමනලුන් වැනි සත්ව වර්ග පිළිබඳව දෙවසරක් මුළුල්ලේ තොරතුරු සෙවූ මරියන් පෙරළා ඕලන්දයට පැමිණ ‘සුරිනාමයේ සත්ව නාමාවලිය’ (Metamorphosis Insectorum Surinamensiu) පළ කළාය.

3. ජර්මන් ජාතිකයෙකු වූ රූම්ෆ් (Georg Eberhard Rumpius 1627 – 1702) ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ සේවය කළේය. 1653 දී බතාවියාවට ගිය ඔහු 1654 දී ඕලන්දයන්ගේ ඇම්බන් දූපත්වලට ගියේය. උද්භිද විද්‍යාඥයෙකු වශයෙන් එහි කටයුතු කළ ඔහු ‘ඇම්බෝනියාවේ උද්භිද නාමාවලිය’ (Herbarium Amboinens) සම්පාදනය කළේය.

යටත් විජිත රැස් කිරීම පිළිබඳ අරාබි සහ පෘතුගීසි දැනුම හොඳින් අධ්‍යයනය කළ ලන්දේසින් මෙවැනි පර්යේෂණ කළේ වඩාත් ස්ථාවර පාලනයක් පිහිටුවීම, වැඩි ලාභ ලැබීම, ස්වදේශිකයන් විනාශ කිරීම යන පර්මාර්ථ ඇතිවය. යටත් විජිත පාලනයේදී පෘතුගීසිහු බොහෝ අපරාධ කළහ. ගෝව ප්‍රතිරාජයාගේ අණින් කළ ගෝව ඉන්කියුශිෂන්, මුන්නේශ්වරම ඉන්කියුශිෂන්, වත්තල අවුටෝ ඩේ ෆෝ, වැනි දරුණු මනුෂ්‍ය සංහාර ඊට අයත්ය. ලන්දේසින් මේ කටයුත්ත කළේ වෙනත් ක්‍රමයකටය. ඔවුන් අල්ලා ගන්නා බිම්වලින් ස්වදේශිකයන් ඉවත්කර විදේශවලින් ගෙනෙන ජනතාව ඒවායේ පදිංචි කරවූහ.

සෙයිලෝනයේ උතුරු පළාතේ ඉන්දියාවෙන් ගෙනා දෙමළ ජනයා පදිංචි කරවීම නිදසුනකි. ඊට පෙර ඔවුන් උතුරේ සිංහලයන් සුරිනාමයට හා බතාවියාවට ගෙන ගොස් තිබේ. තේසවලාමෙයි නීතිය අලුතින් පදිංචි කරන ලද දෙමළ ජනයා වෙනුවෙන් සකස් කරන ලද්දකි. මෙයින් කෙරුණේ, රටේ ඉතිරිව සිටි සිංහලයන්ට උතුරේ භූමිය තහනම් වීමයි. ඉතා දීර්ඝ කාලයක් උතුරේ පදිංචිව සිටි සිංහලයන්ට පසුගිය යුද සමයේ ප්‍රදේශයෙන් පිටවූ පසු සිය ඉඩම් අහිමි වන්නට ප්‍රධාන හේතුවක් වූයේ තේසවලාමෙයි නීතියයි. සෙයිලොන් ගැන ලියූ පිලිප්පු බල්දියස් (1632 – 1671) ඕලන්ද පූජකයා උතුරේ පදිංචි කළ දෙමළ ජනයා ක්‍රිස්තියානි කිරීමට සමාගමෙන් එවන ලද්දෙකි.

වැලැන්ටයින් සිය ග්‍රන්ථය සකස් කළේ සෙයිලෝනයට පැමිණ නොවේ. ඔහුගේ පොතේ ඇති සමහර අඩුපාඩුවලට හේතුව නොපැමිණ තොරතුරු ලබාගැනීමයි. ඔහු හිතාමතාම විකෘති කළ තොරතුරුද පොතෙහි අන්තර්ගතය. ඒ තොරතුරු ආයුධ ලෙසින් භාවිත කරමින් සිංහල බෞද්ධයන්ට පහර ගැසීම වරදකි. මේ වරද වරදක් ලෙස දකින උගතුන් වඳ කිරීම, වර්තමාන අධ්‍යාපනයෙන් සිදු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top