ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ

Last Updated on 4 months by admin

පිළිම වන්දනාව ගෝත‍්‍රික යැයිද ග‍්‍රාම්‍ය යැයිද ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කළ ප‍්‍රකාශ පිළිබඳ කතාබහක් සමාජය තුළ දැකිය හැකියි. පිළිම වන්දනාව යැයි පොදුවේ පැවසුවද, මෙය බෞද්ධ ජනතාව ඉලක්කර කර කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිය.

තමන් නූතන දැනුමින් පිරි විද්‍යාත්මක සමාජවාදය අනුගමනය කරන පිරිසක් බව ජවිපෙ නායකයින් මෙන්ම බොහෝ අනුගාමිකයින්ද අවධාරණය කරන කාරණයකි. එසේ වුවත් මේ පිරිසට ‘ගෝත‍්‍රිකයා, ගෝත‍්‍රිකවාදය’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නැති බව, ‘පිළිම වඳින්නේ’ ගෝත‍්‍රිකයන් බවට කෙරෙන ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ.

නූතන ව්‍යවහාරයේ, ‘ගෝත‍්‍රිකයා’ යනු ආදි යුගයේ විසූ මිනිසුන් හැඳින්වීමට යොදන වචනයක් නොවේ. ඊට ගැඹුරු අර්ථයක් මෙන්ම නූතන විද්‍යාත්මක පැහැදිලි කිරීම්ද තිබේ.

‘ගෝත‍්‍රිකවාදය’ යන සිංහල වචනය සාදාගෙන ඇත්තේ tribalism යන ඉංග‍්‍රීසි වචනයෙනි. ‘ට‍්‍රයිබ්’ යන වචනය මුලින්ම භාවිතයට ගන්නේ 17 වැනි සියවසේදී පමණ යුරෝපා මිෂනාරින් විසිනි. ඒ ඔවුන් අල්ලාගත් රටවල විසූ ජනතාව ‘වනචාරී, අශිෂ්ට’ මිනිසුන් බව ලොවට ප‍්‍රකාශ කිරීමටය. ‘ට‍්‍රයිබලිස්ම්’ යන වචනය භාවිතයට එන්නේ 1880 දීය. 20 වන සියවසේ මැද භාගය වන තෙක්ම මේ වචනය පාවිච්චි කරන ලද්දේ, මිෂනාරීන් පාවිච්චි කළ පරිදි ‘වනචාරී’ හැසිරීම් යන අරුතිනි. 1955 දී මේ අරුත වෙනස් වී, ‘කණ්ඩායම් පාක්ෂිකත්වය’ group loyalty ප‍්‍රකාශ කිරීම සඳහා භාවිත කිරීම ඇරඹෙයි. එනම්, සාධාරණය, කරුණාව, දයාව වැනි සියල්ල පසෙකලා, අන් කණ්ඩායම් ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නියෝජනය කරන කණ්ඩායමට මූලිකත්වය දීමයි.

‘ට‍්‍රයිබලිස්ම්’ පිළිබඳව විද්වතුන් විසින් කරන ලද පර්යේෂණ රාශියක් තිබේ. ඔවුන් පවසන පරිදි මෙය මානව පරිනාමයේ ප‍්‍රතිඵලයකි. සිය පැවැත්ම සඳහා කණ්ඩායම් සාමූහිකභාවය අවශ්‍ය නිසා මානව වර්ගයා තුළ මෙවැනි ගති සිරිත් ඇති වූ බව ඔවුහු පැහැදිලි කරති. ඇතැම් විද්‍යාඥයින් පැහැදිලි කරන්නේ, මෙය, මිනිස් මොළය, තමන්ට එරෙහි තර්ජනවලට මුහුණ දෙන ආකාරය විය හැකි බවයි. තම කණ්ඩායමට එරෙහි තර්ජනයක් හඳුනාගත් විට, මොළය විසින් බිය සහ චණ්ඩබව වැඩි කරන ‘ආතති හෝර්මෝන’ නිකුත් කරනවා විය හැකි යැයි විද්‍යාඥයෝ පවසති. තම කණ්ඩායම ආරක්ෂා කරගැනීම සඳහා, මේ ප‍්‍රතිචාරය සෙසු කණ්ඩායම්වලට හානිදායක දේ කිරීමේ මට්ටමට උග‍්‍ර විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. වචන හුවමාරු, ගුටි හුවමාරු, යුද්ධ දක්වා මේ ප‍්‍රතිචාර දුරදිග යා හැකිය.

මෙයින් පැහැදිලි වන්නේ, නූතන ජවිපෙ න්‍යායාචාරීන් තවමත් සිටින්නේ 17 වැනි සියවසේ මිෂනාරීන් සිටි තත්වයේ බවයි.

බුදු සසුන විනාශ කිරීම සඳහා විවිධ බලවේග ක‍්‍රියාත්මක වන බව රහසක් නොවේ. ජවිපෙද එහි එක් පාර්ශ්වයකි. පිළිම වන්දනාවට එරෙහිව ඔවුන් කරන ප‍්‍රකාශවලින් පවා පැහැදිලි වන්නේ බෞද්ධ විරෝධයයි. ජවිපෙ නායකයින් භික්ෂුන් වහන්සේ බැහැදැකීමට කපටි ගමන් ගොස්, වාහනයට නැගීමට පෙර අතබැඳි පිරිත් නූල් කඩා විසි කිරීමෙන් පැහැදිලි වන්නේද බෞද්ධ විරෝධයයි. ‘අපි තවමත් මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක්’ යැයි පසුගියදා ලාල් කාන්ත කළ ප‍්‍රකාශයද ඔවුන්ගේ බෞද්ධ විරෝධය පැහැදිලි කරන්නකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link