හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

Last Updated on 3 months by admin

ලංකාවේ කතෝලික සභාවේ නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා තම සේවා කාලය දීර්ඝ කරන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ප‍්‍රවෘත්තියක් ‘ලංකා ගාඩියන්’හි පළකර තිබුණි. එතුමා ඉල්ලා සිටින්නේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසයි.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් යනු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ එම දේවස්ථාන තුනට පූජාව සඳහා පැමිණ සිටි කතෝලික බැතිමත්තු වෙති. ඔවුන් අතර කිසිම කතෝලික පූජකවරයෙකු හෝ පූජකවරියක නොසිටීම කිසිම දේශපාලන බලවතෙකු නොසිටීම හා තවත් කරුණු රාශියක් පදනම් කරගෙන ප‍්‍රහාරය ගැන කාදිනල්වරයා කියන කතාව සැකයට ලක්කරන විශාල රට වැසියන් පිරිසක් සිටිති. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කාදිනල්වරයා කරන ප‍්‍රකාශය ගැන ජනතාව දැනුවත් කිරීමෙන් පසුව ඒ සැකය තහවුරු විය.

ලෝකයේ අධිරාජ්‍ය පවතී. ඇමරිකාව අධිරාජ්‍යයකි. චීනය සහ ඉන්දියාව අධිරාජ්‍ය ගොඩනංවමින් සිටින රටවල් දෙකකි. වතිකානුවත් අධිරාජ්‍යයකි. වතිකානුවට සම්බන්ධ කතෝලික සභා නැති රටවල් ලෝකයේ ඇත්තේ කිහිපයකි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට වතිකානුව ඇඟිලි ගැසීම වැළැක් වීම පිණිස, චීන කතෝලික සභාවේ නායකයා පත්කිරීමට චීන රජය ඉදිරිපත් වීමෙන් වතිකානුව හා චීනය අතර ඉතා මෑතක ආරාවුලක් ඇති විය.

වතිකානුව බොහෝ කලක සිට ලෝක දේශපාලනයේ ඉතා වැදගත් වැඩ කොටසක් ඉටුකරයි. ප‍්‍රබල සෝවියට් සමූහාණ්ඩුව කැබලි කළ පිළිවෙළ හොඳම නිදසුනයි. පෝලන්තය සෝවියට් සමූහාණ්ඩුවෙන් ඈත් කිරීමේ ඉහළම වැඩ කොටස පාප්තුමා විසින් ඉටුකරන ලදි. වියට්නාමය කොමියුනිස්ට් ලෝකයේ සෙලවෙන දතක් වී ඇත්තේ වතිකානුවේ බලයෙනි.

සියෝරා ලියෝන්, අප‍්‍රිකාවේ පිහිටි දිළිඳු ඉස්ලාම් රටකි. කතෝලික ප‍්‍රවෘත්ති ඒජන්සිය පසුගිය සතියේ මේ රට ගැන ප‍්‍රවෘත්තියක් පළ කළේය. එයින් කියවුනේ කතෝලික පාසල් ආධාරයෙන් සියොරා ලියොනයේ ඉස්ලාම් ආගමිකයන් බුරුතු පිටින් ක‍්‍රිස්තියානි කරන බවයි. ‘දැන් මෙහි ක‍්‍රිස්තියානි පූජකවරුන් වැඩිදෙනෙක් මුස්ලිම් තාත්තලාගේ දරුවෝ වෙති’ යි සියොරා ලියොන් කාදිනල්තුමා ආඩම්බරයෙන් කියා තිබුණි.

මැල්කම් රංජිත් කාදිනල්වරයා දෙමළ බෙදුම්වාද වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටු කළ අයෙකි. ඊළාම් යුද්ධය පැවති කාලයේ ඉතාලියේදී සිංහ කොඩිවලින් පාවාඩ දමා, එල්ටීටීඊයට ආශිර්වාද කරමින් පැවැත්වූ දෙමළ දේවගැතිවරුන්ගේ රැස්වීම පවා පැවැත්වුනේ එතුමාගේ නායකත්වයෙනි. ලංකාවේ හමුදාව කළ මහා සටනකින් කොටි හමුදාව පැරදවීම මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ පරාජයකි.

ලංකාණ්ඩුව විසින් සංවිධාන කළ ‘උගත් පාඩම් කොමිසම’ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ වෑයමක් බව බොහෝ මැදහත් විචාරකයින්ගේ අදහසයි. මෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ, ඇමරිකාවේ වෙසෙන, පසු කලෙක ප‍්‍රංශයේ තානාපතිකම දැරූ කරුණාරත්න හඟවත්තයි. මෙම කොමිසමට ගොස් මැල්කම් රංජිත් කාදිනල්වරයා සිංහලයන්ට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ යුද්ධ ජයග‍්‍රහණය නිසා සතුටු වූ සිංහලයන් පත් කරගත් ජනාධිපතිවරයෙකි. මැල්කම් රංජිත් කාදිනල්තුමා ගෝඨාභය පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙළේ අදෘශ්‍යමාන නායකයෙකු යයි බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ සිතති.

මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ කාර්යභාරය ගැන සැලකිලිමත් වීමේදී එතුමා වතිකානු අධිරාජ්‍යයට හොඳ පූජකයෙකි. ජාතික ව්‍යාපාරයට සම්බන්ධව සිටි භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් සිය ග‍්‍රහණයට ගැනීමට එතුමා සමත් විය. එක්තරා මහාචාර්යවරයෙකු ප‍්‍රසිද්ධ සභාවක දී මල්වතු අස්ගිරි නායක හිමිවරුන් පච කරමින් කාදිනල්තුමාව වර්ණනා කර තිබුණි.

කොතරම් දස්කම් ඇතත් රට බෙදීමේ වැඩ පිළිවෙළේ දී එතුමා පැරදුණි. එතුමාට අකමැති සිංහල කතෝලිකයින් මෙන්ම කතෝලික පූජකවරුන් පිරිසක්ද බිහිවීමට එය හේතුවකි. මීගමුවේ ලෙල්ලමේ ධීවර සමිතිය කාදිනල්ට විරුද්ධව නැගී සිටියේය. ඊයේ පෙරේරා ටිරාන් අලස් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණුවලින්ද කාදිනල්තුමාගේ සායම ගියේය.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link